Skip to content

පටුනට යන්න

අතීතයෙන් බිඳක්—ධීවරයන්

අතීතයෙන් බිඳක්—ධීවරයන්

අතීතයෙන් බිඳක්—ධීවරයන්

“ඔහු ගලීල මුහුද අසල ඇවිදිමින් සිටියදී ධීවරයන් වූ පේතෘස් යන නමින්ද හැඳින්වූ සීමොන් සහ ඔහුගේ සහෝදරයා වූ අන්දෘ මාළු දැලක් දියට හෙළමින් සිටින ආකාරය දුටුවේය. එවිට ඔහු, ‘මා පසුපස එන්න. මම ඔබව මසුන් අල්ලන්නන් වෙනුවට මිනිසුන් අල්ලන්නන් කරනවා’ කියා ඔවුන්ට කීවේය.” —මතෙව් 4:18, 19.

ධීවර කර්මාන්තය ගැන බොහෝ තොරතුරු බයිබලයේ සඳහන් වෙනවා. යේසුස් ඉගැන්වීම සඳහා භාවිත කළ උපමා බොහොමයක් ධීවර කර්මාන්තය හා සම්බන්ධයි. ඔහු ගලීල මුහුද අවට ප්‍රදේශයේ බොහෝ කාලයක් ගත කරමින් ජනයාට ඉගැන්නුවා. (මතෙව් 4:13; 13:1, 2; මාක් 3:7, 8) ගලීල මුහුද කිලෝමීටර් 20.92ක දිගකින් යුක්ත වන අතර එහි පළල කිලෝමීටර් 11.24ක්. පේතෘස්, අන්දෘ, යාකොබ්, යොහන්, ෆිලිප්, තෝමස් සහ නතානියෙල් වැනි යේසුස්ගේ අනුගාමිකයන් ධීවරයන් කියා සිතන්න පුළුවන්.—යොහන් 21:2, 3.

යේසුස්ගේ කාලයේ සිටි ධීවරයෙකුගේ ජීවිතය කොයි වගේද? ඔවුන් ධීවර කර්මාන්තය කළේ කොහොමද? අපි දැන් ඒ ගැන බලමු. යේසුස්ගේ ගෝලයන්ගේ පසුබිම ගැන අවබෝධයක් ලබාගන්න එමගින් අපිට පුළුවන්. යේසුස් ක්‍රියා කළ ආකාරය ගැන හා ඔහුගේ උපමා ගැන අපේ දැනුම වැඩි කරගන්නත් ඒ තුළින් පුළුවන්.

‘බිහිසුණු කුණාටුවක් ඇති වුණා’

මුහුදු මට්ටමේ ඉඳලා අඩි 690ක් පහළිනුයි ගලීල මුහුද තියෙන්නේ. ගලීල මුහුදේ වෙරළ, ගල් සහිත එකක්. අහස ගෑවෙන නොගෑවෙන තරම් උස හර්මොන් කන්ද උතුරු පැත්තෙන් පේනවා. සීත කාලයේදී හමන හුළඟ නිසා ගලීල මුහුදේ රළ පහර සැරයි. රස්නෙ කාලයේදීත් හදිසියේම කුණාටු ඇති වෙන්න පුළුවන්. එක් අවස්ථාවකදී යේසුස් සහ ඔහුගේ ගෝලයන් ඒ වගේ කුණාටුවකට අහු වුණා.—මතෙව් 8:23-27.

ඒ කාලේ මිනිසුන් ඔරු හැදුවේ ලීවලින්. සාමාන්‍යයෙන් ඔරුවක් අඩි 27ක් විතර දිගයි. ඔරුවේ පළලම තැන අඩි 7.5ක් විතර වෙනවා. ඒ ඔරුවල කුඹ ගහකුත් විවේක ගන්න තැනකුත් තිබුණා. (මාක් 4:35-41) ඒවා යාත්‍රා කළේ හරිම හිමින්. ඒ වුණත් ඒවා කුණාටුවලට සහ මාළුන්ගෙන් පිරුණු දැලේ බරට ඔරොත්තු දුන්නා.

