Skip to content

පටුනට යන්න

දෙවිට ළං වෙන්න

සුළු දේත් අගය කරන දෙවි

සුළු දේත් අගය කරන දෙවි

අන් අය අපව අගය කරන විට අපට සතුටක් දැනෙනවා. විශේෂයෙන්ම අප ආදරය කරන කෙනෙක් අපව අගය කරන විට දැනෙන්නේ ඊටත් වඩා සතුටක්. අප වැඩියෙන්ම ආදරය කරන්නේ යෙහෝවා දෙවිටයි. අප ඔහු වෙනුවෙන් කරන දේ ඔහු අගය කරනවාද? ඒ ගැන දැනගන්න දෙවි ඒබෙද්-මෙලෙක් නමැති තැනැත්තා සමඟ ක්‍රියා කළ ආකාරය ගැන අපි බලමු. ඒබෙද්-මෙලෙක්, දෙවිගේ අනාගතවක්තෘවරයෙකුව බේරාගැනීමට තම ජීවිතය පරදුවට තැබූ පුද්ගලයෙක්.යෙරෙමියා 38:7-13; 39:16-18 කියවන්න.

ඒබෙද්-මෙලෙක් යූදා රාජ්‍යයේ රජ වූ හෙසකියාගේ මාලිගාවේ සේවය කළ බව සිතිය හැකියි. දෙවිගේ අනාගතවක්තෘවරයෙකු ලෙස සේවය කළ යෙරෙමියා ජීවත් වුණේද ඒ කාලයේයි. යුදෙව්වන් දෙවිට අකීකරු වූ නිසා ඔවුන් විනාශ වන බව යෙරෙමියා ඔවුන්ට පැවසුවා. දෙවිට අකීකරු වූ එම සෙනඟ අතර ඒබෙද්-මෙලෙක් ජීවත් වුණත් ඔහු දෙවි කෙරෙහි ගරුබියක් දැක්වුවා පමණක් නොව යෙරෙමියාටද ගරු කළා. යෙරෙමියා පැවසූ දේ ගැන කෝපයෙන් සිටි යූදා දේශයේ දුෂ්ට අධිපතීන් ඔහුට බොරු චෝදනා එල්ල කර මිය යෑම සඳහා ඔහුව මඩවලකට දැමුවා. (යෙරෙමියා 38:4-6) ඒ සියල්ල දැන සිටි ඒබෙද්-මෙලෙක් කුමක් කරන්න ඇද්ද?

ඒබෙද්-මෙලෙක් ඉතා ඥානවන්ත හා නිර්භීත පියවරක් ගත්තා. තමා කිරීමට යන දේ නිසා රජමාලිගාවේ අධිපතීන්ගෙන් ප්‍රශ්න ඇති වෙයි කියා දැන සිටියත් ඔහු රජ ඉදිරියට ගොස් යෙරෙමියාට සිදු වූ අසාධාරණය ගැන පැවසුවා. දුෂ්ට අධිපතීන් ඉදිරියේම ඒබෙද්-මෙලෙක් රජුට මෙසේ පැවසුවා. ‘ඔවුන් යෙරෙමියාට සලකා තිබෙන්නේ ඉතා කෲර විදිහටයි.’ (යෙරෙමියා 38:9) එවිට රජු මිනිසුන් 30දෙනෙකුව රැගෙන ගොස් යෙරෙමියාව බේරාගන්න කියා ඒබෙද්-මෙලෙක්ට පැවසුවා. ඔහු ඒ අවස්ථාවේදීම ක්‍රියාත්මක වුණා.

ඒබෙද්-මෙලෙක් කාරුණික කෙනෙක් බවත් ඔහු ක්‍රියා කළ ආකාරයෙන් පැහැදිලි වෙනවා. යෙරෙමියාව බේරාගැනීමට යන විට ඔහු පරණ රෙදි කැබලි කිහිපයක්ද ගෙන ගියා. ඔහු එසේ කළේ ඇයි? ලණුවක් ආධාරයෙන් යෙරෙමියාව මඩ වලෙන් එලියට අදින විට ඔහුගේ ඇඟ තුවාල නොවීම සඳහායි.—යෙරෙමියා 38:11-13.

ඒබෙද්-මෙලෙක් කළ සියල්ල යෙහෝවා දෙවි දුටුවා. ඒ නිසා යූදා දේශය මතට ගෙනෙන විනාශයෙන් ඔහුව ආරක්ෂා කරන බවට දෙවි ඒබෙද්-මෙලෙක්ට මෙසේ සහතික වුණා. “ඒ දවසේදී මම ඔබව ගලවාගන්නෙමි. ඔබ භයෙන් සිටින මිනිසුන්ගේ අතට ඔබව හසු වීමට මම ඉඩ නොදෙන්නෙමි . . . ඔබ කඩුවෙන් විනාශ වන්නේ නැත. ඔබට ගැලවී යෑමට මාර්ගයක් මම සලසා දෙන්නෙමි . . . ඔබේ ජීවිතය ආරක්ෂා වන්නේය.” යෙහෝවා දෙවි එවැනි සහතිකයක් දුන්නේ ඇයි? ඒබෙද්-මෙලෙක් දෙවි ‘කෙරෙහි විශ්වාසය තැබූ නිසයි.’ (යෙරෙමියා 39:16-18) ඒබෙද්-මෙලෙක්, යෙරෙමියාව බේරාගත්තේ යෙරෙමියා ගැන සැලකිලිමත් වූ නිසා පමණක් නොව ඔහුට යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබුණු නිසයි. ඒ බව දෙවි හොඳින්ම දැන සිටියා.

එම සිද්ධියෙන් අපට ඉගෙනගන්න පුළුවන් කුමක්ද? දෙවිගේ සේවය වෙනුවෙන් අප කරන සෑම දෙයක්ම දෙවි අගය කරනවා. අවංක, පිරිසිදු චේතනාවකින් අප දෙවි වෙනුවෙන් කරන කුඩා දේවල් පවා දෙවි අමතක කරන්නේ නැහැ. (මාක් 12:41-44) මිනිසුන් ගැන එතරම් සැලකිලිමත් වන දෙවිට කිට්ටු වෙන්න ඔබ පෙලඹෙන්නේ නැද්ද? ඔබ එසේ කරනවා නම් දෙවි ලබා දෙන ආශීර්වාද අද්දකින්න ඔබට හැකි වන බව නිසැකයි.—හෙබ්‍රෙව් 11:6.

මැයි මාසයට නියමිත බයිබල් කියවීම

යෙරෙමියා 32 සිට 50 දක්වා