Skip to content

පටුනට යන්න

ඔබ සත්‍යයට ඇලුම් කරනවාද?

ඔබ සත්‍යයට ඇලුම් කරනවාද?

132වන ගිලියද් පාසැල

ඔබ සත්‍යයට ඇලුම් කරනවාද?

එකසිය තිස්දෙවෙනි ගිලියද් පාසැලේ සිටි ශිෂ්‍යයන්ට පැවරුම් පිරිනැමුවේ 2012 මාර්තු 10වෙනිදායි. ඒ, නිව් යෝර්ක්හි පැටසන්වල පිහිටා තිබෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අධ්‍යාපන මධ්‍යස්ථානයේදියි. ඒ අවස්ථාවට විවිධ රටවලින් බොහෝ පිරිසක් පැමිණියා. තවත් අය සැටලයිට් හරහා එම අවස්ථාව නැරඹුවා. ඊට සහභාගි වූ සියලුදෙනාගේ ගණන 9,042ක්.

මෙවර පැවැත්වූ ගිලියද් පාසැලේ විශේෂත්වයක් තිබුණා. එනම් එම පාසැලේ ශිෂ්‍යයන් සියලුදෙනාම විශේෂ පූර්ණකාලීන සේවකයන් වීමයි. බෙතෙල් සේවකයන්, විශේෂ පුරෝගාමීන්, සංචාරක සේවකයන් සහ මිෂනාරිවරුන් ඊට ඇතුළත්. ඒ නිසා එදින සිදු වන දේ දැක බලාගැනීමට පැමිණ සිටි සියලුදෙනා තුළ තිබුණේ කුතුහලයක්.

මෙම වැඩසටහනේ සභාපති ලෙස කටයුතු කළ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ගෙරිට් ලෝෂ් වැඩසටහන ආරම්භ කළා. ඔහු ඉදිරිපත් කළ කතාවේ මාතෘකාව “ඔබ සත්‍යයට ඇලුම් කරනවාද” යන්නයි. ක්‍රිස්තියානීන් සත්‍ය ඉගැන්වීම්වලට ඇලුම් කළ යුතු බව ඔහු පැහැදිලි කළා. ඒවාට ඇලුම් කරන අය ඒ ගැන අනික් අයට කියා දීම පමණක් නොවෙයි එම ඉගැන්වීම් ජීවිතයට මොන තරම් වටිනවාද කියා තේරුම්ගන්න ඔවුන්ට උපකාර කළ යුතු බවත් ඔහු පැවසුවා.

සහෝදර ලෝෂ් ඊළඟට මෙවැනි ප්‍රශ්නයක් ඇසුවා. ‘සත්‍ය ඉගැන්වීම් පිළිපදින්නේ කවුද කියලා දැනගන්නේ කොහොමද?’ යම් කණ්ඩායමක සිටින සාමාජිකයන් ප්‍රමාණයෙන් ඔවුන් පිළිපදින්නේ සත්‍ය ඉගැන්වීම් කියා තීරණය කළ නොහැකි බව ඔහු පැවසුවා. අද මිලියන ගණනක් සත්‍ය ඉගැන්වීම් පිළිගෙන තිබුණත් ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දිනයේදී එය පිළිගත්තේ සුළු පිරිසක්. අප පිළිපදින්නේ සත්‍ය ඉගැන්වීම් කියා තහවුරු කරගත හැකි කරුණු පහක් ඔහු පෙන්නුම් කළා. (1) අප යේසුස්ගේ ඉගැන්වීම් පිළිපදිනවා. (2) අප එකිනෙකාට ප්‍රේම කරනවා. (3) අප දෙවි දී තිබෙන උසස් සදාචාර ප්‍රමිතිවලට කීකරු වෙනවා. (4) අප දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නැහැ. (5) අප දෙවිගේ නාමය දරනවා.

“සවන් දී කීකරු වන්න”

ඊළඟ කතාව ඉදිරිපත් කළේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ජෙෆ්රි ජැක්සන්. ඔහු වේදිකාවට පැමිණියේ සූට්කේස් එකක් රැගෙනයි. ඒ නිසා සියලුදෙනාම ඔහු කතා කරන්න යන්නේ කුමක් ගැනද කියා පුදුමයෙන් බලා සිටියා. ඔහුගේ කතාවේ තේමාව වූයේ “සවන් දී කීකරු වන්න” යන්නයි. එය පදනම් වී තිබුණේ යෙසායා 50:5 මත. එහි මෙසේ සඳහන් වුණා. “මමද ඔහු දෙන උපදෙස් සිතට ගතිමි. මම මුරණ්ඩු ලෙස ඔහුගේ උපදෙස්වලට පිටු නොපෑවෙමි.” එම පදයේ කතා කරන්නේ යේසුස් ක්‍රිස්තුස් ගැන.

