Skip to content

පටුනට යන්න

යාච්ඤාවලට සවන් දෙන්නේ කවුද?

යාච්ඤාවලට සවන් දෙන්නේ කවුද?

යාච්ඤාවලට සවන් දෙන්නේ කවුද?

යාච්ඤාවලට ඇහුම්කන් දෙන කෙනෙක් සිටිනවා නම් ඒ, මුළු විශ්වයත් අපවත් නිර්මාණය කළ කෙනා විය යුතුයි. ඔහු තරම් අපේ හැඟීම් තේරුම්ගන්න පුළුවන් වෙන කිසිම කෙනෙක් නැහැ. මිනිසුන්ට අවශ්‍ය අවස්ථාවලදී උපකාර කිරීමට හැකියාව තිබෙන ඔහු හා සමාන වෙනත් කෙනෙක් නැහැ නමුත් දෙවි කෙනෙක් සිටින බව පිළිගැනීමට සාක්ෂි තිබෙනවාද?

බොහෝ අය සිතන්නේ දෙවි කෙනෙක් සිටින බව පිළිගැනීමට විද්‍යාවෙන් ඔප්පු කළ හැකි සාක්ෂි නැති බවයි. නමුත් එය සත්‍යයක් නෙවෙයි. ඒ ඇයි?

▪ එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාල 21ක සිටින මහාචාර්යවරුන් 1,646ක් යොදාගෙන සමීක්ෂණයක් පැවැත්වුවා. දෙවි කෙනෙකුව විශ්වාස කරන්නේ නැහැ කියා පැවසුවේ ඒ අය අතරින් තුනෙන් එකක් පමණයි.

විද්‍යාඥයන් බොහෝදෙනෙක් දෙවි කෙනෙකුව පිළිගන්නා බව ඉන් තහවුරු වන්නේ නැද්ද?

තිබෙන සාක්ෂි

දෙවි කෙනෙක් සිටින බව විශ්වාස කිරීමට සාක්ෂි නැත්නම් එය විශ්වාස කිරීමෙන් පලක් නැහැ. දෙවිව ඇසට නොපෙනුණත් ඔහු සිටින බව විශ්වාස කිරීමට ස්ථිර සාක්ෂි තිබෙන බව බයිබලයේ පැහැදිලිව සඳහන් වී තිබෙනවා. (හෙබ්‍රෙව් 11:1) උදාහරණයකට මේ ගැන සිතන්න. දුරකථනයකින් කෙනෙකුට කතා කරන විට අපට ඒ කෙනාගේ කටහඬ පැහැදිලිව ඇසෙනවා. ඒ වුණත් ඒ හඬ ගමන් කරන තරංග පෙනෙන්නේ නැහැ. ඒ නිසා එම තරංග තිබෙන බව ඔබ පිළිගන්නේ නැද්ද? ඒ හා සමානව දෙවිව අපට පෙනෙන්නේ නැති වුණත් ඔහු සිටින බව විශ්වාස කිරීමට ඇති තරම් සාක්ෂි තිබෙනවා.

අප අවට ඇති දේවල් ගැන මොහොතකට සිතන්න. ඒ සෑම දෙයක්ම සෑදීමට කෙනෙක් සිටින්න අවශ්‍යයි. බයිබලයේ මෙසේ පවසනවා. “සෑම ගෘහයක්ම සෑදීමට යම් කෙනෙකු සිටිය යුතු බව සියලුදෙනාම පිළිගනිති. එසේනම් සියලු දේවල් සෑදූ තැනැත්තාණන් දෙවිය.” (හෙබ්‍රෙව් 3:4) මිනිස් සිරුර, පෘථිවිය ඇතුළු මුළු මහත් විශ්වය දෙස බලන විට ඒ සියල්ල නිර්මාණය කිරීමට බලවත් කෙනෙක් සිටිය යුතුයි කියා ඔබ සිතන්නේ නැද්ද? *

කොහොමවුණත් අපේ නිර්මාතෘ වන දෙවි ගැන සෑම තොරතුරක්ම අප අවට තිබෙන දේවලින් පමණක් ඉගෙනගන්න බැහැ. මේ උදාහරණය ගැන හිතන්න. දොර වහල තියෙන නිවසක කෙනෙක් ඇවිදින සද්දය අපිට ඇහුණත් ඒ කවුද කියා අපට පෙනෙන්නේ නැහැ. එය දැනගන්න නම් වසා ඇති දොර අප විවෘත කරන්න අවශ්‍යයි. විශ්වයේ නිර්මාතෘ ගැන හොඳින් දැනගන්න නම් අපත් ඒ හා සමාන දෙයක් කළ යුතුයි.

නිර්මාතෘ කෙනෙක් සිටින බව පිළිගැනීමට ඇති තරම් සාක්ෂි බයිබලයේ තිබෙනවා. එහි ඇති අනාවැකි සහ ඒවා ඉටු වූ ආකාරය ගැන ඔබ අධ්‍යයනය කරද්දී එම සාක්ෂි ඔබට සොයාගත හැකියි. * අතීතයේදී ඔහු මිනිසුන් ගැන සැලකිලිමත් වී ඇති ආකාරය අධ්‍යයනය කරද්දී ඔහුගේ ගතිගුණ ගැන වඩාත් හොඳින් අවබෝධ කරගන්න ඔබට පුළුවන්.

දෙවි මොන වගේ කෙනෙක්ද?

