Skip to content

පටුනට යන්න

යාච්ඤාවලට සවන් දෙන දෙවි

යාච්ඤාවලට සවන් දෙන දෙවි

යාච්ඤාවලට සවන් දෙන දෙවි

බොහෝදෙනෙක් දෙවිව විශ්වාස කරනවා කියා පැවසුවත් ඒ සඳහා ඉදිරිපත් කිරීමට සාක්ෂි ඔවුන්ට නැහැ. ආගම්වල නාමයෙන් මෙතරම් දුෂ්ටකම් වෙන්නේ ඇයි කියා හෝ දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි කියා පැහැදිලි කරන්න ඔවුන්ට බැහැ. ඒ වුණත් ඔවුන් දෙවිට යාච්ඤා කරනවා.

කෙසේවෙතත් දෙවිව හොඳින් හඳුනාගැනීමට ඔබට පුළුවන්. දෙවි සිටින බවට ඇති තරම් සාක්ෂි ඔබට ලැබුණු විට ඔහුව විශ්වාස කරන්න ඔබ පෙලඹෙයි. (හෙබ්‍රෙව් 11:1) එවිට සිතේ තිබෙන සෑම දෙයක්ම ඔහුට කියන්න ඔබට පුළුවන්. දෙවි කෙනෙක් සිටින බවට ස්ථිර විශ්වාසයක් නොතිබුණත් ඔහුට යාච්ඤා කළ කිහිපදෙනෙක් පැවසූ දේ බලමු.

මුල්ම ලිපියේ සඳහන් කළ පැට්‍රීෂියා: “දවසක් මගේ යාළුවෝ කට්ටියක් ආගම ගැන කතා කර කර හිටියා. එතකොට මං ඒ අයට කිව්වා දවසක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඇවිත් දෙවි කෙනෙක්ව විශ්වාස කළේ නැති මගේ තාත්තා එක්ක කතා කරද්දී මම හිමින් මාරු වුණා කියලා. එතකොට යාළුවෙක් කිව්වා ‘සමහරවිට සාක්ෂිකරුවන් කියන දේ හරි වෙන්න ඇති’ කියලා.

“‘එහෙනම් අපි එයාලගේ රැස්වීමකට ගිහින් බලමුද’ කියලා එතන හිටිය තව කෙනෙක් කිව්වා. ඊට පස්සේ අපි කට්ටියම රැස්වීමකට ගියා. දෙවි කෙනෙක් ඉන්නවද කියන එක ගැන අපි හැමෝටම සැකයක් තිබුණත් සාක්ෂිකරුවන් හරිම මිත්‍රශීලි විදිහට අපි එක්ක කතා කරපු නිසා අපි කීපදෙනෙක් දිගටම රැස්වීම්වලට ගියා.

“මිනිස්සු දුක් වේදනා විඳින්නේ ඇයි කියලා ඒ රැස්වීමකදී පැහැදිලි කළා. ආදම් සහ ඒවව කිසිම අඩුවක් නැතුව දෙවි නිර්මාණය කළත් ඒ අය අකීකරු වුණ නිසා අපිට පාපය උරුම වුණා කියලා මම දැනගෙන හිටියා. ඒත් මං ඒ ගැන එච්චර හිතුවේ නැහැ. හැබැයි පාපයෙන් අපිව ගලවගන්න යේසුස්ගේ ජීවිත පූජාව ප්‍රයෝජනවත් වුණේ කොහොමද කියලා එදා කතාවේ විස්තර කළා. * (රෝම 5:12, 18, 19) අපි ගැන සැලකිලිමත් වෙන දෙවි කෙනෙක් ඉන්නවා කියලා එදා මම තේරුම්ගත්තා. ඒ නිසා බයිබලයේ තියෙන දේවල් ගැන තවත් ඉගෙනගන්න මම තීරණය කළා. ඊටපස්සේ තමයි දෙවි මගේ යාච්ඤාවලට සවන් දෙනවා කියන නිසැකකම ඇතුව මම යාච්ඤා කරන්න පටන්ගත්තේ.”

මුල්ම ලිපියේ සඳහන් කළ ඇලන්: “දවසක් සාක්ෂිකරුවන් අපේ ගෙදරට ඇවිත් මගේ නෝනා එක්ක කතා කළා. මේ පොළොවේ හැමදාටම ජීවත් වෙන්න පුළුවන් කියලා ඒ අය කියද්දී මගේ නෝනත් හරිම ආසාවෙන් අහගෙන හිටියා. ඒ වෙලාවේ මට නම් හුඟක් කේන්ති ගියා. ඒ නිසා මම නෝනට කතා කරලා කිව්වා ‘මෝඩ වෙන්න එපා. එයාලා කියන දේවල් කවදාවත් වෙන්නේ නැහැ’ කියලා.

