Skip to content

පටුනට යන්න

ඔබේ දරුවන්ට උගන්වන්න

‘ඔහු දිගටම යෙහෝවා දෙවිට නමස්කාර කළා’

‘ඔහු දිගටම යෙහෝවා දෙවිට නමස්කාර කළා’

ම් කාර්යයක් දිගටම කරන්න කියලා කවුරු හරි ඔයාට කියලා තියෙනවද? * ගුරුවරුන් සහ දෙමාපියන් පාසැලේ වැඩකටයුතුවලට දිගටම අවධානය දෙන්න කියලා දරුවන්ට කියනවා. එහෙම කියන්නේ ඒක වැදගත් දෙයක් නිසයි. යෙහෝවා දෙවිට දිගටම කීකරු වුණ කෙනෙක් ගැන අපි දැන් බලමු. එයාගේ නම හෙසකියා.

හෙසකියාගේ තාත්තා යූදා දේශයේ රජ කෙනෙක්. එයාගේ නම ආහස්. එයානම් දිගටම යෙහෝවා දෙවිට සේවය කළේ නැහැ. හෙසකියා පොඩි කාලෙදී ආහස් බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තා. ආහස් අඩුම තරමින් එයාගේ එක පුතෙක්වත් ගින්නෙන් දවා පූජා කරන්න ඇති.

තාත්තා බොරු දෙවිවරුන්ට නමස්කාර කළත් හෙසකියා දිගටම යෙහෝවා දෙවිට කීකරු වුණා. ඒක කරන්න හෙසකියාට ලේසි වෙන්න ඇති කියලා ඔයා හිතනවද?— ඒක එයාට ලේසි වුණේ නැහැ. ඒත් කොහොමහරි හෙසකියා දෙවිට දිගටම කීකරු වුණා. එහෙම කරන්න හෙසකියාට පුළුවන් වුණේ කොහොමද කියලත් ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද කියලත් අපි දැන් බලමු.

යෙහෝවා දෙවිට දිගටම කීකරු වූ අය ගැන හෙසකියා ඉගෙනගෙන තිබුණා. ඒ අතරින් එක් කෙනෙක් තමයි දාවිත්. ඒ වෙනකොට දාවිත් මැරිලා අවුරුදු සිය ගණනක් ගත වෙලා තිබුණත් ශුද්ධ ලියවිලිවල දාවිත් ගැන සඳහන් වෙලා තිබුණා. එක තැනක දාවිත් මෙහෙම කියලා තිබුණා. “මාගේ පියා හෝ මව හෝ මාව අත්හැරියත් යෙහෝවා දෙවි වන ඔබ මාව භාරගනු ඇත.”

යෙහෝවා දෙවිට දිගටම කීකරු වෙන්න දාවිත්ට උදව් වුණේ මොකක්ද?— යෙහෝවා දෙවිට දිගටම විශ්වාසවන්තව හිටියොත් දෙවි අනිවාර්යයෙන්ම තමන්ට උදව් කරනවා කියලා දාවිත්ට ලොකු විශ්වාසයක් තිබුණා. දාවිත්ගේ ඒ ආදර්ශය දිගටම යෙහෝවා දෙවිට කීකරු වෙන්න හෙසකියාට උදව් වුණා. ඔයත් දිගටම දෙවිට කීකරු වුණොත් දෙවි අනිවාර්යයෙන්ම ඔයාටත් උදව් කරනවා කියලා අමතක කරන්න එපා.

ඔයාගේ අම්මයි තාත්තයි යෙහෝවා දෙවිට නමස්කාර කරන්නේ නැත්නම් මොකද කරන්නේ?— දෙමාපියන්ට කීකරු වෙන්න කියලා දෙවි දරුවන්ට කියලා තියෙනවා. ඒ නිසා ඔයත් ඔයාගේ දෙමාපියන්ට කීකරු වෙන්න ඕනේ. හැබැයි යෙහෝවා දෙවි අකමැති දෙයක් කරන්න කියලා ඒ අය කිව්වොත් ඔයා ඒ දේ කරන්න කැමති නැහැ කියලත් ඒකට හේතුව මොකක්ද කියලත් ඒ අයට පැහැදිලි කරලා දෙන්න. බොරු කියන එක හොරකම් කරන එක වගේ නරක වැඩ කරන්න එපා කියලා යෙහෝවා දෙවි කියලා තියෙනවා. ඒ නිසා දෙවි එපා කියලා තියෙන දෙයක් කරන්න කියලා කවුරු හරි ඔයාට කිව්වොත් කවදාවත් ඒක කරන්න එපා. මොකද ඔයා කීකරු වෙන්න ඕනේ යෙහෝවා දෙවිටයි.

දිගටම දෙවිට කීකරුව හිටිය තවත් අය ඉන්නවා. හෙසකියාගේ සීයා යෝතම් ඉන් එක් කෙනෙක්. එයා ගැනත් හෙසකියා ශුද්ධ ලියවිල්ලෙන් ඉගෙනගන්න ඇති. අපිට අද මුළු බයිබලයම තියෙන නිසා ඒකෙ තියෙන ආදර්ශවලින් අපිටත් ඉගෙනගන්න පුළුවන්. බයිබලයේ තියෙන තවත් හොඳ ආදර්ශ ඔයාට මතකද?

හෙසකියා, දාවිත් සහ යෝතම් වගේ අය දිගටම දෙවිට කීකරු වුණත් සමහර අවස්ථාවලදී ඒ අය අතිනුත් යම් වැරදි සිද්ධ වුණා. හැබැයි එයාලා ඒවා ගැන අවංකවම පසුතැවිලි වෙලා ඒ දේවල් ආයෙත් නොකරන්න අධිෂ්ඨාන කරගත්තා. එයාලා අතින් වැරදි වුණේ එයාලටත් පාපය උරුම වෙලා තිබුණ නිසයි. හැබැයි යේසුස්ට පව්කාරකම උරුම වෙලා තිබුණේ නැති නිසා ඔහු අතින් කිසිම වරදක් වුණේ නැහැ. ඒ නිසා යේසුස්ගේ ජීවිතය ගැන හොඳින් ඉගෙනගෙන ඔහුගේ ආදර්ශය අනුකරණය කරන එක මොන තරම් වැදගත්ද!

^ 3 ඡේ. ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙකු සමඟ නම් (—) ඉරක් යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී එම ප්‍රශ්නය දරුවාගෙන් අසන්න.