Skip to content

පටුනට යන්න

ආශ්චර්යයන් ඇතැමුන් විශ්වාස නොකරන්නේ ඇයි?

ආශ්චර්යයන් ඇතැමුන් විශ්වාස නොකරන්නේ ඇයි?

ආශ්චර්යයන් ඇතැමුන් විශ්වාස නොකරන්නේ ඇයි?

පළමුවන හේතුව: ආශ්චර්යයන් විද්‍යාවට එකඟ නැහැ. විශ්වයේ තිබෙන භෞතික නීති ගැන අපි දන්නේ විද්‍යාඥයන් මේ තාක් සොයාගෙන තිබෙන ටික පමණයි. නමුත් ඔවුන්ට විශ්වය ගැන තිබෙන්නේ සීමිත දැනුමක් බව අප මතක තබාගත යුතුයි. (යෝබ් 38:4) ඒ නිසා යම් දේවල් ගැන ඔවුන් පැමිණ තිබෙන නිගමන වෙනස් වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම තොරතුරු දන්නේ නැතුව නිගමනයකට පැමිණීම සුදුසු නැති බව ඉන් පැහැදිලි වෙනවා.

අතීතයේ සිටි දාර්ශනිකයෙක් වූ ජෝන් ලොක් (1632-1704) පැවසූ විකට කතාවකින් එය තවත් පැහැදිලි කරගමු. ඕලන්ද තානාපතියෙක් තම රටේ තොරතුරු ගැන සියම නම් රටේ (තායිලන්තයේ) රජුට පවසමින් සිටියා. තම රටේ අලි වතුර මත ඇවිදිනවා කියා ඔහු රජුට පැවසුවා. නමුත් එය පිළිගැනීමට රජ කැමති වුණේ නැහැ. රජ සිතුවේ ඔහු තමන්ව රවටන්න උත්සාහ කරනවා කියායි. රජ එම නිගමනයට පැමිණියේ වතුර අයිස් කුට්ටියක් වූ පසු අලියෙකුගේ බර දැරීමට වුණත් එයට හැකි බව ඔහු නොදැන සිටි නිසයි.

දැනට වසර ගණනාවකට කලින් කොහෙත්ම කළ නොහැකියි කියා සිතූ බොහෝ දේවල් කිරීමට අද මිනිසුන් සමත් වී තිබෙනවා. ඒ සඳහා උදාහරණ කිහිපයක් බලමු.

● මගීන් 800කට වඩා වැඩි පිරිසක් රැගත් ගුවන්යානයකට නිව් යෝර්ක් සිට සිංගප්පූරුව දක්වා පැයට කිලෝමීටර් 900ක වේගයෙන් නොනවත්වා ගමන් කළ හැකියි.

● එක රටක සිට තවත් රටක සිටින කෙනෙකු සමඟ තිරයකින් මුහුණ බලාගෙන කතා කිරීමට හැකියාව තිබෙනවා.

● ගිනිපෙට්ටියකටත් වඩා කුඩා ඉලෙක්ට්‍රෝනික උපකරණයක ගීත දහස් ගණනක් ගබඩා කළ හැකියි.

● හෘදය ඇතුළුව වෙනත් අවයව බද්ධ කිරීමට වෛද්‍යවරුන් සමත් වී තිබෙනවා.

ඒ උදාහරණවලින් අපිට වැදගත් කරුණක් ඉගෙනගන්න පුළුවන්. දැනට වසර ගණනාවකට කලින් කළ නොහැකියි කියා සිතූ දේවල් කිරීමට මිනිසුන් සමත් වී තිබෙනවා නම් මුළු විශ්වයම නිර්මාණය කළ දෙවිට කළ නොහැකි දෙයක් තිබේද? *උත්පත්ති 18:14; මතෙව් 19:26.

දෙවන හේතුව: මිනිසුන් තුළ බයිබලය ගැන විශ්වාසයක් ඇති කිරීමට අවශ්‍ය නිසයි ආශ්චර්යයන් බොහොමයක් ගැන එහි සඳහන් කර තිබෙන්නේ. නමුත් බයිබලයේ සඳහන් වෙන්නේ සිද්ධ වන සෑම ආශ්චර්යයක්ම විශ්වාස කරන්න එපා කියායි. ඒ වෙනුවට එහි මෙසේ අනතුරු අඟවනවා. “පව්කාර තැනැත්තා දිගටම පවතින්නේ සාතන්ගේ අණසක යටතෙහිය. ඔහු බොහෝ බලවත් ක්‍රියාද මුළා කරවනසුලු ආශ්චර්යයන්ද අමුතුම ආකාරයේ ලකුණුද සිදු කරමින්, මිනිසුන්ව නොමඟ යැවීමට සෑම අධර්මිෂ්ඨ ක්‍රියාවක්ම කරයි. ඒ දේවලට හසු වන්නේ විනාශ වී යන අයයි. ඔවුන් ගැලවීමට මඟ පාදන සත්‍ය ඉගැන්වීම්වලට අවංක ඇල්මක් නොදක්වන නිසා ඊට දඬුවමක් ලෙස ඒ දේ විඳීමට ඔවුන්ට සිදු වේ.”—2 තෙසලෝනික 2:9, 10.

