Skip to content

පටුනට යන්න

අදහස් එකිනෙක ගැළපෙන පොතක්

අදහස් එකිනෙක ගැළපෙන පොතක්

“අනාවැකි පළ කරනු ලැබුවේ මිනිසුන්ගේ කැමැත්තට අනුව නොවේ. මිනිසුන් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වී දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟව ඔවුහු කතා කළෝය.”—2 පේතෘස් 1:21.

බයිබලය අද්විතීය වන්නේ ඇයි? එකම කාලයේදී ලියැවුණු පුරාණ පොත්වල පවා පරස්පර විරෝධී අදහස් තිබෙනවා. විවිධ පුද්ගලයන් විවිධ වකවානුවල විවිධ ස්ථානවල සිට ලියූ පොත්වල තොරතුරු එකිනෙක ගැළපෙන්නේ නැති තරම්. නමුත් පොත් 66කින් සමන්විත බයිබලය විවිධ පුද්ගලයන් ලිව්වත් එහි අදහස් එකිනෙක ගැළපෙනවා. ඊට හේතුව එය දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු පොතක් වීමයි.—2 තිමෝති 3:16.

උදාහරණයක්: බයිබලයේ මුල් පොත මෝසෙස් විසින් ලියනු ලැබුවේ ක්‍රිස්තු පූර්ව 16වන සියවසේදියි. මිනිසුන්ව ගලවාගැනීමට නියමිත ‘තැනැත්තෙක්’ ගැනත් ඔහු ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ්ගේ පෙළපතින් පැමිණෙන බවත් එහි වාර්තා වෙනවා. (උත්පත්ති 3:15; 22:17, 18; 26:24; 28:14) ඉන් වසර 500කට පමණ පසුව ලියැවුණු බයිබලයේ ඇති පොතක සඳහන් වන්නේ එම තැනැත්තා දාවිත්ගේ රජ පෙළපතින් පැමිණෙන බවයි. (2 සාමුවෙල් 7:12) පැමිණීමට නියමිත තැනැත්තා යේසුස් බවත් ඔහු තවත් පිරිසක්ව තෝරාගන්නා බවත් බයිබල් ලේඛකයෙක් වූ පාවුල් පැවසුවේ ඉන් වසර 1,000කට පමණ පසුවයි. (රෝම 1:1-4; ගලාති 3:16, 29) ඒ පිරිස යේසුස් ගැන මිනිසුන්ට කියා දෙන බවත් ඔවුන්ව ස්වර්ගයට ගන්නා බවත් අවුරුදු 1,000ක් ස්වර්ගයේදී යේසුස් සමඟ හවුලේ රජකම් කරන බවත් බයිබලයේ අවසන් පොතේ සඳහන් වෙනවා. එය ලියනු ලැබුවේ ක්‍රිස්තු වර්ෂ පළමුවෙනි සියවස අග භාගයේදියි. ඔවුන් යක්ෂයාව සම්පූර්ණයෙන්ම විනාශ කර මිනිසුන්ව ගලවාගන්නා බවත් එහි සඳහන් වෙනවා.—එළිදරව් 12:17; 20:6-10.

බයිබල් විශාරදයන් පවසන දේ: බයිබලය ගැන අධ්‍යයනය කළ ලුවී ගවුසෙන් මෙසේ ලිව්වා. “බයිබලය සම්පූර්ණයෙන් ලියා අවසන් කරන්න අවුරුදු 1,500ක කාලයක් ගත වුණත් එහි ඇති තොරතුරු එකිනෙකට ගැළපෙනවා. ඔවුන් ලියූ සමහර දේවල් ඔවුන්ට නොතේරුණත් ඒ සෑම තොරතුරක්ම බයිබලයේ තේමාවට එකඟයි. එය නම් දෙවිගේ පුත්‍රයා මේ ලෝකය ගලවාගන්නා ආකාරයයි.”—Theopneusty—​The Plenary Inspiration of the Holy Scriptures යන පොත.

ඔබ සිතන්නේ කුමක්ද? වසර 1,500ක් පුරා විවිධ ලේඛකයන් 40දෙනෙකු විසින් ලියා ඇති, අදහස් එකිනෙකට ගැළපෙන වෙනත් පොතක් ගැන ඔබ අසා තිබෙනවාද?

“පොත් කිහිපයක එකතුවක් වුණත් එය එක් පොතක් ලෙස හැඳින්විය හැකියි. ඒ හා සමාන වෙන කිසි පොතක් නැහැ.”—The Problem of the Old Testament යන පොත