“එතකොට නෝනා මට කිව්වා ‘එහෙනම් ඔයා ගිහින් එයාලා කියන දේවල් වැරදියි කියලා ඔප්පු කරන්න’ කියලා.

“හැබැයි ඒකට මට කිසිම සාක්ෂියක් තිබුණේ නැහැ. කොහොමවුණත් ඒ අය සුහදව මාත් එක්ක කතා කරලා ජීවයේ ආරම්භය ගැන සඳහන් වෙලා තිබුණ පොතක් මට දුන්නා. ඒකෙ තිබුණ තොරතුරු හරිම පැහැදිලියි. ඒ නිසා දෙවි ගැන තවත් තොරතුරු ඉගෙනගන්න ඕනෙ කියලා මම හිතුවා. මම ඉක්මනටම ඒ අය එක්ක බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තා. කලින් මම ආගම ගැන හිතලා තිබුණ හැම දෙයක්ම වැරදියි කියලා එතකොට මට තේරුණා. යෙහෝවා දෙවිව හොඳින් දැනගත්තට පස්සේ දෙවි මගේ යාච්ඤාවලට සවන් දෙනවා කියන විශ්වාසය ඇතුව යාච්ඤා කරන්න මට පුළුවන් වුණා. මගේ නරක ගතිගුණ හදාගන්න මට උදව් කරන්න කියලා මම යෙහෝවා දෙවිට කිව්වා. දෙවි මගේ යාච්ඤාවලට සවන් දුන්නා.”

එංගලන්තයේ ජීවත් වෙන ඇන්ඩෘ: “විද්‍යාවෙන් ඔප්පු කරන දේවල් හරියටම හරියි කියලා මම විශ්වාස කළා. හැබැයි පරිණාමවාදය ගැන මම විශ්වාස කළේ ඒක ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා කියලා අනික් අය කියපු නිසයි. ලෝකෙ පුරාම දුෂ්ටකම් සිද්ධ වෙන නිසා දෙවි කෙනෙක් ඉන්නවා කියන එක මම විශ්වාස කළේ නැහැ.

“දෙවි කෙනෙක් ඉන්නවා නම් මේ තරම් යුද්ධ අපරාධ සිද්ධ වෙන්නේ ඇයි කියලා මම හිතුවා. මම යාච්ඤා කරපු අවස්ථාත් තිබුණා. හැබැයි යාච්ඤා කරන්නේ කාටද කියලා මම දැනගෙන හිටියේ නැහැ.

“මේ ලෝකය බේරී පවතීද යන පත්‍රිකාව * මගේ නෝනට කෙනෙක් දීලා තිබුණා. ඒක මට හුඟක් ප්‍රයෝජනවත් වුණා. හැබැයි බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද කියලා මම කල්පනා කළා. බයිබලයේ තියෙන්නේ කාගේ අදහස්ද කියලා සඳහන් වෙච්ච පොතකුත් මට ලැබුණා. ඒක කියවන කොට මට තේරුණා බයිබලයේ තියෙන තොරතුරු විද්‍යාවටත් එකඟයි කියලා. ඒ නිසා සාක්ෂිකරුවන් එක්ක බයිබලය ඉගෙනගන්න මම තීරණය කළා. දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ ඇයි කියලා දැනගත්තට පස්සේ දෙවි අපි ගැන මොන තරම් සැලකිලිමත්ද කියලා මම තේරුම්ගත්තා. ඒ නිසා මුළු හදවතින්ම දෙවිට යාච්ඤා කරන්න මට පුළුවන් වුණා.”

ලන්ඩන්වල සිටින රෙපරමාදු භක්තිකයෙක් වන ජෑන්: “ආගම්වලින් වෙන කපටි වැඩ නිසාත් ලෝකෙ පුරාම මෙච්චර දුෂ්ටකම් සිද්ධ වෙන නිසාත් මම ආගම් ගැන කලකිරුණා. මම ඉස්කෝලේ යන එක නතර කරලා ගිටාර් ගහලා සල්ලි හම්බ කළා. ඒ කාලෙදී මට පැට් කියලා කෙනෙක්ව මුණගැහුණා. එයා කතෝලික කෙනෙක් වුණත් ආගම ගැන එයාටත් උනන්දුවක් තිබුණේ නැහැ.

“අපි නතර වෙලා හිටියේ අපි වගේම ඉස්කෝලෙ යන එක නතර කරලා හිටිය අයත් එක්ක. වෙන වෙන ආගම් ගැන ඉගෙනගන්න ඒ අයට ලොකු වුවමනාවක් තිබුණා. සමහර දවස්වලට ජීවිතේ අරමුණ ගැන කතා කරන්න ගියාම අපි හුඟක් රෑ වෙනකල් කතා කර කර ඉන්නවා. පැට් වගේම මමත් දෙවි කෙනෙක්ව විශ්වාස කළේ නැති වුණත් අපිට ජීවිතය දීපු කෙනෙක් ඉන්න ඕනේ කියලා අපි දෙන්නටම හිතුණා.

