Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි පිලිපීනයේ කාන්තාවක් එය නතර කළේ ඇයි? ඕස්ට්‍රේලියාවේ සිටි කරාටේ ක්‍රීඩකයෙක් එය නතර කර දෙවිට සේවය කිරීමට පටන්ගත්තේ ඇයි? ඒ ගැන ඔවුන්ම පවසන දේ බලන්න.

“දවසකින් ඒ වෙනස්කම් කරන්න මට පුළුවන් වුණේ නැහැ.”—කාමන් අලෙග්‍රා

උපත ලැබූ වසර: 1949

රට: පිලිපීනය

අතීතයේදී: බේබද්දෙක්

මගේ අතීතය: මම ඉපදුණේ සැන් ෆනෑන්ඩෝවල. පුංචි කාලේ මම හිටියේ ඇන්ටිපෝලෝවල. ඒක කඳුවලින් වටවෙච්ච පුංචි නගරයක්. කළුවර වැටුණට පස්සේ කවුරුවත් එහෙ මෙහෙ යන්නේ නැහැ. දැන්නම් තත්වය ඊට වඩා හුඟක් වෙනස්. ඒ නගරය දැන් දියුණු වෙලා. මිනිස්සුත් හුඟක් ඉන්නවා.

ඇන්ටිපෝලෝවලදී මට බෙන්ජමින්ව මුණගැහුණා. ටික කාලෙකට පස්සේ අපි විවාහ වුණා. මම හිතුවේ පවුල් ජීවිතය ගෙවන එක හරිම ලේසියි කියලා. හැබැයි අපේ පවුල් ජීවිතේ හුඟක් ප්‍රශ්න තිබුණා. අන්තිමේදී මම බොන්නත් පුරුදු වුණා. මම හැසිරුණේ හරිම දරුණු විදිහට. බෙන්ජමින්ටත් දරුවන්ටත් මම ආදරෙන් සැලකුවේ නැහැ. පුංචි දේටත් මට කේන්ති ගියා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: බෙන්ජමින්ගේ අක්කා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. ඒ නිසා අපි දෙන්නටත් එයාලා එක්ක බයිබලය ගැන ඉගෙනගන්න කියලා අක්කා අපිට කිව්වා. ඒකෙන්වත් අපේ පවුල් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙයිද කියලා බලන්න අපි දෙන්නම ඒකට කැමති වුණා.

බයිබලයේ තියෙන දේවල් දැනගත්තාම අපි ගොඩක් සතුටු වුණා. විශේෂයෙන්ම එළිදරව් 21:4 තියෙන දේ මගේ හිතට කාවැදුණා. අනාගතයේදී දෙවිගේ රාජ්‍යයෙන් කරන්න යන දේ ගැන එතන මෙහෙම කියලා තිබුණා. “දෙවි [මිනිසුන්ගේ] ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.” ඒ වගේ කාලෙක ජීවත් වෙන්න මටත් ආස හිතුණා.

මගේ ජීවිතේ හුඟක් දේවල් වෙනස් කරගන්න ඕනේ කියලා මට තේරුණා. හැබැයි එක දවසකින් ඒ වෙනස්කම් කරන්න මට පුළුවන් වුණේ නැහැ. අමාරුවෙන් හරි මම බොන එකනම් නතර කළා. මගේ පවුලේ අයට ආදරෙන් සලකන්නත් කේන්තිය පාලනය කරගන්නත් මම පුරුදු වුණා. බෙන්ජමින්ට ගෞරවයෙන් සලකන්නත් මම ඉගෙනගත්තා. එයා පවුලේ මූලිකත්වය අරගෙන වැඩ කරද්දී මම එයාට උපරිමයෙන් සහයෝගය දුන්නා.

අපි සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න පටන්ගත්තා. ඒ අය හැසිරෙන විදිහ දැක්කම අපිට පුදුම හිතුණා. එයාලා හරිම හොඳයි. අනික් අයට ගෞරවයෙන් සලකනවා. උස් පහත් භේද නැහැ. සූදු සෙල්ලම් කරන අයවත් බේබද්දන්වත් එයාලා අතරේ නැහැ. මේක තමයි සැබෑ ආගම කියලා අපි දෙන්නම තේරුම්ගත්තා.—යොහන් 13:34, 35.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: අපි දැන් පවුල් ජීවිතය ගෙවන්නේ හරිම සතුටින්. අනික් අයට බයිබලයේ තියෙන දේවල් උගන්වද්දී අපිට ලොකු සතුටක් දැනෙනවා. අපේ පුතාලා දෙන්නම බැඳලා. ඒ අයත් දැන් සාක්ෂිකරුවන් එක්ක බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්නවා. වැඩිකල් යන්න කලින් ඒගොල්ලන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙයි කියලා අපි හිතනවා. දෙවි කැමති විදිහට ජීවත් වෙද්දී තමයි ජීවිතේ සැබෑ සතුට ලැබෙන්නේ.