ඔරුව දෙපැත්තේ හබල් තිබුණා. ඔරුවේ යන ධීවර කණ්ඩායමට හයදෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් ඇතුළත් වුණා. (මාක් 1:20) ඒ ඔරුවේ (1) ලිනන්වලින් හදපු රුවලක්, (2) කඹ, (3) හබල්, (4) ගල්වලින් හදපු නැංගුරමක්, (5) ඇඳුම් කිහිපයක්, (6) කෑම (මාක් 8:14), (7) භාජන, (8) කොට්ටයක් (මාක් 4:38) සහ (9) දැලක් තිබුණා. ඒ වගේම (10) වැඩිපුර ඉපිලි නැත්නම් බෝයාවන් කිහිපයක්, (11) ලෝහ බරු කිහිපයක්, (12) ආයුධ සහ (13) පන්දන් කිහිපයක්ද තිබුණා.

‘මසුන් රාශියක් අල්ලගත්තා’

අද වගේම එදත් මාළු අල්ලගන්න හොඳම තැන වුණේ මෝය කට. ගංගා ඇළදොළවලින් එන විවිධ වර්ගයේ කෑම කන්න මාළු එතනට එනවා. යේසුස්ගේ කාලයේ හිටිය ධීවරයන් ඒ වගේ තැන්වල මාළු ඇල්ලුවේ රෑටයි. ඒ නිසා එයාලා පන්දම් පත්තු කළා. එක අවස්ථාවක යේසුස්ගේ ගෝලයන් මුළු රැයක් පුරාම වෙහෙසුණත් මාළු අල්ලගන්න බැරි වුණා. නමුත් ඊළඟ දවසේ යේසුස් කිව්ව පැත්තට දැල දැම්ම නිසා දැල ඉරෙන තරමට මාළු අල්ලගන්න ඒ අයට පුළුවන් වුණා.—ලූක් 5:6, 7.

සමහර වෙලාවට ධීවරයන් ගැඹුරු මුහුදට යනවා. ඒ වගේ වෙලාවට ඔරු දෙකක අය කණ්ඩායමක් විදිහට වැඩ කරනවා. ඔරු දෙකේම අය දැල දෙපැත්තෙන් අල්ලගෙන එකිනෙකාට විරුද්ධ දිශාවට යනවා. ඊටපස්සේ ඔවුන් දැල ඇදගෙන ගොඩබිම දෙසට එනවා. දැලේ කොන් දෙක එකතු කර ඔවුන් ටිකෙන් ටික එය වෙරළට අදිනවා. දැලේ දිග අඩි 100ක් සහ පළල අඩි 8ක් විතර වෙනවා. මාළු ගොඩක් අල්ලගන්න ඒ වගේ දැලක් ප්‍රමාණවත්. දැලේ උඩ ඉපිලි බැඳලා තියෙන නිසා එය සම්පූර්ණයෙන්ම ගිලෙන්නේ නැහැ. දැලේ පහළ එල්ලලා තියෙන්නේ ලෝහ කැබලියි (බරු).

වෙරළට ආසන්නයේ මාළු අල්ලන අය යොදාගන්නේ වෙනත් ක්‍රමයක්. ඒ අය දැලක එක් කොනක් අල්ලගෙන මුහුදේ කවාකාරව එය එළමින් ගොඩබිමට ඔරුවෙන් එනවා. වෙරළේ ඉන්න අය එය ගොඩබිමට අදිනවා. ඊටපස්සේ හොඳ මාළු වෙන් කරනවා. සමහර වෙලාවට ඔවුන් එතනදීම ඒ මාළු විකුණනවා. තවත් මාළු වේලලා මැටි භාජනවල දාලා යෙරුසලමට සහ වෙනත් රටවලට විකුණනවා. ආඳන් වගේ වරල් සහ කොරපොතු නැති මාළු අපිරිසිදු සත්තු කියලා සලකපු නිසා උන්ව විසි කරනවා. (ලෙවී කතාව 11:9-12) මාළු අල්ලන මේ ක්‍රමය යේසුස් උපමාවකටද පාවිච්චි කළා. යේසුස් එහිදී හොඳ සහ නරක මාළු හොඳ සහ නරක මිනිසුන්ට සමාන කළා.—මතෙව් 13:47-50.