යේසුස්ගේ නාමයෙන් බලවත් ක්‍රියා කරන සියලුදෙනා ඔහුගේ අනුගාමිකයන් නොවෙයි කියා යේසුස්ද පැවසුවා. “ස්වාමීනි, ස්වාමීනි, අපි ඔබේ නාමයෙන් අනාවැකි කිව්වේ නැද්ද? ඔබේ නාමයෙන් භූතයන් දුරු කළේ නැද්ද? ඔබේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා කළේ නැද්ද” කියා ඇසූ අයට යේසුස් මෙසේ පැවසුවේ ඒ නිසයි. “මම ඔබව කිසි කලක හඳුනාගෙන සිටියේ නැහැ.” (මතෙව් 7:22, 23) බලවත් ක්‍රියා කරන සියලුදෙනාම එසේ කරන්නේ දෙවිගේ උපකාරයෙන් නොවන බව යේසුස් පැවසූ ඒ දෙයින් පැහැදිලියි.

දෙවිගේ සේවකයන් බලවත් ක්‍රියා දැකීමෙන් පමණක් දෙවි කෙරෙහි විශ්වාසයක් ඇති කරගත යුතුයි කියා දෙවි බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු කැමති වන්නේ ස්ථිර සාක්ෂි මත ඔවුන් විශ්වාසය ගොඩනඟාගන්නවා දැකීමටයි.—හෙබ්‍රෙව් 11:1.

එය තේරුම්ගැනීමට බයිබලයේ සඳහන් සිද්ධියක් අපි බලමු. යේසුස්ගේ නැවත නැඟිටීම සිදු වී වසර ගණනාවකට පසුව කොරින්ති නගරයේ සිටි ක්‍රිස්තියානීන් එය ඇත්තටම සිදු වුණාද කියා සැක කළා. සමහරවිට ඔවුන් තුළ එවැනි සැකයක් ඇති වන්න ඇත්තේ ඒ සඳහා තිබූ සාක්ෂි ඔවුන් සොයා බැලුවේ නැති නිසා විය හැකියි. ඒ අවස්ථාවේදී පාවුල් ඔවුන්ට උපකාර කළේ කෙසේද? එය අනිවාර්යයෙන්ම විශ්වාස කළ යුතුයි කියා ඔහු පැවසුවේ නැහැ. ඒ වෙනුවට එය විශ්වාස කිරීමට පැහැදිලි සාක්ෂි තිබෙන බව ඔවුන්ට මතක් කර දෙමින් ඔහු මෙසේ පැවසුවා.‘යේසුස්ව තැන්පත් කළ පසු ශුද්ධ ලියවිල්ලට අනුව ඔහු තුන්වෙනිදා මරණයෙන් නැඟිටුවනු ලැබූ අතර පසුව ඔහු සීෆස් ඉදිරියේද ඉන්පසු දොළොස්දෙනා ඉදිරියේද පෙනී සිටියේය. තවත් අවස්ථාවක ඔහු සහෝදරයන් පන්සියදෙනෙකුට වඩා වැඩි පිරිසක් ඉදිරියේ පෙනී සිටියේය. ඔවුන්ගෙන් කිහිපදෙනෙකු දැනටමත් මිය ගොස් ඇතත් වැඩිදෙනෙක් තවමත් ජීවතුන් අතර සිටිති.’—1 කොරින්ති 15:4-8.

ඒ කාරණය පාවුල් සැහැල්ලුවට ගත්තේ නැහැ. ඔහු පැවසූ මේ දෙයින් එය පැහැදිලි වෙනවා. “ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිටුවනු ලැබුවේ නැත්නම් අප කරන දේශනා සේවයෙන් කිසිදු පලක් නැත. අපගේ විශ්වාසයෙන්ද කිසි පලක් නැත.” (1 කොරින්ති 15:14) පාවුල් එවැනි විශ්වාසයකින් කතා කළේ යේසුස්ගේ නැවත නැඟිටීම දුටු සාක්ෂිකරුවන් සිය ගණනක් ඒ වන විටත් ජීවතුන් අතර සිටි නිසයි. එපමණක්ද නොව එම සාක්ෂිකරුවන් මරණ තර්ජන හමුවේ පවා යේසුස්ගේ නැවත නැඟිටීම ගැන කතා කිරීමට පසුබට වුණේ නැහැ.—1 කොරින්ති 15:17-19.