“කිසිම කෙනෙක්ට මාව පරද්දන්න බැහැ.”—මයිකල් බ්ලෙන්ස්ඩන්

උපත ලැබූ වසර: 1967

රට: ඕස්ට්‍රේලියාව

අතීතයේදී: කරාටේ ක්‍රීඩකයෙක්

මගේ අතීතය: මම හැදී වැඩුණේ නිව් සවුත් වේල්ස්වල තියෙන ඕබ්රි නගරයේ. එහෙ හරිම ලස්සනයි. නිස්කලංක නගරයක් විදිහට ඒක ප්‍රසිද්ධයි. හැබැයි එහෙ ප්‍රචණ්ඩකාරී දේවල් සිද්ධ වුණේ නැහැම කියලා කියන්නත් බැහැ.

මට අයියා කෙනෙකුයි අක්කා කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා. මට අවුරුදු හතේදී අම්මයි තාත්තයි දික්කසාද වුණා. හැබැයි ඒ දෙන්නා අපිට කිසිම අඩුවක් කළේ නැහැ. හොඳම ඉස්කෝලෙට යවලා අපිට ඉගැන්නුවා. මගේ තාත්තා කැමති වුණේ මම ව්‍යාපාරිකයෙක් වෙනවා දකින්න. ඒත් මට ඒකට කිසිම ආසාවක් තිබුණේ නැහැ. මම ආස වුණේ බයිසිකල් පදින්නයි කරාටේ ඉගෙනගන්නයි. අන්තිමේදී මම ගරාජ් එකක වැඩ කරන්න පටන්ගත්තා. එහෙ වැඩ කරද්දී බයිසිකල් පදින්නත් කරාටේ ඉගෙනගන්නත් මට ඇති තරම් කාලය තිබුණා.

මගේ ඇඟපතේ හයිය ගැන මම ඕනෑවට වඩා හිතුවා. සමහර වෙලාවට මට හිතුණා කිසිම කෙනෙක්ට මාව පරද්දන්න බැහැ කියලා. අනික් අයව බය කරගෙන තියාගන්න මම උත්සාහ කළා. ඒත් මගේ කරාටේ මාස්ටර් හොඳ විනයක් තියාගන්න මට ඉගැන්නුවා. ගුරුවරයාට කීකරු වෙන එක කොච්චර වැදගත්ද කියලා මාස්ටර් මට කියලා දුන්නා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න කොට මම දැනගත්තා යෙහෝවා දෙවි ප්‍රචණ්ඩකාරී දේවලට කැමති නැහැ කියලා. (ගීතාවලිය 11:5) ඒත් කරාටේ ක්‍රීඩාවෙන් කිසිම කෙනෙක්ට හානියක් වෙන්නේ නැති නිසා ඒක ප්‍රචණ්ඩකාරී ක්‍රීඩාවක් නෙමෙයි කියලා මං තර්ක කළා. කරාටේ ක්‍රීඩකයන්ට උගන්වන දේවලුත් බයිබලයේ තියෙන ප්‍රමිතිත් අතර වෙනසක් නැහැ කියලා මම හිතුවා. මට බයිබලය ගැන කියලා දුන්න සාක්ෂිකරුවන් ගොඩක් ඉවසීමෙන් මට ඉගැන්නුවා. කරාටේ ක්‍රීඩාව නතර කරන්න කියලා කවදාවත් ඒ අය මට කිව්වේ නැහැ. ඒ වෙනුවට බයිබලයේ තියෙන තොරතුරු ගැන ඒගොල්ලන් දිගටම මට කියලා දුන්නා.

