Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරු සොයමු

යේසුස්ගේ මරණය සිහි කළ යුත්තේ කොහොමද?

යේසුස්ගේ මරණය සිහි කළ යුත්තේ කොහොමද?

මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයටයි. ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමට උපකාරවත් වන බයිබල් පදද මෙහි සඳහන් කර තිබෙනවා. මෙම ලිපියේ සඳහන් තොරතුරු ගැන ඔබ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

1. යේසුස්ගේ මරණය සිහි කළ යුත්තේ කොහොමද?

තම මරණය සිහි කිරීමේදී රොටි සහ වයින් යොදාගන්න කියා යේසුස් තම අනුගාමිකයන්ට පැවසුවා. රොටිවලින් නියෝජනය කළේ යේසුස්ගේ ශරීරයයි. වයින්වලින් නියෝජනය කළේ ඔහුගේ රුධිරයයි.—ලූක් 22:19, 20 කියවන්න.

යේසුස්ගේ මරණය සිහි කිරීමේදී භාවිත කළ රොටිවලට මුහුන් (ඊස්ට්) මිශ්‍ර කළේ නැහැ. බයිබලයේ බොහෝවිට මුහුන් යොදාගෙන තිබෙන්නේ පව්කාරකම ඇඟවීමටයි. යේසුස් පරිපූර්ණ කෙනෙක් වූ නිසා ඔහුගේ ශරීරය නියෝජනය කළ රොටි සෑදීමේදී මුහුන් යෙදුවේ නැහැ. වයින්වලින් යේසුස්ගේ අනර්ඝ රුධිරය නියෝජනය කළා. ඔහු රුධිරය වැගිරෙව්වේ සියලු මනුෂ්‍ය වර්ගයාගේ පව් වෙනුවෙනුයි. (1 පේතෘස් 1:19; 2:24; 3:18 කියවන්න) යේසුස්ගේ ජීවිත පූජාවත් සමඟම දෙවි මෝසෙස් මාර්ගයෙන් දී තිබූ නීතිය අහෝසි වුණා.—හෙබ්‍රෙව් 10:5, 9, 10.

2. යේසුස්ගේ මරණය සිහි කළ යුත්තේ කවදාද?

යුදෙව් දින දර්ශනයට අනුව යේසුස් මිය ගියේ නීසාන් මාසයේ 14වෙනිදායි. එදින සන්ධ්‍යාවේදී යේසුස් තම නියෝජිතයන් සමඟ පාස්කු උත්සවය සැමරුවා. තම මරණය සිහි කරන ආකාරය ගැන යේසුස් ඔහුගේ ගෝලයන්ට කියා දුන්නේ ඉන්පසුවයි.—ලූක් 22:14, 15 කියවන්න.

පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් පාස්කු උත්සවය පැවැත්වුවේ ඊජිප්තුවේ වහල්භාවයෙන් ඔවුන් ලැබූ නිදහස සිහි කිරීම සඳහායි. (නික්මයාම 12:5-7, 13, 17) නමුත් අද සිටින දෙවිගේ සේවකයන් පවත්වන්නේ මිනිසුන්ව පාපයෙන් හා මරණයෙන් ගැලවීමට මඟ විවෘත කළ යේසුස්ගේ ජීවිත පූජාවයි. අතීතයේදී පාස්කු උත්සවය වාර්ෂිකව පැවැත්වුවා හා සමානව අද දින යේසුස්ගේ මරණයද වාර්ෂිකව සිහි කරනවා. එය සිහි කරන්නේ යුදෙව් දින දර්ශනයට අනුව නීසාන් 14වෙනිදා යෙදෙන දිනයේදියි.—යොහන් 1:29 කියවන්න.

3. සිහි කිරීමේදී රොටි අනුභව කරන්නේ සහ වයින් පානය කරන්නේ කවුද?

යේසුස් වයින් කුසලානය අතට ගෙන “‘අලුත් ගිවිසුම’ වලංගු වන්නේ මගේ රුධිරය මාර්ගයෙනුයි” කියා පැවසුවා. (1 කොරින්ති 11:25) අලුත් ගිවිසුමක් අවශ්‍ය වුණේ ඇයි? දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතියට ඔවුන් කීකරුව සිටියොත් ඔවුන්ව විශේෂ සෙනඟක් ලෙස තෝරාගන්නා බවට දෙවි පවසා තිබුණා. (නික්මයාම 19:5, 6) නමුත් ඔවුන් දෙවිට අකීකරු වූ නිසා දෙවි එම නීතිය අහෝසි කර අලුත් ගිවිසුමක් පිහිටෙව්වා.—යෙරෙමියා 31:31 කියවන්න.

එම අලුත් ගිවිසුමට ඇතුළත් වන්නේ 1,44,000දෙනෙක් පමණයි. ඉන් කිහිපදෙනෙක් අදටත් පොළොවේ ජීවත් වෙනවා. සිහි කිරීමේදී රොටි අනුභව කරන්නේ සහ වයින් පානය කරන්නේ ඔවුනුයි. (ලූක් 12:32; එළිදරව් 14:1, 3 කියවන්න) ඔවුන් මාර්ගයෙන් මිලියන ගණනකට පාරාදීස පොළොවක් මත සදාකාල ජීවිතය භුක්ති විඳීමට අවස්ථාව උදා වෙනවා.

4. යේසුස්ගේ ජීවිත පූජාව සිහි කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

යෙහෝවා දෙවි තම ප්‍රේමණීය පුත්‍රයාව ලබා දීමෙන් මුළු මිනිස් වර්ගයා වෙනුවෙන් පෙන්වූ ප්‍රේමය අගය කිරීමට මෙය කදිම අවස්ථාවක්. යේසුස්ගේ ජීවිත පූජාව අපට මොන තරම් වටිනවාද කියා අවබෝධ කරගැනීමටත් එමගින් හැකි වෙනවා. යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් අපට පෙන්වා ඇති ප්‍රේමය වෙනුවෙන් අප එක් එක් කෙනාට කළ හැකි දේ ගැන කල්පනා කිරීමටත් අපි මෙය අවස්ථාවක් කරගනිමු.—යොහන් 3:16; 2 කොරින්ති 5:14, 15 කියවන්න.

වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 207 සිට 209 දක්වා පිටු බලන්න.