Skip to content

පටුනට යන්න

පාඨකයන් අසයි

“තාරකාව” මෙහෙයවූයේ කවුද?

“තාරකාව” මෙහෙයවූයේ කවුද?

▪ යේසුස් ගවමඩුවක ඉන්න ආකාරයත් රජතුන්කට්ටුවක් ඔහුව බැලීමට පැමිණ ඇති ආකාරයත් දැක්වෙන විවිධ නිර්මාණ ඔබ දැක ඇති. මිනිසුන් එවැනි නිර්මාණ කරන්නේ ඔවුන්ගේ විශ්වාසයක් නිසයි. දෙවි තරුවක් යොදාගෙන යේසුස් ඉපදුණු ගවමඩුව වෙතට රජතුන්කට්ටුවකට මඟ පෙන්වූ බව බොහෝදෙනා විශ්වාස කරනවා. යේසුස්ව බලන්න පැමිණියේ මෙල්කියෝර්, ගැස්පාර් සහ බල්තාසාර් යන තුන්දෙනා කියා සමහරු සිතනවා. බොහෝ දරුවන්ට එම නම් කටපාඩම්. නමුත් ජනප්‍රිය වී ඇති එම කතාන්දරය බයිබලයේ සඳහන් දේ සමඟ එකඟ වෙනවාද? නැහැ. එසේ පැවසීමට හේතු දැනගැනීම සඳහා අපි ප්‍රශ්න තුනකට පිළිතුරු සලකා බලමු.

පළමු ප්‍රශ්නය: යේසුස්ව බලන්න පැමිණියේ කවුද? බයිබලයේ මුල් ග්‍රීක ලියවිලිවල ඔවුන්ව හඳුන්වන්නේ රජවරු ලෙස නොව ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් ලෙසයි. ඔවුන් තරුවල පිහිටීම අනුව අනාගතය ගැන පැවසූ අයයි. ඒ වගේම යේසුස්ව බැලීමට කීදෙනෙක් පැමිණියාද සහ ඔවුන්ගේ නම් මොනවාද කියා බයිබලයේ සඳහන් වී නැති බව අප මතක තබාගත යුතුයි.

දෙවන ප්‍රශ්නය: ඔවුන් යේසුස්ව බලන්න පැමිණියේ කුමන අවස්ථාවේදීද? ඔවුන් පැමිණියේ යේසුස් ළදරුවෙකුව සිටියදී නොවෙයි. මතෙව් වාර්තා කරන මේ දෙයින් එය පැහැදිලියි. ‘දරුවා සිටි නිවසට ඇතුල් වූ ඔවුහු, කුඩා දරුවා සිය මව වූ මරියා සමඟ සිටිනවා දුටුවා.’ (මතෙව් 2:11) මතෙව් ඒ අවස්ථාවේදී යේසුස්ව හැඳින්නුවේ ළදරුවා කියා නොව “කුඩා දරුවා” කියායි. ඉන් පැහැදිලි වන්නේ මරියා සහ යෝසෙප් ඒ අවස්ථාවේදී සිටියේ ඔවුන්ගේ නිවසේ බවයි.