තුන්වන හේතුව: බයිබලයේ ආශ්චර්යයන් විදිහට සඳහන් කර තිබෙන්නේ ස්වභාවික සිද්ධීන්. ඒවා විශ්වාස කරන්නේ නූගත් මිනිසුන්. බයිබලයේ ආශ්චර්යයන් ලෙස සඳහන් කර තිබෙන දේවල් දෙවි කෙනෙකුගේ මැදිහත් වීමක් නොමැතිව ස්වභාවිකව සිදු විය හැකියි කියා ඇතැම් විශාරදයන් පවසනවා. ඒවා බයිබලයේ වාර්තා කර තිබෙන්නේ මිනිසුන් තුළ බයිබලය ගැන විශ්වාසයක් ඇති කරන්න කියා ඔවුන් සිතනවා. බයිබලයේ සඳහන් සමහර ආශ්චර්යයන්වලට භූමිකම්පා, වසංගත හා නායයෑම් වැනි ස්වභාවික දේවලුත් ඇතුළත් වූ බව ඇත්තයි. කොහොමනමුත් එම විශාරදයන් වැදගත් දෙයක් අමතක කර තිබෙනවා.

උදාහරණයකට යෙහෝවා දෙවි නයිල් ගඟේ වතුර ලේ බවට හැරෙවූ සිද්ධිය ගැන විශාරදයන් පවසන්නේ නයිල් ගඟ ආශ්‍රිතව තිබූ රතට හුරු පස් ගඟට මිශ්‍ර වීමෙන් එහි වතුර රතු පැහැයක් ගත් බවයි. නමුත් බයිබලයේ සඳහන් වන්නේ ගඟේ වතුර රතු පාටට හැරුණා කියා නොව එය ලේ බවට හැරුණා කියායි. එය සිදු වුණේ ආරොන් ඔහුගේ සැරයටියෙන් වතුරට ගැසූ අවස්ථාවේදී බව නික්මයාම 7:14-21හි සඳහන් වෙනවා. විශාරදයන් පවසන ආකාරයට වතුර රතු වුණේ පස් නිසා නම් ආරොන් සැරයටියෙන් ගැසූ අවස්ථාවේදීම එය සිදු වීම ආශ්චර්යයක් නොවේද!

බයිබලයේ සඳහන් තවත් සිද්ධියක් බලන්න. ඊශ්‍රායෙල් සෙනඟ පොරොන්දු දේශය අද්දරට පැමිණි විට යොර්දාන් ගඟේ වතුර පිටාර ගලමින් තිබූ නිසා ඔවුන්ගේ ගමනට එය බාධාවක් වුණා. ඒ අවස්ථාවේ සිදු වූ දේ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ගිවිසුම් පෙට්ටිය ඔසවාගෙන ගිය පූජකයන් යොර්දාන් ගඟ අද්දරට පැමිණ වතුරට පා තැබූ සැණින් ගඟේ ඉහළ සිට ගලා ආ ජල පහර නැවතුණේය. ජල පහර නතර වූයේ සෙනඟ සිටි ස්ථානයට ඈතින් පිහිටි . . . ආදම් නම් නුවර ළඟය. ජල කඳ වේල්ලකින් සිර කර තබන්නාක් මෙන් එක තැන නතර විය.” (යොෂුවා 3:15, 16) එවැනි දෙයක් සිදු වුණේ භූමිකම්පාවක් හෝ නායයෑමක් නිසාද කියා බයිබලයේ සඳහන් වී නැහැ. නමුත් යෙහෝවා දෙවි පැවසූ ලෙසම ජල පහර නතර වුණේ පූජකයන් ගඟ අද්දරට පැමිණ වතුරට පා තැබූ විටයි. එයම ආශ්චර්යයක් නොවේද?—යොෂුවා 3:7, 8, 13.

මෙතෙක් සලකා බැලූ තොරතුරුවලට අනුව බයිබලයේ සඳහන් ආශ්චර්යයන් ගැන දැන් ඔබට හැඟෙන්නේ කොහොමද? ඒවා විශ්වාස කිරීමට සාක්ෂි තිබෙනවා කියා ඔබ සිතනවාද?

[පාදසටහන]

^ 9 ඡේ. දෙවි කෙනෙක් සිටින බවට සාක්ෂි දැනගැනීමට, අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද? හා සියල්ල ඇති වුණේ අහම්බෙන්ද? යන සඟරා කියවා බලන්න. නැත්නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකුගෙන් ඒ ගැන අසන්න.

[5වන පිටුවේ පින්තූරය]

පැයට කිලෝමීටර් 900ක වේගයෙන් ගුවනින් යෑමට හැකි වෙයි කියා මීට දශක ගණනාවකට කලින් සිටි අය සිතන්නවත් නැතුව ඇති