Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඊශ්‍රායෙල්වරුන්ගේ උත්තම පූජකයාගේ ළය වැස්මට වටිනා මැණික් ගල් ලැබුණේ කොහෙන්ද?

ඊජිප්තුවේ වහල්භාවයෙන් මිදී ආ ඊශ්‍රායෙල්වරුන්ට එවැනි ළය වැස්මක් සාදන්න කියා දෙවි අණ කළා. (නික්මයාම 28:15-21) එම ළය වැස්මේ රතු කැට, පඩියන්, මරකත, පච්ච, නීල මාණික්‍යය, ජැස්පර්, ලෙෂම්, අගස්ති, අමතේස්ත, ක්‍රිසොලයිට්, ඔනික්ස්, ජේඩ් වැනි මැණික් වර්ග තිබුණා. * එවැනි වටිනා මැණික් ගල් ඊශ්‍රායෙල්වරුන්ට ලැබුණේ කොහෙන්ද?

පුරාණයේද මැණික් ඉතා වටිනා දෙයක් ලෙස සැලකූ අතර බොහෝ අය ඒවා අලෙවි කළා. උදාහරණයකට ඊජිප්තුවරුන් ඉරානය, ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව වැනි ඉතා දුර රටවලින් පවා මැණික් ගෙන්වාගත්තා. ඊජිප්තුවේද විවිධ වර්ගයේ වටිනා මැණික් ආකර තිබුණා. ඊජිප්තු පාලකයන් එවැනි ආකර තමන් යටතේ තබාගැනීමට වගබලා ගත්තා. පතල් හා ආකරවලින් වටිනා දේවල් සොයාගත් ආකාරය යෝබ් විස්තර කරනවා. ඔහු විශේෂයෙන්ම නිල් මැණික් සහ පඩියන් ගල් ගැන සඳහන් කළා.—යෝබ් 28:1-11, 19.

ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ වහල්භාවයෙන් මිදී පැමිණෙන විට “ඊජිප්තුවරුන්ට කිසි දෙයක් ඉතුරු නොකර” ඔවුන් සතු සියලුම වටිනා දේ රැගෙන ආවා. (නික්මයාම 12:35, 36) උත්තම පූජකයාගේ ළය වැස්ම සඳහා ඊශ්‍රායෙල්වරුන්ට මැණික් ලැබුණෙත් ඊජිප්තුවෙන් විය හැකියි.

අතීතයේදී වයින් ඖෂධයක් ලෙස භාවිත කළේ ඇයි?

සොරුන්ගෙන් ගුටි කෑ මිනිසෙකුගේ තුවාලවලට “වයින් සහ තෙල්” දමා බැන්ද මිනිසෙක් ගැන උපමාවක් යේසුස් සඳහන් කළා. (ලූක් 10:30-34) පාවුල් ඔහුගේ මිත්‍රයෙක් වූ තිමෝතිට මෙසේ උපදෙස් දුන්නා. “ඔබ තවදුරටත් වතුර බීමෙන් වළකින්න. ඔබේ උදරාබාධය හේතුවෙන් ඔබ නිතරම අසනීප වන නිසා වයින් ටිකක් බොන්න.” (1 තිමෝති 5:23) වයින් ඖෂධයක් ලෙස භාවිත කළ බව ඉන් අදහස් කරනවාද?

වයින් “වේදනා නාශකයක්, විෂබීජ නාශකයක් සහ හැම අතින්ම හොඳ බෙහෙතක්” බව එක් පොතක සඳහන් වෙනවා. (Ancient Wine) ඊජිප්තුවරුන්, මෙසපොතේමියානුවන් සහ සිරියානුවන් අතීතයේදී ඖෂධයක් ලෙස වයින් භාවිත කළා. “මෙතෙක් සොයාගෙන තිබෙන පැරණිතම ලියකියවිලිවල වයින්වලින් සෑදූ බෙහෙත් ගැන සඳහන් වෙනවා” කියා තවත් පොතක සඳහන් වෙනවා. (The Oxford Companion to Wine) “උණසන්නිපාතය හා තවත් රෝග බොහොමයක් බෝ කරන ක්ෂුද්‍ර ජීවින් විනාශ කරන්න වයින්වලට හැකි බව පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා.” (The Origins and Ancient History of Wine) වයින්වල සංයෝග 500ක් පමණ තිබෙන බවත් බොහෝ ඖෂධීය ගුණයන් තිබෙන බවත් මෑත කාලයේ කරන ලද පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා.

[පාදසටහන]

^ 3 ඡේ. වර්තමානයේ එම මැණික් වර්ග හඳුන්වන නම් මොනවාද කිය නිශ්චිතවම පවසන්න බැහැ.

[26වන පිටුවේ පින්තූරය]

ඊජිප්තුවේ පුරාණ සොහොනක ඇති මිදි කඩන සේවකයෙකුගේ චිත්‍රයක්

[හිමිකම් විස්තර]

Gianni Dagli Orti/The Art Archive at Art Resource, NY