ධීවරයන් තනියම මාළු අල්ලද්දී පාවිච්චි කළේ ඊට වඩා වෙනස් ක්‍රමයක්. නූලක ගැටගහලා තියෙන ලෝකඩ කොකුවලට ඇම ගහලා නූල මුහුදට විසි කරනවා. එහෙම නැත්නම් පොඩි විසි දැලක් අතට අරගෙන ටික දුරක් මුහුදට පයින් ගිහින් කවාකාරව දැල විසි කරනවා. දැලේ පහළ බරු එල්ලලා තියෙන නිසා දැල ඉක්මනින්ම වතුරේ ගිලෙනවා. දැලේ මැද තියෙන නූල අදිද්දී දැලේ පැටලිලා ඉන්න මාළු එකතු කරගන්න පුළුවන්.

මාළු දැල් හුඟක් ගණන්. නඩත්තු කරන එකත් ලේසි නැහැ. ඒ නිසා ධීවරයන් මාළු දැල් පාවිච්චි කළේ හරිම පරෙස්සමින්. ධීවරයන් වැඩි කාලයක් ගත කළේ දැල් මහන්න, හෝදන්න සහ වේලන්නයි. හැම මුහුදු ගමනකින් පස්සෙම එයාලා ඒක කළා. (ලූක් 5:2) යාකොබ් සහ යොහන්ව, යේසුස්ට මුලින්ම හමු වුණේ ඔවුන් දැල්වල ඉරිලා තියෙන තැන් සාදමින් ඉද්දියි කියලා බයිබලයේ තියෙනවා.—මාක් 1:19.

යේසුස්ගේ කාලයේ හුඟක්ම අහු වුණේ තිලාපියා මාළුයි. ගලීලයේ ජීවත් වුණ අය ප්‍රධාන වශයෙන් ආහාරයට ගත්තේ ඒ මාළු වර්ගයයි. යේසුස්ද රසයෙන් සහ ගුණයෙන් පිරි ඒ මාළු වර්ගය රස විඳින්න ඇති. ඔහු ආශ්චර්යයක් කරමින් දහස් ගණනකට ආහාරයක් හැටියට ලබා දුන්නේ මේ මාළුන් වෙන්න ඇති. (මතෙව් 14:16, 17; ලූක් 24:41-43) සාමාන්‍යයෙන් තිලාපියන් උගේ කටේ පැටව් ගෙනියනවා. පැටව් නැත්නම් ගලක් එහෙමත් නැත්නම් මුහුදු පතුලේ තියෙන කාසියක් කටේ තියාගෙන පීනනවා.—මතෙව් 17:27.

පළමු සියවසේ හිටිය ධීවරයන් මහන්සි නොබලා වැඩ කළා. එයාලගේ රැකියාව වෙනුවෙන් ගොඩක් දේවල් ඉවසන්න එයාලා පුරුදුවෙලා හිටියා. එහෙම කළොත් හොඳ මාළු ගොඩක් අල්ලගන්න පුළුවන් කියලා එයාලා දන්නවා. ‘මසුන් අල්ලනවා වෙනුවට මිනිසුන් අල්ලන්න’ කියලා යේසුස් කිව්ව දේ ඉටු කරන්න නම් ඔහුගේ ගෝලයන්ටත් ඒ වගේ ගුණාංග අත්‍යවශ්‍යයි.—මතෙව් 28:19, 20.

[19වන පිටුවේ පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)