බයිබලයේ තියෙන දේවල් ඉගෙනගනිද්දී මම යෙහෝවා දෙවිව හොඳින් දැන හඳුන ගත්තා. ඒ නිසා යෙහෝවා දෙවි හිතන විදිහට හිතන්න මමත් උත්සාහ කළා. දෙවිගේ එකම පුතා වුණ යේසුස්ට ලොකු බලයක් තිබුණත් කවදාවත් ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරුණේ නැහැ. “කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසිනවා” කියලා යේසුස් කියලා තිබුණ වචන මට ලොකු බලපෑමක් වුණා.—මතෙව් 26:52.

යෙහෝවා දෙවි ගැන වැඩියෙන් ඉගෙනගන්න තරමටම මම දෙවිට තවත් ළං වුණා. හැම දෙයක්ම නිර්මාණය කරන්න තරම් බලයක් තියෙන දෙවි මං ගැනත් සැලකිලිමත් කියලා මම දැනගත්තා. සමහර වෙලාවට දෙවි අකමැති දේවල් මගේ අතින් සිද්ධ වුණා. ඒත් ඒවා හදාගෙන දෙවි කැමති විදිහට ජීවත් වෙන තාක් කල් දෙවි මාව අත්හරින්නේ නැහැ කියලා මම දැනගත්තා. ඒක මට ලොකු හයියක් වුණා. දෙවි දීලා තියෙන මේ පොරොන්දුවත් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. “යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි. ‘භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි.’” (යෙසායා 41:13) දෙවි මට කොච්චර ආදරෙයිද කියලා දැන් මම දන්නවා.

මගේ ජීවිතේ අමාරුම දේ වුණේ කරාටේ අත්හරින එක. හැබැයි ජීවිතේ නියම සතුට ලැබෙන්නේ යෙහෝවා දෙවි කැමති විදිහට ජීවත් වුණොත් විතරයි කියලා මං තේරුම්ගත්ත නිසා අමාරුවෙන් හරි ඒ දේ කරන්න මං තීරණය කළා. “ස්වාමිවරුන් දෙදෙනෙකුට දාසයෙක් වෙන්න කිසිවෙකුටවත් බැහැ” කියලා බයිබලයේ තියෙන අදහස මට ඒ තීරණය ගන්න උදව් වුණා. (මතෙව් 6:24) මම දෙවි කැමති විදිහට ජීවත් වෙන ගමන් කරාටේ ක්‍රීඩාවත් කළොත් දන්නෙම නැතුව මගේ මුළු කාලයම ඒකට වැය වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම යෙහෝවා දෙවිගේ දාසයෙක් වෙන්න තීරණය කළා.

මම අමාරුවෙන් හරි ඒ දේ කළේ යෙහෝවා දෙවි ඒ ගැන සතුටු වෙන නිසයි. හැබැයි මම මගේ කරාටේ මාස්ටර්ට ද්‍රෝහි වුණාද කියලත් සමහර වෙලාවට හිතුණා. කෙනෙක්ට ද්‍රෝහි වෙන එක සමාව ලැබෙන්නේ නැති වරදක් කියලයි කරාටේ කරද්දී අපි ඉගෙනගත්තේ. එහෙම කරනවාට වඩා මැරෙන එක හොඳයි කියලා සමහර අය හිතුවා.

මම කරාටේ ක්‍රීඩාවෙන් සමුගන්නවා කියලා මාස්ටර්ට කියන්න තරම් හයියක් මට තිබුණේ නැහැ. ඒ නිසා කාටත් නොකියාම මම කරාටේ ක්‍රීඩාව නතර කළා. කරාටේ සෙල්ලම් කරන යාළුවෝ එක්කයි මාස්ටර් එක්කයි තිබුණ සම්බන්ධකම් හැම එකක්ම මම නැවැත්තුවා. ඒත් යෙහෝවා දෙවි ගැන ඒ අයට කිව්වේ නැති එක ගැන මගේ හිත මට වධ දුන්නා. ඒ හැම දෙයක් ගැනම යෙහෝවා දෙවිට කියන්න මම උත්සාහ කළත් ඒ හැම වෙලාවෙම මට ඇඬුණා.

