Skip to content

පටුනට යන්න

යහපත් පුරවැසියන් හා භක්තිමත් පුද්ගලයන් වෙන්නේ කොහොමද?

යහපත් පුරවැසියන් හා භක්තිමත් පුද්ගලයන් වෙන්නේ කොහොමද?

යහපත් පුරවැසියන් හා භක්තිමත් පුද්ගලයන් වෙන්නේ කොහොමද?

යේසුස්ගේ ඉගැන්වීම් නිසා මිනිසුන් යහපත් පුද්ගලයන් බවට පත් වුණා. ඔහු උත්සාහ කළේ මිනිසුන්ව යහපත් පුද්ගලයන් කිරීමට මිස එවකට පැවති දේශපාලනය වෙනස් කිරීමට නොවෙයි. ඔහු සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනාවේදී ජනයාට ඉගැන්වූ කරුණු කිහිපයක් බලමු. ‘මෘදු ගුණැති අය, නිර්මල සිත් ඇති අය හා සාමය ඇති කිරීමට වෙහෙසෙන අය සන්තෝෂවත්’ කියා ඔහු පැවසුවා. (මතෙව් 5:1-11) හරි වැරැද්ද ගැන දෙවි දී තිබෙන ප්‍රමිතිවලට අනුව ක්‍රියා කිරීම මොන තරම් වැදගත්ද කියා යේසුස් ඉගැන්නුවා. කැමැත්තෙන්ම දෙවිට සේවය කිරීමේ අවශ්‍යතාවද ඔහු කාවැද්දුවා.

යේසුස්ට දුක් විඳි ජනයා ගැන ඇති වුණේ මහත් අනුකම්පාවක්. ඒ නිසා ඔවුන්ට යම් සහනයක් ලබා දීමට ඔහු ක්‍රියා කළත් ඔහුගේ ප්‍රධාන අරමුණ වුණේ මිනිසුන්ගේ දුක නැති කිරීම නොවෙයි. (මතෙව් 20:30-34) යේසුස් රෝගීන්ව සුව කළා. (ලූක් 6:17-19) දුක් විඳි අයට සහනය ලබා දුන්නා. කුසගින්නෙන් සිටි අයට කෑම දුන්නා. (මාක් 6:41-44) නමුත් ඒ දේවල් සම්පූර්ණයෙන්ම නැති කිරීමට ඔහු උත්සාහ කළේ නැහැ.

ජනයා ලැබූ ප්‍රයෝජන

දේශපාලන ක්‍රමය වෙනස් කිරීමටවත් දුක සම්පූර්ණයෙන් නැති කිරීමටවත් යේසුස් උත්සාහ නොකළේ ඇයි? එය සිදු කරන්නේ දේවරාජ්‍යයෙන් පමණක් බව ඔහු දැන සිටි නිසයි. (ලූක් 4:43; 8:1) රෝගීන්ව සුව කිරීමට වැඩි කාලයක් වැය කරන්න කියා තම අනුගාමිකයන් පැවසූ විට යේසුස් මෙසේ පිළිතුරු දුන්නා. “අපි වෙන තැනකට යමු. අනික් ගම්බද පළාත්වල ඇති නුවරවලත් මට දේශනා කරන්න අවශ්‍යයි. මම ආවේ ඒ කාර්යය සඳහායි.” (මාක් 1:32-38) යේසුස් එදා සිටි ජනයාගේ අසනීප සුව කළත් ඔහු මූලික අවධානය දුන්නේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට හා ජනයාට ඉගැන්වීමටයි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද යේසුස්ව අනුකරණය කිරීමට උත්සාහ කරනවා. ජනයාගේ ගැටලුවලට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය උපකාර ඔවුන් ලබා දෙනවා. නමුත් ඔවුන් මේ ලෝකයෙන් සම්පූර්ණයෙන්ම දුක නැති කිරීමට උත්සාහ කරන්නේ නැහැ. එවැනි දෙයක් කිරීමට හැකියාව තිබෙන්නේ දෙවිගේ රාජ්‍යයට පමණක් බව ඔවුන් විශ්වාස කරනවා. (මතෙව් 6:10) යේසුස් මෙන් ඔවුන් උත්සාහ කරන්නේ ජනයාව යහපත් පුද්ගලයන් කිරීමට මිස දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට නොවෙයි. මිනිසුන් බොහෝ ප්‍රශ්න ගැටලු අද්දැකීමට හේතුව මිනිසුන්ගේම දුෂ්ටකමයි.

