Skip to content

පටුනට යන්න

භූතයන් හා සම්බන්ධ වීම හානිකරද?

භූතයන් හා සම්බන්ධ වීම හානිකරද?

භූතයන් හා සම්බන්ධ වීම හානිකරද?

යොවුන් කාලයේ සිටම බාබරාට * අත්භූත කටහඬවල් ඇසුණා. ඇය යම් දර්ශනත් දුටුවා. ඇය සිතුවේ ඒ දේවල් පිටුපස සිටින්නේ ඇගේ මිය ගිය ඥාතීන් කියායි. ඇය සහ ඇගේ ස්වාමිෂුරුෂයා වූ ජෝකිම් අත්භූත දේවල් සඳහන් පොත් පත් සහ අනාගතය ගැන දැනගැනීමට තිබූ කාඩ්පත් (ටැරට් කාඩ්) කියෙව්වා. එවැනි දේවලින් ඔවුන් විශාල මුදලක්ද උපයාගත්තා. දිනක් ඔවුන් ටැරට් කාඩ් කියවන විට නාඳුනන කිහිපදෙනෙක් ඔවුන්ගේ නිවසට පැමිණෙන බවටත් ඔවුන් ඉතා භයානක නිසා ඔවුන්ට සවන් නොදෙන ලෙසටත් අනතුරු ඇඟවීමක් ලැබුණා.

අද්භූත දේවල් අදට ගැළපෙන්නේ නැහැ කියා සිතුවත් බොහෝදෙනෙක් තවමත් ඒවා විශ්වාස කරනවා. ආරක්ෂාව පතා මිනිසුන් විවිධ දේවල් පළඳිනවා. ඊට අමතරව අනාගතය ගැන දැනගැනීමටත් වාසනාව උරගා බැලීමටත් මිනිසුන් විවිධ දේවල් කරනවා. ජර්මනියේ පළ වූ එක් පුවත්පතක “පරිගණකය හා සාතන්” යන මාතෘකාවෙන් තිබූ ලිපියක මෙසේ සඳහන් වුණා. “අන්තර්ජාලය නිසා අත්භූත දේවලට නව ජීවයක් ලැබී තිබෙනවා.”

භූතයන් හා සම්බන්ධ දේවල් ගැන බයිබලයේ සඳහන් වී තිබෙන්නේ මොනවාද කියා ඔබ දන්නවාද? ඒ දේවල් ගැන දැනගැනීමෙන් ඔබ පුදුම වෙයි.

බයිබලයේ සඳහන් දේ

බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “පේන කියන්නවත් මන්තර ගුරුකම් කරන්නවත් නැකත් බලන්නවත් මායා බලයෙන් දේවල් කරන්නවත් ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි. කොඩිවින සහ හදිහූනියම් කරන්නවත් කට්ටඩියෙකුගේ හෝ ශාස්ත්‍ර බලන කෙනෙකුගේ උපකාර ලබන්නවත් මළවුන්ගෙන් තොරතුරු විචාරන්නවත් කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි. එවැනි දේවල් කරන කිසිවෙක් ඔබ අතරේ නොසිටිය යුතුයි. මන්ද එවැනි දේවලට හවුල් වන සෑම කෙනෙක්ම යෙහෝවා දෙවිට පිළිකුලක්.” (ද්විතීය කතාව 18:10-12) අත්භූත දේවල් ගැන බයිබලයේ එලෙස අනතුරු අඟවා තිබෙන්නේ ඇයි?

අද සිටින බොහෝදෙනා විශ්වාස කරන්නේ මළවුන්ගෙන් තොරතුරු විමසිය හැකි බවයි. ඔවුන් එසේ සිතීමට පෙලඹී තිබෙන්නේ පුද්ගලයෙක් මිය ගිය පසු නොනැසී පවතින යමක් තිබෙන බව ආගම්වලින් උගන්වා තිබෙන නිසයි. නමුත් බයිබලයේ එවැනි දෙයක් සඳහන් වී නැහැ. එහි සඳහන් වන්නේ “මිය ගිය අය කිසිවක් දන්නේ නැත” කියායි. (දේශනාකාරයා 9:5) මිය ගිය කෙනෙක් තද නින්දක සිටින බවත් අවට සිදු වන කිසිම දෙයක් ඔහුට දැනෙන්නේ නැති බවත් එහි විස්තර කර තිබෙනවා. * (මතෙව් 9:18, 24; යොහන් 11:11-14) එය සැබෑවක් නම් මිය ගිය අය සමඟ කතා කරනවා කියා මිනිසුන් කතා කරන්නේ කවුරුන් සමඟද?

