Skip to content

පටුනට යන්න

පෙනුම දෙස බලා නිගමනය කරන්න එපා!

පෙනුම දෙස බලා නිගමනය කරන්න එපා!

පෙනුම දෙස බලා නිගමනය කරන්න එපා!

දිනක් වෛද්‍යවරයෙක් රූපවාහිනිය නරඹමින් සිටියදී ඇමතිවරයෙක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් එහි විකාශනය වුණා. එම ඇමතිවරයාට බරපතළ රෝගයක් තිබෙන බව ඔහු දෙස ඉතා ඕනෑකමින් බලා සිටි වෛද්‍යවරයාට වැටහුණා. ඒ නිසා හැකි ඉක්මනින් වෛද්‍ය පරීක්ෂණයකට යොමු වන ලෙස ඔහු ඇමතිවරයාට දැනුම් දුන්නා.

වෛද්‍යවරයාගේ නිගමනය නිවැරදි බව ඔප්පු වුණා. යම් රෝගියෙකු දෙස බැලූ සැණින් රෝගී තත්වය කුමක්ද කියා වටහාගැනීමට එම වෛද්‍යවරයාට හැකියාව තිබුණා. ඒ හා සමානව අන් අයගේ පෙනුම දෙස බලා ඔවුන් ගැන යම් නිගමනවලට එළඹිය හැකි බව සමහරු සිතනවා.

කෙනෙකුගේ පෙණුම දෙස බැලීමෙන් ඔහු ගැන යම් නිගමනවලට පැමිණීමට විද්‍යාත්මක ක්‍රමයක් තිබෙනවාද කියා සියවස් ගණනාවක් පුරා පර්යේෂකයන් සොයා බලා තිබෙනවා. ඔවුන් එය හඳුන්වන්නේ දේහ ලක්ෂණ විද්‍යාව ලෙසයි. “පුද්ගලයෙකුගේ හැඩහුරුකම අනුව ඔහුගේ ගති පැවතුම් මොනවාද කියා නිගමනය කිරීම” දේහ ලක්ෂණ විද්‍යාව යනුවෙන් හඳුන්වන බව එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා. (Encyclopædia Britannica) දහනවවන සියවසේ සිටි මානව විද්‍යාඥයෙකු වන ෆ්‍රැන්සිස් ගැල්ටන් සහ අපරාධ විද්‍යාව පිළිබඳව හදාරන චෙසාරෙ ලොම්බ්‍රොසො වැනි අය ඒ ගැන යම් මත සහ එය කළ හැකි ක්‍රමයක් ගැනද සඳහන් කළා. නමුත් අද වන විට ඒ දේවල් මිනිසුන්ගේ මතකයෙන් ගිලිහී ගොස් තිබෙනවා.

මිනිසුන්ගේ හැඩහුරුකම් දෙස බලා ඔවුන් ගැන නිගමනවලට එළඹීමට හැකි බව අද සිටින බොහෝදෙනාද විශ්වාස කරනවා. ඇත්තටම ඒ ගැන පැවසිය හැක්කේ කුමක්ද?

පෙනුම දෙස බලා නිගමනය කිරීම

පෙනුම දෙස බලා නිගමනවලට පැමිණි අවස්ථාවක් ගැන බයිබලයේද සඳහන් වෙනවා. යෙහෝවා දෙවි යෙස්සේගේ පුත්‍රයෙකුව අනාගත රජ ලෙස අභිෂේක කරන්න කියා සාමුවෙල්ට පැවසුවා. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “යෙස්සේ සහ ඔහුගේ පුත්‍රයෝ පූජාව ඔප්පු කරන තැනට පැමිණියෝය. සාමුවෙල් එලියාබ්ව දුටු විගස, ‘යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා මොහු විය යුතුයි’ කියා තමාටම කියාගත්තේය. නමුත් යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ කීවේය. ‘ඔහුගේ පෙනුම දෙසවත් ඔහුගේ උස මහත දෙසවත් නොබලන්න. මා තෝරාගත් තැනැත්තා ඔහු නොවෙයි. දෙවි දේවල් දෙස බලන්නේ මනුෂ්‍යයන් බලන ආකාරයට නොවෙයි. මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ පමණය. නමුත් යෙහෝවා දෙවි වන මම සිතේ තිබෙන දේ දකිමි.’” කෙසේවෙතත් අවසානයේදී දෙවි අනාගත රජු ලෙස තෝරාගත්තේ යෙස්සේගේ අටවෙනි පුත්‍රයා වන දාවිත්ව බව දැනගැනීමෙන් ඔහු මෙන්ම යෙස්සේද පුදුම වුණා.—1 සාමුවෙල් 16:6-12.