යෙහෝවා දෙවි තම බලය තුළින්, බයිබලයෙන් සහ තම සංවිධානය මාර්ගයෙන් ලබා දෙන මඟ පෙන්වීම්වලට හොඳින් සවන් දී ඒවා අදාළ කරගන්න කියා සහෝදර ජැක්සන් ශිෂ්‍යයන්ව දිරිගැන්නුවා. මතෙව් 25:14-30 සඳහන් තලෙන්ත පිළිබඳ උපමාව ගැන ඔහු සඳහන් කළා. ඒ උපමාවේ සඳහන් සේවකයන්ට තලෙන්ත දුන්නේ ඔවුන්ගේ හැකියාවන්ට අනුව නිසා ඔවුන් එක් එක් කෙනාට සාධාරණ තලෙන්ත ප්‍රමාණයක් ලැබුණා කියා පැවසිය හැකියි. ඔවුන් ඔවුන්ගේ උපරිමය කරයි කියා ස්වාමියා බලාපොරොත්තු වුණා. ස්වාමියා නැවත පැමිණි පසු සේවයකයන් දෙදෙනෙක්ට “ඉතා යහපත්, විශ්වාසවන්ත” දාසයන් කියා පැවසුවා. ඔහු එසේ පැවසුවේ ඔවුන් උපයා තිබූ ප්‍රමාණය නිසා නොවෙයි. තම මඟ පෙන්වීම්වලට සවන් දී කීකරු වූ නිසයි.

තුන්වන දාසයාට ඔහු පැවසුවේ ‘ඉතා දුෂ්ට, කම්මැළි, කිසි වැඩකට නැති’ දාසයෙක් කියායි. ඒ ඇයි? ඒ සේවකයා තමාට ලැබුණු තලෙන්තය පස් යට සඟවා තැබුවා. තලෙන්තයක් කියන්නේ කාසියක් නොවෙයි. එය ඩිනාරි 6,000ක බරට සමානයි. (කිලෝග්‍රෑම් 20ක් පමණ). එය පිටරටකට යන කෙනෙකුට ගෙන යා හැකි උපරිම බරට සමානයි. එම බර දැරීමට නම් තමන් ළඟ තිබෙනවා හා සමාන සූට්කේස් එකක් අවශ්‍ය බව ඔහු පැවසුවා. එවැනි සූට්කේස් එකක් වැළලීමට වෙහෙසක් දරන්න අවශ්‍යයි. උපමාවේ සඳහන් දාසයාටත් ඔහුට ලැබුණු තලෙන්තය වැළලීමට යම් වෙහෙසක් දරන්න සිදු වුණා. නමුත් ඔහුගෙන් ස්වාමියා බලාපොරොත්තු වුණේ එය නොවෙයි. ඒ හා සමානව මිෂනාරිවරුන්ද කාර්යබහුල වෙන්න පුළුවන්. නමුත් ඔවුන් එලෙස කාර්යබහුල වන්නේ ඔවුන්ට ලැබුණු මඟ පෙන්වීම් ක්‍රියාත්මක කරන්නද? නැත්නම් මිත්‍රයන්ට ලිපි ලියන්න, අන්තර්ජාලයේ සැරිසරන්න, අන් අයව ඇසුරු කරන්න හෝ ව්‍යාපාර කටයුතු සඳහාද? එවැනි දේවල නියැලෙද්දී දවස අවසානයේ යම් වෙහෙසක් දැනෙන්න පුළුවන්. නමුත් ඔවුන් වෙහෙසට පත් වුණේ ඔවුන්ගෙන් බලාපොරොත්තු වූ දේවල් ඉටු කිරීමෙන් නොවෙයි. ඒ නිසා සහෝදර ජැක්සන් “දිගටම මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න” කියා ශිෂ්‍යයන්ව දිරිගන්වමින් කතාව අවසන් කළා.