භූතයන් සමඟ කතා කිරීම

යේසුස් පොළොව මත සිටියදී භූතයෙක් වැහී සිටි මිනිසෙක් ඔහු සමඟ කතා කළ අවස්ථාවක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. “ඔබ කවුද කියා මම හොඳටම දන්නවා” කියා ඒ පුද්ගලයාට වැහී සිටි භූතයා යේසුස්ට පැවසුවා. (මාක් 1:23, 24) ඒ හා සමානව අප එක් එක් කෙනා ගැනත් භූතයන් හොඳින් දන්නවා. ඇත්තටම ඔවුන් කවුද?

යෙහෝවා දෙවි මිනිසුන්ව නිර්මාණය කිරීමට කලින් දේවදූතයන්ව නිර්මාණය කළා. (යෝබ් 38:4-7) ඔවුන් මිනිසුන්ට වඩා බොහෝ සෙයින් බලවත්. (හෙබ්‍රෙව් 2:6, 7) බුද්ධිමත් ජීවීන් පිරිසක් වන ඔවුන්ව දෙවි නිර්මාණය කළේ දෙවිට කීකරු වෙමින් ඔහුගේ කැමැත්ත කිරීමටයි. “යෙහෝවා දෙවිගේ අණට සැමවිටම කීකරු වන ඔහුගේ දූතයෙනි, ඔහුට ප්‍රශංසා කරන්න” කියා බයිබලයේ සඳහන් දෙයින් එය පැහැදිලියි.—ගීතාවලිය 103:20.

කාලයත් සමඟම සමහර දේවදූතයන් දෙවිගේ අරමුණට පිටුපෑවා. එසේ කළ මුල්ම දේවදූතයා මුල් මිනිස් යුවළ වූ ආදම් සහ ඒවව රවටා දෙවි අකමැති දේ කිරීමට ඔවුන්ව පෙලඹෙව්වා. දෙවි ගැන බොරු කියමින් හිතාමතාම දෙවිට විරුද්ධ වූ නිසා එදා සිට එම දේවදූතයාව සාතන් නැත්නම් යක්ෂයා ලෙස හැඳින්නුවා.—උත්පත්ති 3:1-6.

පසු කාලයකදී ඔහුගේ පැත්තගත් දේවදූතයන් “තමන්ට නියමිත වාසස්ථානය අත්හැර” මිනිස් වෙස්ගෙන පොළොවට පැමිණ ස්ත්‍රීන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වුවා. (යූද් 6; උත්පත්ති 6:1, 2) ඔවුන් ඇතුළු ඔවුන්ට දාව ඉපදුණු දරුවන් අන් අයට දරුණු ලෙස හිරිහැර කළ නිසා මුළු පොළොවම “සැහැසික ක්‍රියාවලින්” පිරුණා. ඒ නිසා දෙවි ජලගැල්මක් මාර්ගයෙන් සියලුම දුෂ්ට මිනිසුන්ව විනාශ කළා. ඉන් ගැලවුණේ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළ නෝවා සහ ඔහුගේ පවුලේ අය පමණයි.—උත්පත්ති 6:3, 4, 11-13.

එම ජලගැල්ම නිසා පොළොවට පැමිණ සිටි දේවදූතයන්ට මිනිස් වෙස් අත්හැර යෑමට සිදු වුණා. නමුත් ඔවුන්ට නැවත “නියමිත වාසස්ථානය” වෙත යෑමට දෙවි ඉඩ දුන්නේ නැහැ. දෙවි “තද අන්ධකාරයෙන් වැසුණු වළවල්වලට” ඔවුන්ව සීමා කළා. ඉන් අදහස් කරන්නේ එදා සිට දෙවිගේ අරමුණු ගැන කිසිම දෙයක් ඔවුන්ට දැනගන්න බැරි බවයි. (2 පේතෘස් 2:4, 5) ඔවුන් දෙවිට අකීකරු වූ දා පටන් ඔවුන්ව හැඳින්නුවේ “භූතයන්” ලෙසයි. (යාකොබ් 2:19) අද සිදු වන අත්භූත දේවල් පිටුපස සිටින්නේ ඔවුන් මිස වෙන කිසිවෙකු නොවෙයි.