“ටික කාලයකට පස්සේ අපි රස්සාවක් හොයාගෙන උතුරු එංගලන්තයට ගියා. එහෙදී තමයි අපේ පුතා ඉපදුණේ. දවසක් පුතාට හොඳටම අසනීප වුණා. මම දෙවි කෙනෙක්ව විශ්වාස කළේ නැති වුණත් ඒ වෙලාවේ නම් මම දෙවියන්ට යාච්ඤා කළා. ටික කාලෙකට පස්සේ අපි අතරේ ප්‍රශ්න ඇති වුණා. ඒ නිසා මම පුතාවත් අරගෙන වෙන ගෙදරකට ගියා. මම ආයෙත් සැරයක් යාච්ඤා කළා. ඒ යාච්ඤාවට කවුරු හරි ඇහුම්කන් දෙයි කියලා මම හිතුවා. මගේ මහත්තයත් එදා යාච්ඤා කරලා තියෙනවා.

“එදාම තමයි සාක්ෂිකරුවන් දෙන්නෙක් පැට්ව මුණගැහෙන්න ගිහිල්ලා තියෙන්නේ. ඒ අය බයිබලයේ තියෙන මඟ පෙන්වීම් කීපයක් පැට්ට පෙන්නලා තියෙනවා. පැට් මට කෝල් කරලා ඇහුවා අපි දෙන්නම බයිබලයේ තියෙන දේවල් ඉගෙනගමුද කියලා. මම ඒකට කැමති වුණා. දෙවිව සතුටු කරන්න නම් අපි නීත්‍යනුකූලව විවාහ වෙන්න ඕනේ කියලා අපි දැනගත්තා. හැබැයි ඒක කරන්න නම් ලේසි වුණේ නැහැ.

“බයිබලයේ ඇති අනාවැකි ඉටු වුණ විදිහ, මිනිස්සු දුක් විඳින්න හේතුව, දෙවිගේ රාජ්‍යය කියන්නේ මොකද්ද කියලා දැනගන්න අපි දෙන්නටම වුවමනාවක් තිබුණා. කාලයත් එක්කම දෙවි අපි ගැන කොච්චර සැලකිලිමත්ද කියලා අපි තේරුම්ගත්තා. අපි නීත්‍යනුකූලව විවාහ වුණා. අපේ දරුවන් තුන්දෙනාව හරි මාර්ගයේ ගෙනියන්න බයිබලයේ ඇති ප්‍රතිපත්ති අපිට හුඟක් උදව් වුණා. දෙවි අපේ යාච්ඤාවලට සවන් දෙනවා කියලා දැන් නම් අපිට හොඳටම විශ්වාසයි.”

ඔබම සාක්ෂි ගැන සොයා බලන්න

ආගම්වලින් මිනිසුන්ව රවටන බවත් දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි කියාත් මිලියන ගණනක් තේරුම්ගෙන සිටිනවා. යෙහෝවා දෙවි යාච්ඤාවලට සවන් දෙන බව තේරුම්ගැනීමට බයිබලයේ ඇති දේවල් නිවැරදිව අවබෝධ කරගැනීම උපකාරවත් වන බව ඉහත අද්දැකීම්වලින් ඔබට පැහැදිලි වන්න ඇති.

දෙවි කෙනෙක් සිටින බවට සාක්ෂි සොයා බැලීමට ඔබත් කැමතිද? යාච්ඤාවලට සවන් දෙන යෙහෝවා දෙවි ගැන සත්‍ය තොරතුරු දැනගැනීමටත් ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමටත් ඔබට උපකාර කිරීමට සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.—ගීතාවලිය 65:2.

[පාදසටහන්වල]

^ 6 ඡේ. යේසුස්ගේ ජීවිත පූජාවේ වටිනාකම ගැන හොඳින් තේරුම්ගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ පස්වන පරිච්ඡේදය බලන්න.

^ 12 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[10වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ ඇයි කියලා දැනගත්තට පස්සේ දෙවි අපි ගැන මොන තරම් සැලකිලිමත්ද කියලා මම තේරුම්ගත්තා. ඒ නිසා මුළු හදවතින්ම දෙවිට යාච්ඤා කරන්න මට පුළුවන් වුණා”

[9වන පිටුවේ පින්තූරය]

දෙවි සිටින බවට විශ්වාසයක් ඇති කරගැනීමට නම් දෙවි ගැන සත්‍ය තොරතුරු මෙන්ම ඔහු සිටින බවට ඇති තරම් සාක්ෂි තිබිය යුතුයි