තුන්වන ප්‍රශ්නය: ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ට මඟ පෙන්වීමට “තරුව” යොදාගත්තේ කවුද? බොහෝ ආගම්වල උගන්වන්නේ එය කළේ දෙවි කියායි. තරුව මුලින්ම ඔවුන්ට මඟ පෙන්නුවේ බෙත්ලෙහෙමට නොව යෙරුසලමේ සිටි හෙරොද් රජු වෙතටයි. බලවත් හා දුෂ්ට රජ කෙනෙක් වන හෙරොද් රජුට ඔවුන් පැවසුවේ ‘යුදෙව්වරුන්ව පාලනය කිරීමට නියමිත රජ’ ඉපදී සිටින බවයි. එය ඇසූ හෙරොද් රජට මහත් කෝපයක් ඇති වුණා. (මතෙව් 2:2) බෙත්ලෙහෙමට ගොස් යේසුස් ඉපදුණු නිවැරදි ස්ථානය සොයා තමන්ටද දන්වන ලෙසත් එවිට තමන්ද යේසුස්ට ගරුබුහුමන් දැක්වීමට එතැනට යන බවත් හෙරොද් රජ ඔවුන්ට පැවසුවා. නමුත් ඔහු එසේ පැවසුවේ යේසුස්ව ඝාතනය කිරීමේ අරමුණ ඇතුවයි. “තරුවේ” මඟ පෙන්වීමට අනුව ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් යෝසෙප් සහ මරියා සිටි තැනට ගියා. ඉන් පැහැදිලි වන්නේ කුමක්ද? තරුවේ මඟ පෙන්වීමට අනුව ක්‍රියා කළ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් දැන හෝ නොදැන කළේ යේසුස්ව ඝාතනය කිරීම සඳහා රජට උපකාර කිරීමයි. නමුත් දෙවි ඊට මැදිහත් වී ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ට වෙනත් මාර්ගයකින් ඔවුන්ගේ ගමට යන ලෙස උපදෙස් දුන්නා. ඔවුන් නැවත නොපැමිණි නිසා හෙරොද් රජ ඉතා කෝප වී වයස අවුරුදු දෙක හා ඉන් පහළ සියලුම දරුවන්ව ඝාතනය කරන්න කියා අණ කළා.—මතෙව් 2:16.

පසු අවස්ථාවක යෙහෝවා දෙවි යේසුස්ව මෙසේ හැඳින්නුවා. “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි.” (මතෙව් 3:17) යෙහෝවා දෙවි තම පණිවිඩකරුවන් ලෙස බොරු නමස්කාරයට සම්බන්ධ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ව යොදාගනීද? ජ්‍යෝතිඃ ශාස්ත්‍රය ඇතුළු ගුප්ත දේවල් දෙවිම තහනම් කර තිබුණා. (ද්විතීය කතාව 18:10) හෙරොද් රජුගේ කෝපය වැඩි කිරීමට හේතු වන පණිවිඩයක් ඔහුට ලබා දීමට දෙවි පියවර ගනීද?

මේ උදාහරණය බලන්න. එක්තරා හමුදා ප්‍රධානියෙක් තමන් යටතේ සිටින හොඳම සොල්දාදුවාව දුෂ්කර මෙහෙයුමක් සඳහා සතුරන් සිටින ප්‍රදේශයකට යවනවා. ඒ සොල්දාදුවා සිටින තැන සොයාගන්නා ආකාරය හමුදා ප්‍රධානියා පසුව සතුරන්ට පවසයිද? කොහෙත්ම නැහැ. ඒ හා සමානව යෙහෝවා දෙවිද යේසුස්ව ඉතා දුෂ්කර මෙහෙයුමක් සඳහා මේ දුෂ්ට ලෝකයට එව්වා. එලෙස ක්‍රියා කළ දෙවිම යේසුස් ඉපදුණු ස්ථානය දුෂ්ට හෙරොද් රජුට දැනුම් දෙන්න ක්‍රියා කරයිද? කොහෙත්ම නැහැ.

එසේනම් එම “තරුව” හෝ තරුවක් සේ පෙනුණ වස්තුව මෙහෙව්වේ කවුද? එය තේරුම්ගැනීම ඉතා පහසුයි. යේසුස්ව මරා දමන්න වුවමනාව තිබුණේ කාටද? බොරු ඉගැන්වීම් යොදාගෙන මිනිසුන්ව නොමඟ යවන්නේත් දුෂ්ටකම් කිරීමට මිනිසුන්ව පොලඹවන්නේත් කවුද? යේසුස් ඔහුව හැඳින්නුවේ “බොරුකාරයෙක්” හා “බොරුවේ පියා” ලෙසයි. ඔහු “නොමඟ ගිය දා සිට මිනී මරුවෙක්” කියාත් යේසුස් පැවසුවා. ඒ වෙන කිසිවෙක් නොව සාතන් ලෙස හඳුන්වන යක්ෂයායි.—යොහන් 8:44.