Skip to content

පටුනට යන්න

ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක් - යේසුස් සහ දෙවියන් එක් කෙනෙක්ද?

ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක් - යේසුස් සහ දෙවියන් එක් කෙනෙක්ද?

ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක් - යේසුස් සහ දෙවියන් එක් කෙනෙක්ද?

බයිබලයේ ඇති තොරතුරු අන් අයට කියා දීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මහත් ආශාවකින් සිටිනවා. බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන ඔබට යම් ප්‍රශ්නයක් තිබෙනවාද? නැත්නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ආගමික විශ්වාසයන් ගැන ඔබට ප්‍රශ්න තිබෙනවාද? එසේනම් ඔවුන්ගෙන් ඒ ගැන විමසන්න.

පහත සඳහන් වන්නේ සමන්තා නමැති කාන්තාව සහ සාක්ෂිකරුවෙක් වන කැරන් අතර ඇති වූ සංවාදයක්.

සාක්ෂිකරුවන් යේසුස්ව පිළිගන්නේ නැද්ද?

සමන්තා: අපේ පාස්ටර් කිව්වා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස්ව පිළිගන්නේ නැහැ කියලා. ඒක ඇත්තද?

කැරන්: නැහැ. අපි යේසුස්ව පිළිගන්නවා. ගැලවීම ලැබෙන්නේ යේසුස්ව විශ්වාස කළොත් විතරයි කියලා අපි දන්නවා.

සමන්තා: මාත් ඒක පිළිගන්නවා.

කැරන්: එහෙනම් ඇයි සාක්ෂිකරුවන් යේසුස්ව පිළිගන්නේ නැහැ කියලා මිනිස්සු කියන්නේ?

සමන්තා: ඇත්තටම ඇයි එහෙම කියන්නේ?

කැරන්: අපිට යේසුස් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. හැබැයි මිනිස්සු යේසුස් ගැන කියන හැම දෙයක්ම අපි පිළිගන්නේ නැහැ.

සමන්තා: ඒ මොනවද?

කැරන්: සමහරු කියනවා යේසුස් නිකම්ම හොඳ මනුෂ්‍යයෙක් විතරයි කියලා. අපි ඒකට එකඟ වෙන්නේ නැහැ.

සමන්තා: මාත් ඒක පිළිගන්නේ නැහැ.

කැරන්: යේසුස්ගේ ඉගැන්වීම්වලට එකඟ නැති ඉගැන්වීම් අපි පිළිගන්නේ නැහැ.

සමන්තා: ඒ මොනවද?

කැරන්: ගොඩක් ආගම්වල උගන්වන්නේ යේසුස් දෙවියන් කියලයි. සමහරවිට ඔයත් එහෙම ඉගෙනගෙන ඇති.

සමන්තා: ඔව්. අපේ පාස්ටර් කියන්නේ යේසුස් සහ දෙවියන් එක් කෙනෙක් කියලා.

කැරන්: යේසුස්ම තමන් ගැන කිව්වෙ මොනවද කියලා බයිබලයෙන් බැලුවොත් හරි දේ මොකක්ද කියලා හොයාගන්න පුළුවන්.

සමන්තා: ඒක හරි.

යේසුස් පැවසුවේ කුමක්ද?

කැරන්: ඒ ගැන දැනගන්න අපි යොහන් 6:38 කියවමු. එතන කියනවා “මක්නිසාද මා ස්වර්ගයෙන් බැස ආවේ මාගේ කැමැත්ත නොව මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත කරන පිණිසය” කියලා. * යේසුස් සහ දෙවියන් එක් කෙනෙක් නම් යේසුස් එහෙම කියයිද?

සමන්තා: ඒ කිව්වේ?

කැරන්: යේසුස් කිව්වේ ඔහු ස්වර්ගයෙන් ආවේ ඔහුගේ කැමැත්ත කරන්න කියලා නෙමෙයි.

සමන්තා: ඔව්. යේසුස් කිව්වේ ඔහුව එවපු කෙනාගේ කැමැත්ත කරන්න කියලනේ.

කැරන්: ඔව්. හැබැයි යේසුස් සහ දෙවියන් එක් කෙනෙක් නම් යේසුස්ව පොළොවට එව්වේ කවුද? යේසුස් කරනවා කිව්වේ කාගේ කැමැත්තද?

සමන්තා: මට දැන් ටිකක් තේරෙනවා. හැබැයි එක බයිබල් පදයකින් යේසුස් සහ දෙවියන් එක් කෙනෙක් නෙමෙයි කියලා කියන්න පුළුවන්ද?

කැරන්: එහෙනම් යේසුස් කියපු තවත් දෙයක් අපි බලමු. යොහන් 7:16 ඔයාට කියවන්න පුළුවන්ද?

සමන්තා: “එහෙයින් යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ ඉගැන්වීම මාගේ නොව මා එවූ තැනන්වහන්සේගේය.”

කැරන්: ඒ බයිබල් පදයට අනුව යේසුස් ඉගැන්නුවේ ඔහුගේම අදහස්ද?