අද සිටින මිනිසුන්ද බොහෝවිට අන් අයගේ පෙනුම දෙස බලා යම් නිගමනවලට පැමිණෙනවා. ඒ සම්බන්ධයෙන් මේ උදාහරණය සලකා බලන්න. ජර්මනියේ සිටි මහාචාර්යවරයෙක් නීතිය හදාරන ශිෂ්‍යයන් 500ක් යොදාගෙන සමීක්ෂණයක් කළා. එම අවස්ථාවට අමුත්තන් 12දෙනෙක්වද සහභාගි කරගත්තා. ඔවුන් අතරේ පොලිස්පතිවරයෙක්, විශ්වවිද්‍යාලයක භාණ්ඩාගාරික ලෙස සේවය කළ කෙනෙක්, මහජන සබඳතා නිලධාරියෙක්, නීතිඥවරු සහ අධිකරණ නිලධාරීන් කිහිපදෙනෙක් මෙන්ම අපරාධකරුවන් තිදෙනෙක් සහ ඔවුන් ගැන පැමිණිලි කළ පුද්ගලයෙක් සිටියා. ඒ සියලුදෙනා අතරින් දඬුවම් ලැබිය යුතු අපරාධකරුවන් කවුද කියාත් ඔවුන් කළ අපරාධ මොනවාද කියාත් ඒ සියලුදෙනාගේ රැකියාවන් මොනවාද කියාත් ඔවුන්ගේ පෙනුම දෙස බලා හඳුනාගන්න කියා ශිෂ්‍යයන්ට පැවසුවා. ශිෂ්‍යයන්ට දැනුම් දී තිබුණේ එක් එක් අමුත්තාගේ විනෝදාංශ මොනවාද කියා පමණයි.

ශිෂ්‍යයන්ගෙන් සියයට 75ක් පමණ සැබෑ අපරාධකරුවන් තිදෙනාව හඳුනාගත්තා. නමුත් සියයට 60ක් ඉතුරු නවදෙනාවද නීති විරෝධි ක්‍රියා කළ අය ලෙස නිගමනය කළා. පැමිණිලිකරු ලෙස පෙනී සිටි කෙනා මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් කියා ශිෂ්‍යයන්ගෙන් හතෙන් එකක් නිගමනය කළා. ඒ වගේම ශිෂ්‍යයන්ගෙන් තුනෙන් එකක් පොලිස්පතිවරයා සොරෙක් ලෙස නිගමනය කර තිබුණා. එම සිද්ධියෙන් පැහැදිලි වන්නේ පෙනුම දෙස බලා පැමිණෙන නිගමන සෑමවිටම නිවැරදි නොවන බවයි.

පෙනුමට රැවටෙන්න එපා!

යම් පුද්ගලයන්ව ඇසුරු කර ලබා ඇති අද්දැකීම්වලට අනුව කෙනෙකුගේ පෙනුම දිහා බලා ඔවුන් මොන වගේ අයද කියා අප නිගමනය කරනවා. ඊට අමතරව ජාතිය, සමාජ තත්වය හෝ ආගම අනුවත් පුද්ගලයන් කොයි වගේ අයද කියා අප තීරණය කරනවා.

අප පුද්ගලයෙකු ගැන පැමිණි නිගමනය නිවැරදි බව පෙනෙන්න තිබුණොත් ඒ ගැන අප බොහෝ සේ සතුටු වෙනවා. ඒ නිසා කෙනෙකුව මුල් වරට දුටු සැණින් ඔහු ගැන නිවැරදි නිගමනවලට එළඹිය හැකි බව අප සිතනවා. නමුත් අපේ නිගමනය වැරදි බව අපට අවබෝධ වුණොත් අප කළ යුත්තේ කුමක්ද? අප එම පුද්ගලයා ගැන සිතූ ආකාරය වැරදි බව පිළිගෙන එය නිවැරදි කරගත යුතුයි. එසේ නොකළොත් ඒ පුද්ගලයාට අප යම් අසාධාරණයක් සිදු කරනවා. ඒ නිසා උඩඟු නොවී අපේ සිතුවිලි සකස් කරගත යුතුයි.

මිනිසුන් ගැන වැරදි නිගමනවලට පැමිණෙන අය තමන්ට හානි කරගන්නවා වගේම ඔවුන්ටත් හානි කරනවා. උදාහරණයකට පළමු සියවසේ සිටි බොහෝ යුදෙව්වන් ක්‍රියා කළ ආකාරය බලන්න. ඔවුන් ගැලවුම්කරු යේසුස් බව පිළිගත්තේ නැහැ. ඊට හේතුව ගැලවුම්කරු මොන වගේ කෙනෙක් විය යුතුද කියා ඔවුන් කලින්ම තීරණය කර තිබීමයි. ඔවුන් යේසුස්ව දුටුවේ නිකම්ම නිකම් වඩුවෙකුගේ පුත්‍රයෙකු ලෙසයි. යේසුස්ගේ ඉගැන්වීම් සහ ඔහු කළ බලවත් ක්‍රියා දැකීමෙන් ඔවුන් පුදුම වුණත් යේසුස් ගැලවුම්කරු බව ඔවුන් එකහෙළා ප්‍රතික්ෂේප කළා. ඔවුන්ගේ සිතුවිලි සකස් කරගැනීමට ඔවුන් කැමති වුණේ නැහැ. එය දුටු යේසුස් “අනාගතවක්තෘවරයෙකුට ගෞරවය නොලැබෙන්නේ තමාගේම ගමේදීත් තමාගේම ගෙදරදීත් පමණයි” කියා පැවසුවා.—මතෙව් 13:54-58.

