Skip to content

පටුනට යන්න

නිවැරදි වෛද්‍ය උපදෙස් ඇතුළත් පොතක්

නිවැරදි වෛද්‍ය උපදෙස් ඇතුළත් පොතක්

“මම ඔබට උපදෙස් හා දැනමුතුකම් ලියා දුන්නෙමි. එසේ කළේ මේ සැබෑ කියමන් කෙරෙහි ඔබේ විශ්වාසය ගොඩනංවන පිණිසය. දැන් නැවත ඔබව එවූ තැනැත්තා වෙතට ගොස් මේ සත්‍යයන් ඔහු සමඟ බෙදාගන්න.”—හිතෝපදේශ 22:20, 21.

බයිබලය අද්විතීය වන්නේ ඇයි? පුරාණයේ ලියැවුණු බොහෝ පොත්පත් නවීන විද්‍යාවට එකඟ නැහැ. ඒවාවල සඳහන් ඇතැම් උපදෙස් පිළිපැදීම සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා. නවතම සොයාගැනීම් නිසා අලුතින් ලියැවුණු පොත් පවා වෙනස් කිරීමට සිදු වෙනවා. නමුත් විශ්වයේ නිර්මාතෘගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු බයිබලයේ ඇති තොරතුරු කිසිදාක වෙනස් කිරීමට අවශ්‍ය නැහැ.—1 පේතෘස් 1:25.

උදාහරණයක්: ඊශ්‍රායෙල්වරුන්ට දෙවි ලබා දී තිබූ උපදෙස් කිහිපයක් බලමු. ඔවුන්ට මලපහ කිරීමට ‘කඳවුරෙන් පිටතට’ යෑමට සිදු වූ අතර පසුව ඒවා වැළලිය යුතු වුණා. (ද්විතීය කතාව 23:12, 13) මළ සතෙකු හෝ මිනියක් ස්පර්ශ කළ කෙනෙක් අත් හොඳින් සෝදාගැනීමත් අවශ්‍ය වුණා. (ලෙවී කතාව 11:27, 28; ගණන් කතාව 19:14-16) ඒ වගේම ලාදුරු රෝගියෙක් සුව වන තුරු වෙන් වී සිටිය යුතු වුණා.—ලෙවී කතාව 13:1-8.

නවීන විද්‍යාවෙන් සොයාගෙන ඇති කරුණු: අත් සේදීම, වසංගත රෝගීන්ව වෙන් කර තැබීම හා මලපහ නිසි ලෙස වැළලීම නිරෝගී සෞඛ්‍යයට දායක වන බව සොයාගෙන තිබෙනවා. වැසිකිළි පහසුකම් නොමැති නම් තමා ජීවත් වන ස්ථානයේ සිට හා එදිනෙදා අවශ්‍යතා සඳහා ජලය ලබාගන්නා ස්ථානයේ සිට අඩුම තරමින් මීටර 30ක දුරකින්වත් මලපහ කර එය වසා දැමිය යුතු බව ඇමරිකා එක්සත් ජනපදයේ වසංගත රෝග මර්දනය කිරීමේ ආයතනය (CDC) පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මලපහ නිසි ලෙස වළලනවා නම් වසංගත රෝග වැලඳීම සියයට 36කින් අඩු කරගත හැකි බවයි. වෛද්‍යවරුන් මල සිරුරු ඇල්ලීමෙන් පසුව අත් හොඳින් නොසේදීම නිසා බොහෝදෙනා රෝගී වෙන බව සොයාගත්තේ මීට වසර 200කට පමණ පෙරයි. දැනටත් බොහෝ රෝගවලින් ආරක්ෂා විය හැකි හොඳම සහ පහසුම ක්‍රමය අත් සේදීම බව CDC ආයතනය පවසනවා. බෝවන රෝග වැලදුණු අවස්ථාවේදීම ඒ අයව වෙන් කර තැබීමෙන් එය අන් අයට බෝ වීම වැළැක්විය හැකියි කියා එක් පොතක සඳහන් වුණා.—Saudi Medical Journal.

ඔබ සිතන්නේ කුමක්ද? පැරණි ශුද්ධ පොත් අතරින් නිවැරදි වෛද්‍ය උපදෙස් අඩංගු වෙනත් පොතක් ගැන ඔබ අසා තිබෙනවාද?

‘සනීපාරක්ෂාව සම්බන්ධයෙන් බයිබලයේ ඇති උපදෙස් පුදුමසහගතයි.’—Manual of Tropical Medicine යන පොත