හැබැයි සාක්ෂිකරුවන් මාව හුඟක් දිරිගැන්නුවා. මට හිතුණේ යෙහෝවා දෙවි මගේ මොකක් හරි හොඳක් දැකපු නිසා ඒ විදිහට මාව දිරිගැන්නුවා කියලයි. ඒ ගැන විස්තර කරන්න මට වචන නැහැ. දාවිත් රජ ගැන මම කල්පනා කළා. දාවිත් අනාචාරයේ යෙදුණත් ඒ වරද ගැන අවංකවම පසුතැවිලි වුණාම යෙහෝවා දෙවි එයාට සමාව දුන්නා. ඒක මට ලොකු සහනයක් වුණා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: ඉස්සර මං හිතුවේ මං ගැන විතරයි. හැබැයි දැන් මං අනික් අය ගැනත් හිතනවා. එහෙම කරන්න යෙහෝවා දෙවිත් මගේ බිරිඳත් මට උදව් කළා. දැන් මමයි මගේ බිරිඳයි එකතු වෙලා යෙහෝවා දෙවි ගැන අනික් අයට කියලා දෙනවා. ඒක ඇත්තටම අපිට ලැබුණ ආශීර්වාදයක්! සමහර අය හුඟක් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීලා තියෙනවා. යෙහෝවා දෙවි ගැන දැනගන්න ලැබුණ නිසා දැන් ඒ අය ඉන්නේ සතුටින්. ඒ අයව දකිද්දී අපි ඊටත් වඩා සතුටු වෙනවා. කරාටේ ශූරයෙක් වෙනවට වඩා ඒක කොච්චර වෙනස්ද!

[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“හැම දෙයක්ම නිර්මාණය කරන්න තරම් බලයක් තියෙන දෙවි මං ගැනත් සැලකිලිමත් කියලා මම දැනගත්තා”

[15වන පිටුවේ පින්තූරය⁄කොටුව]

“මේ අද්දැකීම්වලට ස්තුතියි!”

වර්ෂ 2008 අගෝස්තු මාසයේ සිට මේ දක්වා “ජීවිත වෙනස් කළ පොතක්” යන තේමාව ඔස්සේ අද්දැකීම් 50කටත් වඩා මුරටැඹ කලාපවල පළ වුණා. ඔබට ඒවා කියවීමට අවස්ථාව ලැබුණාද? එම අද්දැකීම් බොහෝදෙනාගේ සිත්ගෙන තිබෙනවා. ඒ ඇයි?

විවිධ පසුබිම්වලින් පැමිණි අයගේ අද්දැකීම් එම ලිපිවල සඳහන් වුණා. යම් පැතිවලින් සාර්ථක වුණත් සැබෑ සතුට අත් නොදුටු අය, අධික කෝපයෙන් ක්‍රියා කළ අය, මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය සහ ළමා කාලයේ සිට යෙහෝවා දෙවිට සේවය කර තිබුණත් යම් කාලයකට එය නතර කළ අයගේ අද්දැකීම් ඒ අතර වුණා. නරක පුරුදු අත්හැරීමට ඕනෑම කෙනෙකුට හැකි බව එම අද්දැකීම්වලින් පැහැදිලි වෙනවා. එසේ කිරීමෙන් ඔවුන් බොහෝ ප්‍රයෝජන ලබා තිබෙනවා. එම අද්දැකීම් ගැන පාඨකයන් දැක්වූ අදහස් කිහිපයක් බලන්න.

සිර ගෙදරක සිටි රැඳවියන් කිහිපදෙනෙක්ට 2009 පෙබරවාරි 1 මුරටැඹ සඟරාවේ පළ වූ අද්දැකීම් ප්‍රයෝජනවත් වූ ආකාරය ගැන කාන්තාවක් මෙසේ පැවසුවා.

▪ “මෙහෙ ඉන්න හුඟක් අයගේ ජීවිතත් ඒ අද්දැකීම්වලට සමානයි. ඒ අද්දැකීම්වල ඒ අය කලින් හිටිය තත්වෙයි දැන් ඉන්න තත්වෙයි පෙන්වන පින්තූර දාලා තිබුණ එක ලොකු ප්‍රයෝජනයක් වුණා. ඒ අද්දැකීම් කියෙව්වට පස්සේ රැඳවියන් දෙන්නෙක් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා.”

වර්ෂ 2011 අප්‍රියෙල් 1 මුරටැඹ සඟරාවේ පළ වූ ග්වාඩාලූප් බිල්යාරේයාල්ගේ අද්දැකීම බොහෝදෙනාගේ සිත්ගෙන තිබෙනවා. ඔහු සමලිංගික ජීවිතයක් ගත කළත් පසුව ඔහුගේ ජීවිත රටාව වෙනස් කරගෙන යෙහෝවා දෙවිට නමස්කාර කරන්න පටන්ගත්තා. ඒ අද්දැකීම ගැන ලැබුණු ලිපි බොහොමයක් අතරින් ලිපි දෙකක සඳහන් වූ අදහස් බලමු.