භූතයන්ට අවශ්‍ය මොනවාද?

භූතයන් උත්සාහ කරන්නේ මිනිසුන්ව දෙවිගෙන් ඈත් කිරීමටයි. ඒ සඳහා යන්ත්‍ර මන්ත්‍ර ගරුකම් කරන අයව ඔවුන් යොදාගන්නවා. ඔවුන්ගේ ග්‍රහණයට හසු වීමෙන් සිදු වන්නේ දෙවි සමඟ බැඳීමක් ඇති කරගැනීමට නොහැකි වීමයි.

එක් අවස්ථාවකදී සාතන් යේසුස්ට ‘ලෝකයේ සියලු රාජ්‍යයන්ද ඒවායේ තේජසද පෙන්වා ඔබ වැඳ වැටී මට එක් වරක් නමස්කාර කළොත් ‘ඒ සියල්ල ලබා දෙන බව පැවසුවා. නමුත් නමස්කාර කළ යුත්තේ සැබෑ දෙවිට පමණක් බව පවසමින් යේසුස් එය ප්‍රතික්ෂේප කළා. භූතයන්ට අවශ්‍ය තවත් දෙයක් ගැන එම සිද්ධියෙන් පැහැදිලි වෙනවා. එනම් දෙවිට දෙන නමස්කාරය ඔවුන්ට ලබාගැනීමටයි.—මතෙව් 4:8-10.

භූතයන් අදටත් එම උත්සාහය අත්හැර නැහැ. ඔවුන් මිනිසුන් හා සම්බන්ධ වෙන්න විවිධ ක්‍රම භාවිත කරනවා. උදාහරණයකට පළිඟු බෝල, කේන්දර, ටැරට් කාඩ් හා අංජනම් වැනි දේවල් සඳහන් කළ හැකියි. ඒවායින් කිසිදු හානියක් නැහැ කියා මිනිසුන් සිතනවා. නමුත් ඒ දේවල් පිටුපස සිටින්නේ භූතයන්. ඔවුන් උත්සාහ කරන්නේ යෙහෝවා දෙවිට නමස්කාර කිරීමෙන් මිනිසුන්ව වැළැක්වීමටයි. අත්භූත දේවල්වල හවුල් වන අය ඒවා නතර කිරීමට උත්සාහ කළොත් භූතයන් ඔවුන්ට හිරිහැර කරනවා. ඔබ සිටින්නේ එවැනි තත්වයක නම් ඔබට කළ හැක්කේ කුමක්ද?

භූත බලපෑම්වලින් නිදහස

දෙවිට විරුද්ධව ක්‍රියා කරන එම භූතයන්ගේ විනාශය ස්ථිරයි. (යූද් 6) ඒ බව දැන සිටින ඔවුන් උත්සාහ කරන්නේ අනික් අයවත් එම විනාශයට ඇද දැමීමටයි. ඔබ කිට්ටුවෙන් ඇසුරු කළ කෙනෙක් ඔබව රවටා ඇති බව දැනගැනීමට ලැබුණොත් ඒ ගැන ඔබට කෙසේ හැඟෙයිද? අන්තර්ජාලය හරහා ඔබ අදහස් හුවමාරු කරගත් මිතුරා කාමාතුරයෙක් බව දැනගන්නට ලැබුණොත් ඔබට ඔහු ගැන හැඟෙන්නේ කොහොමද? එවැනි අය සමඟ තවදුරටත් කිසිම සම්බන්ධයක් නොපවත්වන්න ඔබ තීරණය කරන බව ස්ථිරයි. භූතයන් සමඟ සම්බන්ධ වීම ඊටත් වඩා භයානකයි. ඒ නිසා භූතයන් සම්බන්ධ කරගෙන කරන සෑම දෙයක්ම නතර කිරීමට හැකි සියල්ල කරන්න. එය කළ හැක්කේ කොහොමද?