යුදෙව්වන් ගැලවුම්කරු ගැන පැමිණ තිබූ නිගමන නිවැරදි කරගත්තේ නැති නිසා දෙවිගේ අනුමැතිය ඔවුන්ට අහිමි වුණා. (මතෙව් 23:37-39) ඒ වගේම යේසුස්ගේ අනුගාමිකයන්වද ඔවුන් පිළිගත්තේ නැහැ. වඩා වැදගත් කාරණා ඉගැන්වීමට එවකට සිටි ආගමික නායකයන් සහ දැන උගත් මිනිසුන්ට වඩා යේසුස්ගේ අනුගාමිකයන් වූ ධීවරයන්ට හැකි වෙයි කියා බොහෝ මිනිසුන් විශ්වාස කළේ නැහැ. පෙනුම දෙස බලා මිනිසුන් ගැන නිගමනවලට පැමිණි බොහෝදෙනා යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් වීමේ වරප්‍රසාදය අහිමි කරගත්තා.—යොහන් 1:10-12.

සමහරු ආකල්ප වෙනස් කරගත්තා

මුලදී යේසුස් ගැලවුම්කරු බව පිළි නොගත් සමහරුන් පසුව ඔවුන්ගේ අදහස වෙනස් කරගත්තා. (යොහන් 7:45-52) ඒ අය අතර යේසුස්ගේ පවුලේ අයද සිටියා. (යොහන් 7:5) ගැලවුම්කරු තම පවුලේ කෙනෙක් කියා විශ්වාස කරන්න ඔවුන්ට හැකි වුණේ නැහැ. (ක්‍රියා 1:14; 1 කොරින්ති 9:5; ගලාති 1:19) සමහර යුදෙව්වන් යේසුස්ගේ නියෝජිතයන් ගැන බොරු ආරංචි පතුරුවාහැරිය අයට සවන් නොදී සත්‍යය දැනගැනීමට යේසුස්ගේ අනුගාමිකයෙක් වූ පාවුල්ව මුණගැසුණා. ඒ වන විට පාවුල් සිටියේ සිර ගෙදරයි. පාවුල්ට සවන් දුන් අය පසුව යේසුස්ගේ අනුගාමිකයන් බවට පත් වුණා.—ක්‍රියා 28:22-24.

අද සිටින බොහෝ අයද යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන වැරදි නිගමනවලට එළඹී තිබෙනවා. එවැනි නිගමනවලට එළඹී තිබෙන්නේ ඔවුන් ගැන සත්‍යය තොරතුරු සොයා බලා නොවෙයි. ක්‍රිස්තියානියයි කියාගන්නා බොහෝ ආගම් තිබෙන නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පමණක් සත්‍යය තොරතුරු උගන්වන බව පිළිගැනීමට ඔවුන් කැමති නැහැ.

ඒ නිසා යේසුස්ගේ අනුගාමිකයන්ට බොහෝ විරුද්ධවාදීකම්වලට මුහුණ දීමට සිදු වී තිබෙනවා. නමුත් එය පුදුමයට කරුණක් නොවෙයි. ඊට හේතුව යේසුස් මෙසේ පැහැදිලි කළා. “ඔබ මගේ නාමය දරන නිසා සියල්ලන් ඔබට වෛර කරයි. නමුත් ගැලවීම ලබන්නේ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තායි.”—මතෙව් 10:22.

යේසුස් පැවසූ ලෙස යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සියලුම ජාතීන්ට රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කරනවා. (මතෙව් 28:19, 20) එය හිතාමතාම ප්‍රතික්ෂේප කරන අයට සදාකාල ජීවනය උරුම වෙන්නේ නැහැ. (යොහන් 17:3) ඔබ සාක්ෂිකරුවන් ගැන යම් නිගමනවලට පැමිණ තිබෙනවාද? ඒවා නිවැරදිද කියා සොයා බලන්න ඔබ කැමතිද? පෙනුම හෝ ඇසූ දුටු දේවල් නිසා පැමිණෙන නිගමන සෑමවිටම නිවැරදි නොවන බව අමතක කරන්න එපා!—ක්‍රියා 17:10-12.

[11වන පිටුවේ පින්තූරය]

ගැලවුම්කරු ගැන නිගමනවලට පැමිණ තිබූ යුදෙව්වන් ගැලවුම්කරු යේසුස් බව පිළිගත්තේ නැහැ

[12වන පිටුවේ පින්තූරය]

ඔබ සාක්ෂිකරුවන් ගැන නිගමනවලට පැමිණ තිබෙන්නේ අන් අය කියන දේවල් නිසාද?