යහපත් පුරවැසියන්

යහපත් පුරවැසියන් ලෙස ජීවත් වීම තම වගකීම බව සාක්ෂිකරුවන් අවබෝධ කරගෙන සිටිනවා. ඒ නිසා ඔවුන් අධිකාරියක් ඇති අයට ගෞරව කරනවා. ඔවුන්ගේ ප්‍රකාශනවලිනුත් ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය තුළිනුත් ඔවුන් ජනයාට උනන්දු කරන්නේ නීතිගරුක පුරවැසියන් වන ලෙසයි. නමුත් දෙවිට අකීකරු වන යමක් කරන්න කියා ආණ්ඩුව අපේක්ෂා කරන අවස්ථාවලදී සාක්ෂිකරුවන් ‘කීකරු වන්නේ මිනිසුන්ට නොව දෙවිටයි.’—ක්‍රියා 5:29; රෝම 13:1-7.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ජනයාගේ නිවෙස්වලටම ගොස් අය කිරීමකින් තොරව බයිබලය ගැන දැනුම ලබා දෙනවා. ඒ දැනුම නිසා මිලියන ගණනකගේ ජීවිත යහපත් වී තිබෙනවා. දුම් පානය, බේබදුකම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, සූදුව සහ අනාචාරය වැනි නරක පුරුදුවලින් මිදීමට දහස් ගණනකට හැකි වී තිබෙනවා. බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගැනීම නිසා ඔවුන් දැන් යහපත් මෙන්ම නීතිගරුක පුරවැසියන් වී තිබෙනවා.—මෙම සඟරාවේ 18වන පිටුවේ ඇති “ජීවිත වෙනස් කළ පොතක්” යන ලිපිය බලන්න.

බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් පවුලේ සාමාජිකයන්ට ගරු කිරීමටත් හොඳින් අදහස් හුවමාරු කරගැනීමටත් දායක වෙනවා. ඒවා අදාළ කරගැනීමෙන් පවුලේ බැඳීම ශක්තිමත් වන අතර සන්තෝෂයෙන් සිටීමටත් හැකි වෙනවා. ඉන් සමාජයට සිදු වන්නේද යහපතක්.

මෙම ලිපි පෙළ කියෙවූ පසු ඔබට සිතෙන්නේ කුමක්ද? ආගම දේශපාලනය සමඟ සම්බන්ධ වීම බයිබලය අනුමත කරනවාද? පිළිතුර පැහැදිලියි. බයිබලයේ එය අනුමත කරන්නේ නැහැ. සැබෑ ක්‍රිස්තියානීන් නීතිගරුක පුරවැසියන් විය යුතුද? ඔව්. යේසුස් දුන් මඟ පෙන්වීම් පිළිපැදීමෙන් ඔවුන්ට එය කළ හැකියි.

යේසුස්ගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වන අයට ඔවුන්ගේ ජීවිත යහපත් කරගත හැකියි. එපමණක් නොව ඔවුන්ගේ පවුලේ අයටද ඉන් යහපතක් සිදු වෙනවා. එමගින් සමාජයට සිදු වන්නේද යහපත් බලපෑමක්. බයිබලයේ සඳහන් තොරතුරු ගැන ඔබට දැනුම් දීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉතා ආශාවෙන් සිටිනවා. *

[පාදසටහන]

^ 12 ඡේ. තවත් තොරතුරු www.watchtower.org යන වෙබ් අඩවියෙන්ද දැනගත හැකියි.

[10වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

යේසුස් ජනයාව යහපත් මිනිසුන් කළා මිස දේශපාලනය වෙනස් කළේ නැහැ

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

යහපත් පුරවැසියන් ලෙස ජීවත් වීම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සලකන්නේ වගකීමක් ලෙසයි