භූතයන් ගැන සත්‍යය දැනගත් පසු තමන් ළඟ තිබූ ඊට සම්බන්ධ පොත් පත් සියල්ල ‘පුළුස්සා දැමූ’ පිරිසක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 19:19, 20) වර්තමානයේ පොත් පත්වලට අමතරව තාක්ෂණික උපකරණ හරහාද භූතයන් හා සම්බන්ධ විය හැකියි. ඒ නිසා භූතයන් හා සම්බන්ධ දේවල් ඉවත් කිරීමේදී එවැනි සෑම දෙයක්ම ඉවත් කිරීමට පියවර ගැනීම වැදගත්.

මෙම ලිපියේ මුලින් සඳහන් කළ යුවළගේ අද්දැකීම ඔබට මතකද? ඔවුන් ටැරට් කාඩ් කියවීමෙන් තේරුම්ගත් ආකාරයටම අමුත්තන් දෙදෙනෙක් ඔවුන්ගේ නිවසට පැමිණියා. ඔවුන් පැමිණියේ දෙවි ළඟදීම කරන්න යන දෙයක් ගැන පැවසීමට බව දැනගත් විට එම යුවළ ඔවුන්ව නිවසට පිළිගත්තා. ඔවුන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. භූතයන් හා සම්බන්ධ දේවල් ගැන බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද කියා ජෝකිම් සහ බාබරා ඔවුන්ගෙන් අසා දැනගත්තා. පසුව බයිබලයේ තිබෙන දේවල් දිගටම ඉගෙනගන්න ඔවුන් කැමති වුණා.

වැඩි කල් යෑමට මත්තෙන් ඔවුන් දෙදෙනා තමන් ළඟ තිබූ භූතයන්ට සම්බන්ධ සියල්ල විනාශ කිරීමට තීරණය කළා. එසේ කරද්දී භූතයන් ඔවුන්ට හිරිහැර කරයි කියා සාක්ෂිකරුවන් ඔවුන්ට පැවසුවා. ඔවුන් පැවසූ ලෙසම ජෝකිම්ට සහ බාබරාට භූතයන්ගේ බොහෝ හිරිහැරවලට මුහුණ දීමට සිදු වුණා. ඔවුන් අලුත් නිවසක පදිංචියට යන තෙක් සෑම රාත්‍රියක්ම ගත කළේ හුඟක් භයෙනුයි. “මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ” කියා බයිබලයේ සඳහන් වචන ඔවුන්ට ශක්තියක් වුණා. (ෆිලිප්පි 4:13) භූතයන් සම්බන්ධ දේවල් නතර කරන්න ඔවුන් දැරූ වෑයමට යෙහෝවා දෙවි ආශීර්වාද කළා. ප්‍රතිඵලයක් ලෙස භූතයන්ගෙන් පැමිණි හිරිහැර නතර වුණා. දැන් ජෝකිම් සහ බාබරා සතුටින් යෙහෝවා දෙවිට සේවය කරනවා.

යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ලැබීමට කැමති සියලුදෙනාට බයිබලයේ මෙසේ පවසා තිබෙනවා. “දෙවිට යටත් වන්න. යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යයි. දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.” (යාකොබ් 4:7, 8) භූතයන්ගේ ග්‍රහණයෙන් මිදීමට කැමති සියලුදෙනාට උපකාර කිරීමට යෙහෝවා දෙවි සූදානමින් සිටිනවා. ‘මට උපකාර ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්ය’ කියා ගීතාවලිය 121:2හි සඳහන් වචන සැබෑවක් බව ජෝකිම් සහ බාබරා අද්දැක්කා.

[පාදසටහන්වල]

^ 2 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 7 ඡේ. මරණයෙන් පසු සිදු වන්නේ කුමක්ද කියා දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 6වන පරිච්ඡේදය බලන්න.

[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

භූතයන් හා සම්බන්ධ වෙන අයට දෙවිව සතුටු කරන්න බැහැ

[22වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.”—යාකොබ් 4:8