සමන්තා: නැහැ. යේසුස් කිව්වේ තමන් උගන්වන්නේ තමාව එවපු තැනැත්තාගේ අදහස් කියලා.

කැරන්: හරියට හරි. එතකොට යේසුස්ව එව්වේ කවුද? යේසුස් ඉගැන්නුවේ කාගේ දේවල්ද? ඒ උගන්වපු කෙනා යේසුස්ට වඩා උතුම් කෙනෙක් නෙමෙයිද?

සමන්තා: ඒවා නම් වැදගත් ප්‍රශ්න තමයි. මම මේ පදය කලින් කියවලා තිබුණේ නැහැ.

කැරන්: යොහන් 14:28 යේසුස් කියන මේ දේ බලන්න. “මම අහක්ව ගොස් නුඹලා ළඟට නැවත එමියි මා නුඹලාට කී බව නුඹලා ඇසුවහුය. නුඹලා මට ප්‍රේමකළහු නම්, පියාණන්වහන්සේ ළඟට මා යන බැවින් නුඹලා සන්තෝෂවන්නහුය. මක්නිසාද පියාණන්වහන්සේ මට වඩා උතුම්ය.” ඒ පදයට අනුව පියාණන් හා යේසුස් අතර තියෙන සම්බන්ධය ගැන යේසුස් මොනවද කිව්වේ?

සමන්තා: යේසුස් කිව්වේ පියාණන් මට වඩා උතුම් කියලා.

කැරන්: හරියට හරි. අපි තවත් උදාහරණයක් බලමු. මතෙව් 28:18 යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙහෙම කිව්වා “යේසුස්වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කථාකොට: ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ.” යේසුස්ට මුල ඉඳලම සියලු බලය තිබුණා කියලා යේසුස් කිව්වද?

සමන්තා: නැහැ. යේසුස් කිව්වේ තමාට බලය දුන්නා කියලා.

කැරන්: හැබැයි යේසුස් සහ දෙවියන් එක් කෙනෙක් නම් යේසුස්ට බලය දුන්නේ කවුද? යේසුස් දෙවියන් නම් ඔහුට අමුතුවෙන් බලයක් ඕනෙද?

සමන්තා: මං ඒ ගැන හිතලා තිබුණේ නැහැ.

යේසුස් කතා කළේ කා සමඟද?

කැරන්: යේසුස් එකම සැබෑ දෙවි නම් බයිබලයේ සඳහන් වෙලා තියෙන තවත් සිද්ධියක් තේරුම්ගන්න අමාරු වෙනවා.

සමන්තා: ඒ මොකක්ද?

කැරන්: යේසුස් බව්තීස්ම වුණු වෙලාවේ සිද්ධ වුණ දෙයක් ලූක් 3:21, 22 තියෙනවා. ඔයාට ඒක කියවන්න පුළුවන්ද?

සමන්තා: “තවද සියලු සෙනග බව්තීස්මය ලැබූවිට යේසුස්වහන්සෙත් බව්තීස්මය ලැබ, යාච්ඤාකරන කල, අහස විවරවී, ශුද්ධාත්මයාණන්වහන්සේ රූපාකාරයෙන් පරෙවියෙකු මෙන් උන්වහන්සේ පිටට බැස්සසේක. එවිට: නුඹ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය; නුඹ කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් නික්ම ආයේය.”

කැරන්: යේසුස් බව්තීස්ම වුණාට පස්සේ මොකද කළේ?

සමන්තා: ඔහු යාච්ඤා කළා.

කැරන්: හරි. යේසුස් සහ දෙවියන් එක් කෙනෙක් නම් ඔහු යාච්ඤා කළේ කාටද?

සමන්තා: ඒක තමයි. මම ඒක පාස්ටර්ගෙන් අහන්න ඕනේ.

කැරන්: යේසුස් බව්තීස්ම වුණාට පස්සේ ස්වර්ගයෙන් කටහඬක් ඇහුණා කියලා ඒ බයිබල් පදයේ තිබුණා. ඒ කටහඬ කිව්වේ මොකක්ද?

සමන්තා: යේසුස් මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා, මම ඔහු කෙරෙහි ප්‍රසන්නව සිටිමි කියලා තමයි ඒ කටහඬ කිව්වේ.

කැරන්: යේසුස් සහ දෙවියන් එක් කෙනෙක් නම් ස්වර්ගයෙන් කතා කළේ කවුද?

සමන්තා: ඒ ගැන නම් මම හිතලා තිබුණේ නැහැ.

“පියා” සහ “පුත්‍රයා” කියා පවසන්නේ ඇයි?

කැරන්: අපි මෙච්චර වෙලා ඉගෙනගත්තේ මොනවද? තමන්ගේ ස්වර්ගික පියා දෙවියන් කියලා යේසුස් කිව්වා. යේසුස් බව්තීස්ම වුණ වෙලාවේ ස්වර්ගයෙන් නික්මුණු හඬක් යේසුස්ව මාගේ පුත්‍රයා කියලා හැඳින්නුවා. යේසුස්ම තමන් දෙවියන්ගේ පුත්‍රයා කියලා කිව්වා. සාමාන්‍යයෙන් දෙන්නෙක් එක වගේ නම් එයාලා කවුරු වගේ කියලද කියන්නේ?