▪ “ග්වාඩාලූප්ගේ අද්දැකීම මගේ ජීවිතයට ලොකු බලපෑමක් වුණා. යෙහෝවා දෙවිව දැන හඳුනා ගෙන ඔහු දීලා තියෙන ප්‍රමිතිවලට අනුව ජීවත් වෙද්දී මිනිස්සු යහ මඟට එන විදිහ මට නම් හිතාගන්නවත් බැහැ.”

▪ “ඉස්සර මම හැම කෙනෙක්ටම ශුභාරංචිය කිව්වා. හැබැයි පස්සේ සමලිංගික අය එක්ක ශුභාරංචිය ගැන කතා කරන එක මම නතර කළා. ඒත් මේ අද්දැකීම කියෙව්වට පස්සේ මම තේරුම්ගත්තා ඒ අයටත් යෙහෝවා දෙවිගේ සේවකයන් වෙන්න පුළුවන් කියලා.”

වර්ෂ 2011 අගෝස්තු 1 මුරටැඹ සඟරාවේ සඳහන් වූ වික්ටෝරියා ටොංගේ අද්දැකීමත් බොහෝදෙනෙකුගේ සිත්ගෙන තිබෙනවා. වික්ටෝරියා කටුක ළමා වියක් ගෙවූ කෙනෙක්. වසර ගණනාවක් පුරා යෙහෝවා දෙවිට නමස්කාර කළත් යෙහෝවා දෙවිගේ ආදරය ලබන්න තමන් වටින්නේ නැහැ කියා ඇය සිතුවා. නමුත් යෙහෝවා දෙවි ඇය ගැන කොතරම් සැලකිලිමත්ද කියා පසුව ඇය තේරුම්ගත්තා. ඇගේ අද්දැකීම ගැන ඇතැම් අය පැවසූ දේවල් බලන්න.

▪ “වික්ටෝරියාගේ අද්දැකීම මගේ හිතට තදින්ම කාවැදුණා. මමත් හුඟක් දුක් වින්ද කෙනෙක්. ඒ නිසා මම යෙහෝවා දෙවිට නමස්කාර කරන්න පටන්ගත්තට පස්සෙත් අධෛර්යය කරවන සිතුවිලි ඇති වුණා. ඒත් වික්ටෝරියාගේ අද්දැකීම මට ලොකු හයියක් වුණා. යෙහෝවා දෙවි මට කොච්චර ආදරෙයිද කියලත් මං වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන කල්පනා කරන එක මොන තරම් වැදගත්ද කියලත් මං තේරුම්ගත්තා.”

▪ “මං පොඩි කාලේ කාමුක දර්ශන බැලුවා. හැබැයි පස්සේ මම ඒක නතර කළා. ඒත් දවසක් ආයෙත් මම ඒවා බැලුවා. මගේ හිත මට හුඟක් වධ දුන්නා. මං ඒ ගැන අපේ සභාවේ වැඩිමහල්ලෙක්ට කිව්වා. යෙහෝවා දෙවි අපිට ආදරේ නිසා අපේ සිතුවිලි අපිටත් වඩා හොඳින් දෙවි තේරුම්ගන්නවා කියලා ඒ වැඩිමහල්ලා මට මතක් කරලා දුන්නා. ඒත් දෙවිගේ ආදරය ලබන්න මම වටින්නේ නැහැ කියලා ඊට පස්සෙත් හිතුණ අවස්ථා තිබුණා. හැබැයි වික්ටෝරියාගේ අද්දැකීම මට ලොකු උදව්වක් වුණා. යෙහෝවා දෙවිගේ ආදරය ලබන්න මම වටින්නේ නැහැ කියලා දැන් මම හිතන්නේ නැහැ. මොකද ඒක හරියට යේසුස්ගේ ජීවිත පූජාව මගේ වැරදිවලට සමාව දෙන්න තරම් ප්‍රමාණවත් නැහැ කියලා හිතනවා වගේ. මම ඒ සඟරාව වෙනම තැනක අරන් තියලා තියෙන්නේ. යෙහෝවා දෙවිට මාව වටින්නේ නැහැ කියලා මට හිතෙන කොට මම ඒ අද්දැකීම කියවනවා. මේ වගේ අද්දැකීම් පළ කරනවට බොහොම ස්තුතියි.”