Skip to content

පටුනට යන්න

පාඨකයන් අසයි

දෙවිට නමස්කාර කරන අය සමඟ පමණක් විවාහ වෙන්න කියා දෙවි පවසා තිබෙන්නේ ඇයි?

දෙවිට නමස්කාර කරන අය සමඟ පමණක් විවාහ වෙන්න කියා දෙවි පවසා තිබෙන්නේ ඇයි?

▪ වෙනත් ජාතීන් ගැන යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ ආඥා කර තිබුණා. “ඔබ ඔවුන් සමඟ විවාහ සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. ඔබේ දූවරුන්ව ඔවුන්ගේ පුතුන්ට විවාහ කර දෙන්නවත් ඔබේ පුතුන්ව ඔවුන්ගේ දූවරුන්ට විවාහ කර දෙන්නවත් එපා.” (ද්විතීය කතාව 7:3, 4) යෙහෝවා දෙවි එවැනි ආඥාවක් දී තිබුණේ ඇයි?

තම සෙනඟව බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීමට පොලඹවන්න යක්ෂයා උත්සාහ කරන බව යෙහෝවා දෙවි දැන සිටියා. ඔවුන් වෙනත් ජාතීන් සමඟ විවාහ වුණොත් “වෙනත් දෙවිවරුන්ට වන්දනාමාන කරන්න පටන්ගනියි” කියා දෙවි අනතුරු ඇඟෙව්වේ ඒ නිසයි. ඔවුන් බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීමට පෙලඹුණොත් දෙවිගේ අනුමැතිය හා රැකවරණය අහිමි වන නිසා ලෙහෙසියෙන්ම සතුරන් අතට පත් වීමට ඉඩ තිබුණා. එසේ වුණොත් පොරොන්දු වූ ගැලවුම්කරු පැමිණීමට නියමිතව තිබූ එම ජාතිය නැත්තටම නැති වෙනවා. යක්ෂයාට අවශ්‍ය වුණෙත් එයයි.

යෙහෝවා දෙවි තම එක් එක් සේවකයා ගැන සැලකිලිමත්. ඔවුන්ට සතුටින් සිටීමට හැකි වන්නේ දෙවිට කීකරු වුණොත් පමණයි. සලමොන් රජුගේ අද්දැකීම බලන්න. බොරු දෙවිවරුන්ට නමස්කාර කරන ස්ත්‍රීන්ව විවාහ කරගැනීම ගැන දෙවි දී තිබූ අනතුරු ඇඟවීම ඔහු දැන සිටියා. නමුත් ඔහු ප්‍රඥාවන්ත කෙනෙක් නිසා එම අනතුරු ඇඟවීම තමාට අදාළ නැහැ කියා ඔහු සිතන්න ඇති. අවසානයේදී ඔහු දෙවිට නමස්කාර නොකළ ස්ත්‍රීන්ව විවාහ කරගත්තා. ප්‍රතිඵලය කුමක්ද? දෙවි පවසා තිබූ ලෙසම එම ස්ත්‍රීන් ක්‍රමක්‍රමයෙන් සලමොන්ව බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීමට පොලඹවාගත්තා. එතැන් පටන් ඔහුට දෙවිගේ අනුමැතිය ලැබුණේ නැහැ. ඔහු යටතේ සිටි සෙනඟටත් දුක් විඳීමට සිදු වුණා.—1 රාජාවලිය 11:2-4, 9-13.

සමහරුන් බොරු දෙවිවරුන්ට නමස්කාර කරන අය සමඟ විවාහ වීමට නිදහසට කරුණු ඉදිරිපත් කරනවා. බයිබලයේ සඳහන් ඇතැම් සිද්ධීන් ඔවුන් ඒ සඳහා යොදාගන්නවා. උදාහරණයකට ඊශ්‍රායෙල් ජාතිකයෙක් වූ මාලන් මෝවබ් ජාතික ස්ත්‍රියක් වූ රූත්ව විවාහ කරගත්තා. පසු කාලයකදී ඇය දෙවිගේ සේවකයෙක් වුණා. ඒ වන විට මාලන් ජීවතුන් අතර සිටියේ නැහැ. කෙසේවෙතත් මාලන් රූත්ව විවාහ කරගැනීම නිවැරදියි කියා බයිබලයේ කිසිම තැනක සඳහන් වී නැහැ. ඔහුගේ සහෝදරයා වූ කිලියොන්ද විවාහ වුණේ මෝවබ් ජාතික තරුණියක වූ ඕපා සමඟයි. නමුත් ඕපා බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීම අත්හැරියේ නැහැ. බෝවස් විවාහ වුණේද මෝවබ් ජාතික කෙනෙක් වන රූත් සමඟ වුණත් ඒ වන විට ඇය දෙවිගේ සේවිකාවක්. ඒ නිසා ඔවුන්ගේ පවුල් ජීවිතයට යෙහෝවා දෙවි ආශීර්වාද කළා.—රූත් 1:4, 5, 15-17; 4:13-17.

බොරු දෙවිවරුන්ට නමස්කාර කරන අය සමඟ විවාහ වීම සඳහා නිදහසට කරුණක් ලෙස මාලන් සහ රූත්ගේ සිද්ධිය වැනි සිද්ධීන් යොදාගැනීම සුදුසුයි කියා ඔබ සිතනවාද? සූදුවට ඇබ්බැහි වූ කෙනෙකු ගැන සිතන්න. ඔහු සූදු සෙල්ලම් කර ජයග්‍රහණයක් ලැබූ පමණින් සූදුව හරියි කියා ඔබ සිතනවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද විවාහ විය යුත්තේ “ස්වාමීන්ගේ අනුගාමිකයෙකු” එනම්, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකු සමඟ පමණක් බව දෙවි පවසා තිබෙනවා. එය අදාළ වන්නේ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයටයි. අනික් අතට ස්වාමිපුරුෂයා හෝ භාර්යාව පමණක් දෙවිට නමස්කාර කරන පවුල්වලටත් සතුටින් ජීවත් වීමට අවශ්‍ය මඟ පෙන්වීම් බයිබලයේ තිබෙනවා. (1 කොරින්ති 7:12-16, 39; 2 කොරින්ති 6:14) විවාහයේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි තම සේවකයන්ට විවාහය සම්බන්ධයෙන් මඟ පෙන්වීම් දී තිබෙන්නේ ඔවුන් සතුටින් සිටිනවා දැකීමට ඔහු කැමති නිසයි.