අපට වගේම දෙවිටත් හැඟීම් දැනීම් තිබෙනවා. ඔහුගේ නම යෙහෝවා කියා බයිබලයේ සඳහන් වෙනවා. ඔහු සිටින බවට විශ්වාසයක් ඇතුව අප ඔහුට යාච්ඤා කරද්දී ඔහු ඊට සවන් දෙනවා. “යාච්ඤා අසන තැනැත්තාණෙනි, සෑම ජාතියකටම අයත් මිනිස්සු ඔබ ඉදිරියට පැමිණෙනු ඇත” කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. (ගීතාවලිය 65:2) ඔහු ගැන එහි මෙසේද සඳහන් වෙනවා. “යෙහෝවා දෙවි දුෂ්ටයන්ගෙන් ඈත්ව සිටියි. නමුත් ඔහු ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාවලට සවන් දෙයි.”—හිතෝපදේශ 15:29.

දෙවි ප්‍රීතිමත් මෙන්ම ප්‍රේමණීය කෙනෙක්. (2 කොරින්ති 13:11; 1 තිමෝති 1:11) අතීතයේදී මිනිසුන් දුෂ්ට ලෙස හැසිරුණු විට දෙවිගේ ‘සිතට මහත් වේදනාවක් දැනුණු’ බව බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 6:5, 6) සමහරුන් සිතන්නේ දෙවි මිනිසුන්ට දුක් වේදනා විඳින්න සලස්වන බවයි. නමුත් එය සත්‍යයක් නොවෙයි. සැබෑ දෙවි කවදාවත් දුෂ්ට ලෙස ක්‍රියා කරන්නේ නැහැ—යෝබ් 34:10.

යෙහෝවා දෙවි අපට තීරණ ගැනීමේ නිදහස දී තිබෙනවා. එම නිදහස ඔබ අගය කරන්නේ නැද්ද? කනගාටුවට කරුණක් වන්නේ බොහෝ මිනිසුන් එම නිදහස අයුතු ලෙස යොදාගැනීමයි. ඒ නිසා ඔවුන්ටත් අන් අයටත් දුක් වේදනාවලට මුහුණ දීමට සිදු වී තිබෙනවා. දෙවි දුක් වේදනාවලට ඉඩ දී තිබෙන්නේ ඇයි, ඒවා නැති කරන්නේ කොහොමද කියා අපි ඊළඟ ලිපියෙන් බලමු.

[පාදසටහන්වල]

^ 8 ඡේ. නිර්මාතෘ කෙනෙක් සිටින බවට තවත් සාක්ෂි දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර ඇති ජීවයේ ආරම්භය, වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු යන සඟරාව සහ ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද යන පොත බලන්න.

^ 10 ඡේ. බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක් කියා විශ්වාස කිරීමට තිබෙන සාක්ෂි දැනගැනීමට සියලුම ජනයා සඳහා පොතක් යන ප්‍රකාශනය බලන්න. එය සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[5වන පිටුවේ කොටුව]

ඔබටත් සැකයක් තිබෙනවාද?

යාච්ඤා අසන, අප ගැන සැලකිලිමත් දෙවි කෙනෙක් සිටිනවාද කියා සැක කිරීමට බොහෝ මිනිසුන් පෙලඹී තිබෙන්නේ ආගම් නිසයි. යුද්ධ, අපරාධ සහ ළමා අපචාර වැනි දේවල්වලට ආගම් උල්පන්දම් දෙන නිසා ආගම දහමට ළැදි මිනිසුන් පවා දෙවිව විශ්වාස නොකිරීමට පෙලඹී තිබෙනවා.

බොහෝ වැරදිවලට ආගම් වග කිව යුතු වන්නේ ඇයි? ඊට හේතුව දුෂ්ට මිනිසුන් ආගමේ නාමයෙන් ඒ දේවල් කිරීමයි. ක්‍රිස්තියානීන් අතරම සිටින සමහර අය දුෂ්ට ලෙස හැසිරෙන බව බයිබලයේ කලින්ම මෙසේ සඳහන් වී තිබුණා. “ඔබට උගන්වා ඇති හැම දෙයක්ම ඔබ අතරම සිටින සමහරුන් විකෘති කර පෙන්වයි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ ගෝලයන්ව ඔවුන්ගේ පසුපස රැගෙන යෑමයි.”—ක්‍රියා 20:29, 30.

ආගම් හරහා සිදු වන දුෂ්ට දේවල්වලට දෙවි කැමති නැහැ. ‘පොළොව මත මරනු ලැබූ සියල්ලන්ගේ ලේවලට වග කිව යුත්තේ’ අසත්‍ය උගන්වන ආගම් බව බයිබලයේ සඳහන් වෙනවා. (එළිදරව් 18:24) ප්‍රේමණීය දෙවි කෙනෙක් වන යෙහෝවා ගැන සත්‍ය තොරතුරු වසං කිරීමේ වරදට ආගම් දෙවිට ගණන් දිය යුතුයි.—1 යොහන් 4:8.

බොරු ඉගැන්වීම් නිසා දුක් විඳින මිනිසුන් ගැන යාච්ඤා අසන තැනැත්තා වන දෙවි සැලකිලිමත්. ඔහු යේසුස් මාර්ගයෙන් ඉතා ළඟදී සියලුම අසත්‍ය උගන්වන ආගම් විනාශ කරනවා. යේසුස් ඒ ගැන මෙසේ පැවසුවා. “‘ස්වාමීනි, ස්වාමීනි, අපි ඔබේ නාමයෙන් අනාවැකි කිව්වේ නැද්ද?’ . . . එවිට මම ඔවුන්ට පවසන්නේ මෙයයි. මම ඔබව කිසි කලක හඳුනාගෙන සිටියේ නැහැ! අධර්මිෂ්ඨ ක්‍රියා කරන්නෙනි, මා වෙතින් අහක්ව යන්න.”—මතෙව් 7:22, 23.