Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරු සොයමු

දෙවිගේ නම දැනගන්න ඕනේ ඇයි?

දෙවිගේ නම දැනගන්න ඕනේ ඇයි?

මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයටයි. ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමට උපකාරවත් වන බයිබල් පද මෙහි සඳහන් කර තිබෙනවා. මෙම ලිපියේ සඳහන් තොරතුරු ගැන ඔබ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

1. දෙවි ඔහුගේ නම දැනුම් දීලා තියෙන්නේ ඇයි?

අපි හැමෝම කැමතියි අපිට අපේ නමින් කතා කරනවාට. සමහර වෙලාවට අපි “මහත්මයා,” “මහත්මිය” කියලා මිනිසුන්ට කතා කරනවා. ඒත් නිශ්චිත කෙනෙක් ගැන මතක් වෙන්නේ ඒ කෙනාගේ නම කිව්වොත් විතරයි. දෙවිවත් “විශ්වයේ පාලකයාණන්,” “සියලු බලැති,” “ශ්‍රේෂ්ඨ සැදුම්කරු” වගේ පදවි නම්වලින් හඳුන්වනවා. (උත්පත්ති 15:2; 17:1; දේශනාකාරයා 12:1) ඒත් දෙවිගේ නම යෙහෝවා කියලා දෙවිම අපිට දැනුම් දීලා තියෙනවා. ඒකට හේතුව දෙවි කැමතියි අපි ඔහුව හොඳින් දැනගන්නවාට.නික්මයාම 6:2, 3 කියවන්න.

හුඟක් බයිබල් පරිවර්තනවල දෙවිගේ නම වෙනුවට “දෙවියන් වහන්සේ,” ස්වාමීන් වහන්සේ” යන නම් පාවිච්චි කරලා තියෙනවා. හැබැයි බයිබලයේ මුල් පිටපත්වල යෙහෝවා යන නම 7,000 වතාවක් විතර තියෙනවා. දෙවිගේ නම මිනිසුන් දැනගන්නවාට දෙවි කැමතියි කියලා ඒකෙන් පැහැදිලියි.යෙසායා 12:4 කියවන්න.

2. දෙවිගේ නම දැනගැනීම වැදගත් ඇයි?

දෙවිගේ නම දැනගන්නවා වගේම ඒ නමේ තේරුම දැනගන්න එකත් වැදගත්. යෙහෝවා යන නමේ තේරුම තමයි “සියල්ල සිදු කරන දෙවි.” දෙවි දීලා තියෙන හැම පොරොන්දුවක්ම ඔහුට ඉටු කරන්න පුළුවන් කියලා ඒකෙන් පැහැදිලියි. ඒ නිසා දෙවිගේ නම දැනගන්න කෙනෙක්ට ඔහු දීලා තියෙන පොරොන්දු අනිවාර්යෙන්ම ඉටු කරනවා කියලා විශ්වාසයකුත් ඇති වෙනවා. (ගීතාවලිය 9:10) දෙවි ගැන ඒ වගේ විශ්වාසයක් තියෙන අය ජීවත් වෙන්නේ දෙවි කැමති විදිහටයි. ඒ අයව ආරක්ෂා කරනවා කියලත් දෙවි පොරොන්දු වෙලා තියෙනවා.ගීතාවලිය 91:14 කියවන්න.

3. දෙවිගේ නම මිනිසුන් දැනගන්නවාට දෙවි කැමති ඇයි?

දෙවිගේ නම දැනගන්න එකෙන් මිනිසුන්ට ප්‍රයෝජන ලැබෙනවා කියලා දෙවි දන්නවා. දෙවිගේ මිතුරෙක් වෙන්නත් අනාගතයේදී පාරාදීස පොළොවක සදාකාලයටම ජීවත් වෙන්නත් පුළුවන් වෙන්නේ දෙවිව නමින් හඳුනාගත්තොත් විතරයි. ඒ නිසා තමයි යෙහෝවා දෙවි ඔහුගේ නම මිනිසුන්ට දැනුම් දෙන්න කියලා අපිට කියලා තියෙන්නේ.යොහන් 17:3; රෝම 10:13, 14 කියවන්න.

යේසුස් පොළොවේ හිටිය කාලයේදී දෙවිගේ නම ගැනත් ඔහුගේ ගතිගුණ ගැනත් ඔහුගේ පොරොන්දු ගැනත් මිනිසුන්ට කියලා දුන්නා. අද ඉන්න සැබෑ ක්‍රිස්තියානීනුත් සියලුම ජාතීන්ට අයත් මිනිසුන්ට දෙවි ගැන කියලා දෙනවා. ඒ අය එහෙම කරන්නේ දෙවිගේ නාමය දරන එකමුතු සෙනඟක් විදිහටයි.යොහන් 17:26; ක්‍රියා 15:14 කියවන්න.

4. දෙවි තමන්ගේ නම ගෞරවයට පත් කරන්නේ කොහොමද?

හුඟක් මිනිස්සු දෙවිගේ නමට අගෞරව කරනවා. මේ විශ්වය නිර්මාණය කළේ දෙවි නෙමෙයි කියලත් ඒ නිසා අපි දෙවිට කීකරු වෙන්න ඕනේ නැහැ කියලත් ඒ අය කියනවා. තවත් අය කියන්නේ දෙවි අපි ගැන සැලකිලිමත් නැහැ කියලා. අද සිද්ධ වෙන හැම දේකටම වග කියන්න ඕනේ ඔහු කියලත් ඔවුන් කියනවා. ඒ විදිහට දෙවිට අගෞරව කරන අයව දෙවි ළඟදීම විනාශ කරනවා.ගීතාවලිය 83:17, 18 කියවන්න.

දෙවිගේ රාජ්‍යයෙන් ළඟදීම සියලුම මිනිස් ආණ්ඩු නැති කරනවා. ඊට පස්සේ මිනිසුන්ට සාමයෙනුත් සතුටිනුත් ජීවත් වෙන්න පුළුවන්. (දානියෙල් 2:44) දෙවි තමන්ගේ නාමය ගෞරවයට පත් කරන්නේ ඒ විදිහටයි. වැඩිකල් යන්න කලින් යෙහෝවා දෙවි සැබෑ දෙවි කියලා හැමෝම තේරුම්ගන්නවා.එසකියෙල් 36:23; මතෙව් 6:9 කියවන්න.

ඔයා කරන්න ඕනේ මොකක්ද? ඔයා බයිබලයේ තියෙන දේවල් ඉගෙනගෙන දෙවි කැමති විදිහට ජීවත් වෙන අයව ආශ්‍රය කරනවා නම් ඔයාටත් පුළුවන් දෙවිගේ මිත්‍රයෙක් වෙන්න. එහෙම කළොත් දෙවි ඔයාව කවදාවත් අමතක කරන්නේ නැහැ.—මලාකි 3:16.

වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ පළමුවන පරිච්ඡේදය බලන්න.

[16වන පිටුවේ පින්තූරය]

හෙබ්‍රෙව් ලියවිල්ලේ පුරාණ අත්පිටපතක දෙවිගේ නම සඳහන් වී ඇති අයුරු