Skip to content

පටුනට යන්න

‘ශුභාරංචිය දේශනා කරනවා’

‘ශුභාරංචිය දේශනා කරනවා’

‘ශුභාරංචිය දේශනා කරනවා’

“රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.”—මතෙව් 24:14.

ඉන් අදහස් කරන්නේ කුමක්ද? ‘දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමට නුවරින් නුවරටත් ගමින් ගමටත් ගිය යේසුස් එය සෑම තැනම පතළ කළා.’ (ලූක් 8:1) යේසුස්ම මෙසේ පැවසුවා. “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය වෙනත් නුවරවලත් දේශනා කළ යුතුයි. මාව එවා තිබෙන්නේ ඒ සඳහායි.” (ලූක් 4:43) ශුභාරංචිය ප්‍රකාශ කිරීමට තම අනුගාමිකයන්ව ගම්වලටත් නගරවලටත් යැවූ යේසුස් පසුව ඔවුන්ට මෙසේ පැවසුවා. ඔබ “පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි.”—ක්‍රියා 1:8; ලූක් 10:1.

මුල් ක්‍රිස්තියානීන් ඊට එකඟව ජීවත් වුණේ කොහොමද? යේසුස්ගේ අනුගාමිකයන් ඔහු පැවසූ දේ නොපමාව ඉටු කළ බව බයිබලයේ සඳහන් මේ දෙයින් පැහැදිලියි. ‘ඔවුහු තම ඉගැන්වීම් කටයුතු සහ යේසුස් පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය නතර කළේ නැත. දිනපතාම ඔවුහු දේවමාලිගාවේදීත් ගෙයින් ගෙටත් ගොස් එම කාර්යය ඉටු කළා.’ (ක්‍රියා 5:42) ශුභාරංචිය ප්‍රකාශ කළේ යේසුස්ගේ අනුගාමිකයන් අතර සිටි යම් විශේෂ කණ්ඩායමක් පමණක් නොවෙයි. ක්‍රිස්තියානීන්ට සතුරුකම් කළ කෙනෙක් වන සෙල්සස් ගැන ඉතිහාසඥයෙක් වන නියැන්ඩර් මෙසේ සඳහන් කළා. “ලොම් කපන, සපත්තු හදන, සම් පදම් කරන අය උද්‍යෝගයෙන් ශුභාරංචිය ප්‍රකාශ කිරීම ගැන සෙල්සස් අපහාසාත්මකව කතා කළා.” ජාන් බර්නාඩි නමැත්තා ඔහුගේ පොතේ මෙසේ ලිව්වා. ‘ක්‍රිස්තියානීන් මහා මාර්ගවල, නගරවල, මහජනයා ගැවසෙන වෙනත් ස්ථානවල හා නිවෙස්වල සිටි මිනිසුන්ට කතා කළා. ඔවුන්ට හොඳ ප්‍රතිචාරයක් ලැබුණත් නැතත් ඔවුන් සෑම තැනම ගොස් ශුභාරංචිය ප්‍රකාශ කළා.’—The Early Centuries of the Church.

අද දින එය පිළිපදින්නේ කවුද? “මිනිසුන්ට දෙවි ගැන ඇති භක්තිය අඩු වීමට බලපාන එක් හේතුවක් වන්නේ පූජකයන් ශුභාරංචිය ප්‍රකාශ කිරීම හා බයිබලය ගැන ඉගැන්වීම එතරම් වැදගත් දෙයක් ලෙස නොසැලකීමයි” කියා පූජකයෙක් වන ඩේවිඩ් වොට්සන් පැවසුවා. පේරූ රටේ පූජකයෙක් වන හොසේ ලූයිස් විවිධ ආගමික කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ගැන ඔහුගේ පොතක මෙසේ සඳහන් කළා. ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පිළිවෙළකට ගෙයින් ගෙට ශුභාරංචිය ප්‍රකාශ කළත් වෙන කිසිම ආගමක් එසේ කරන්නේ නැහැ.’—Why Are the Catholics Leaving?

ජොනතන් ටර්ලෙ නමැත්තා පැවසූ වැදගත් අදහසක් එක් පොතක මෙසේ සඳහන් වුණා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන සඳහන් කරන විට බොහෝදෙනාගේ මනසට නැඟෙන්නේ ගෙයින් ගෙට ගොස් ශුභාරංචිය ප්‍රකාශ කරන පිරිසක්වයි. සාක්ෂිකරුවන් එසේ කරන්නේ ඔවුන්ගේ විශ්වාසය ගැන අන් අයට පැවසීමට පමණක් නොව තම විශ්වාසය ශක්තිමත් කරගැනීම සඳහායි.”—Cato Supreme Court Review, 2001-2002.

[9වන පිටුවේ කොටුව]

සැබෑ ක්‍රිස්තියානීන්ව ඔබට හඳුනාගන්න පුළුවන්ද?

අප මෙතෙක් සලකා බැලූ තොරතුරු අදාළ වන්නේ අද සිටින කුමන ක්‍රිස්තියානි කණ්ඩායමටද? ක්‍රිස්තියානි ආගම් සහ නිකායන් දහස් ගණනක් අද තිබෙනවා. නමුත් යේසුස් පැවසූ මේ දේ මතක තබාගන්න. “ස්වර්ගයෙහි සිටින මගේ පියාණන්ගේ කැමැත්ත කරන්නා මිස මට ‘ස්වාමීනි, ස්වාමීනි’ කියන සියලුදෙනාටම ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න ලැබෙන්නේ නැහැ.” (මතෙව් 7:21) දෙවිගේ කැමැත්ත කරන අයව හඳුනාගෙන ඔවුන්ව ඇසුරු කිරීමෙන් දෙවිගේ රාජ්‍යයේ ආශීර්වාද ලබාගත හැකියි. ඒ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වී දෙවිගේ රාජ්‍යය ගැන හා ඉන් ලැබෙන ආශීර්වාද ගැන තවත් තොරතුරු දැනගන්න කියා අප ඔබට ආරාධනා කරනවා.—ලූක් 4:43.