සමන්තා: සහෝදරයෝ වගේ නැත්නම් නිවුන්නු වගේ කියලා කියනවා.

කැරන්: හරි. නමුත් යේසුස් දෙවියන්ව හැඳින්නුවේ පියාණන් කියලයි. තමාව හැඳින්නුවේ පුත්‍රයා කියලයි. යේසුස්ට කියන්න ඕන වුණේ මොකක් කියලද ඔයා හිතන්නේ?

සමන්තා: මට දැන් තේරෙනවා. යේසුස්ට ඕන වුණේ දෙවියන් තමන්ට කලින් සිටි කෙනෙක් වගේම තමන්ට වඩා බලවත් කෙනෙක් කියලා කියන්නයි.

කැරන්: ඔව්. මෙහෙම හිතන්න. එක වගේ දෙන්නෙක් ගැන කියද්දී අපි දෙන්නටම මතක් වුණේ සහෝදරයෝ නැත්නම් නිවුන්නු ගැනයි. යේසුස් සහ දෙවියන් එක හා සමාන නම් ඔහු ඒ වගේ උදාහරණයක් නොකියා ඉඳියි කියලා ඔයා හිතනවද? යේසුස් උතුම් ගුරුවරයා නිසා ඊටත් වඩා හොඳ සමානකමක් තියෙන උදාහරණයක් යේසුස්ට කියන්න තිබුණා.

සමන්තා: ඇත්ත.

කැරන්: නමුත් දෙවියන් සහ තමන් අතර තියෙන සම්බන්ධය යේසුස් විස්තර කළේ “පියාණන්” සහ “පුත්‍රයා” කියලයි.

සමන්තා: ඔයාගේ තර්කය නම් හරිම පැහැදිලියි.

යේසුස්ගේ මුල් අනුගාමිකයන් පැවසුවේ කුමක්ද?

කැරන්: මම යන්න කලින් මේ විෂය ගැන තවත් කරුණක් කියන්න කැමතියි. ඔයාට තව ටික වෙලාවක් දෙන්න පුළුවන්ද?

සමන්තා: ඔව්. කමක් නැහැ.

කැරන්: යේසුස් හා දෙවියන් එක් කෙනෙක් නම් යේසුස්ගේ ගෝලයන් ඒ ගැන නොකියා ඉඳියිද?

සමන්තා: නැහැ නේද?

කැරන්: හරි. යේසුස්ගේ ගෝලයෙක් වුණු පාවුල් ෆිලිප්පි 2:9 යේසුස්ගේ නැවත නැඟිටීමෙන් පසුව සිද්ධ වෙච්ච දෙයක් මෙහෙම විස්තර කරනවා. “එබැවින් දෙවියන්වහන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට, සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක.” ඒ පදයට අනුව දෙවියන් කළේ මොකක්ද?

සමන්තා: දෙවියන් යේසුස්ව උසස් කළා.

කැරන්: ඔව්. දෙවියන් යේසුස්ව උසස් කළා කියද්දී ඒකෙන් අදහස් කරන්නේ යේසුස් දෙවියන්ට වඩා උසස් තත්වයකට පත් වුණා කියලද? දෙවියන්ට වඩා උසස් කෙනෙක් ඉන්නවද?

සමන්තා: ඒ වගේ දෙයක් නම් කවදාවත් වෙන්න බැහැ.

කැරන්: ඔව් ඒක හරි. අපි සාකච්ඡා කරපු හැම තොරතුරකින්ම පැහැදිලි වෙන විදිහට බයිබලයේ උගන්වන්නේ යේසුස් දෙවියන් කියලද?

සමන්තා: නැහැ. බයිබලයේ කියන්නේ යේසුස් දෙවියන්ගේ පුත්‍රයා කියලයි.

කැරන්: හරියට හරි. නමුත් මම වැදගත් දෙයක් ආයෙත් ඔයාට කියන්න ඕනේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස්ට ගැඹුරු ගෞරවයක් දක්වනවා. පොරොන්දු වූ ගැලවුම්කරු යේසුස් කියලත් ඔහුගේ මරණය නිසා මිනිසුන්ට ගැලවීම ලබාගැනීමේ මාර්ගය විවෘත වුණා කියලත් විශ්වාස කරනවා.

සමන්තා: මාත් ඒක විශ්වාස කරනවා.

කැරන්: යේසුස් අපි වෙනුවෙන් ඔහුගේ ජීවිතය පූජා කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙන්නේ කොහොමද? *

සමන්තා: මාත් ඒ ගැන කල්පනා කරලා තියෙනවා.

කැරන්: ඔයා කැමතිද වෙන දවසක ඒ ගැන කතා කරන්න?

සමන්තා: ඔව් එන්න.

කැරන්: අපි එහෙනම් ඊළඟ සතියේ හම්බ වෙමු.

[පාදසටහන්වල]

^ 21 ඡේ. මෙම ලිපියේ සඳහන් කර ඇති බයිබල් පද රැගෙන තිබෙන්නේ පැරණි අනුවාදය නමැති පරිවර්තනයෙනි.