“කවදාවත් යෙහෝවා දෙවිව සැක කරන්න එපා”

එම තේමාවෙන් කතාව ඉදිරිපත් කළේ පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන ඇන්තනි මොරිස්. “බයිබලයේ කිසිම තැනක විශ්වාසය සහ සැකය අතර කිසිම සමානකමක් පෙන්නලා නෑ. විශ්වාසය තියෙන තැන සැකයට කිසිම ඉඩක් නෑ” කියා ඔහු පැවසුවා. පරිපූර්ණ ස්ත්‍රියක් වූ ඒව තුළ සැකයක් ඇති කිරීමට සාතන්ට හැකි වුණා නම් අප තුළත් ඉතා පහසුවෙන් යම් සැකයන් ඇති කරන්න ඔහුට පුළුවන්. “දෙවි ගැන ඔබට තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න ඔබ උත්සාහ කරනවා නම් සැකයන් ඇති වෙන්න කිසිම ඉඩක් ලැබෙන එකක් නෑ” කියා සහෝදර මොරිස් පැවසුවා. ඔහු පේතෘස් ගැනත් මතක් කළා. පේතෘස් “වතුර මත ඇවිදගෙන” ගියත් “කුණාටුව දැක” භය වූ නිසා ඔහු ගිලෙන්න පටන්ගත්තා. ඒ අවස්ථාවේ ඔහුගේ අතින් අල්ලාගත් යේසුස් ඇසුවේ, “ඔබ තුළ සැකයක් ඇති වෙන්න ඉඩ දුන්නේ ඇයි” කියායි. (මතෙව් 14:29-31) සහෝදර මොරිස් මෙසේ පැවසුවා. “මිෂනාරිවරුන් විදිහට ඔබ වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා. හැබැයි කුණාටු වගේ පීඩා අද්දකින්න සිද්ද වෙද්දී ඔබ මොකද කරන්නේ? ඒ වගේ වෙලාවට කවදාවත් සැකයන් ඇති වෙන්න ඉඩ දෙන්න එපා.”

එක පිට එක පීඩා රැසකට මුහුණ දීමට සිදු වන විට ඒවා දරාගැනීම අපහසු විය හැකි බව සහෝදර මොරිස් පැවසුවා. පාවුල් සහ සීලස් සිර භාරයේ සිටින විට සිදු වූ දේ ගැන ඔහු ශිෂ්‍යයන්ට මතක් කළා. ක්‍රියා 16:25හි ඒ ගැන මෙසේ පවසනවා. “මධ්‍යම රාත්‍රියේදී පමණ පාවුල් සහ සීලස් යාච්ඤා කරමින්ද දෙවිට ප්‍රශංසා ගී ගයමින්ද සිටියෝය. ඔවුන්ගේ හඬ සිරකරුවන්ටද ඇසිණ.” ඔවුන් යාච්ඤා කරනවාට අමතරව ප්‍රශංසා ගී ගයන්නත් අමතක කළේ නැහැ. ඔවුන් ශබ්ද නඟා එම ගීතිකා ගායනා කළා. අද අප හැමෝටම ගීතිකා තාලයට ගයන්න හැකියාවක් නැති බව ඇත්තයි. නමුත් ගීතිකා ශබ්ද නඟා ගායනා කරන්න අප ලැජ්ජා විය යුතු නැහැ. විශේෂයෙන්ම පීඩාකාරී අවස්ථාවලදී ගීතිකා ගායනා කිරීමෙන් මහත් සහනයක් අද්දැකිය හැකියි. “අවසානය දක්වා විඳදරාගන්න” යන තේමාවෙන් යුත් 135වන ගීතිකාවේ වචන පවසමින් සහෝදර මොරිස් කතාව අවසන් කළා.

දිරිගන්වන තවත් කතා

“දිගුකල් ජීවත් වන්න ඔබ කැමතිද” යන කතාව ඉදිරිපත් කළේ බෙතෙල් පවුලේ සාමාජිකයෙක් වන රොබට් ලූසියොනි. එය පදනම් වී තිබුණේ ගීතාවලිය 34:12 මතයි. පීඩාකාරී අවස්ථාවලදී පවා දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය දිගටම පවත්වාගන්නේ කොහොමද කියා ඔහු පැහැදිලි කළා. ඒ සඳහා ඔහු 1 සාමුවෙල් 30වන පරිච්ඡේදයේ ඇති තොරතුරු ගෙනහැර දැක්වුවා. සාවුල් රජුගෙන් පැමිණි පීඩා නිසා දාවිත්, ඔහුගේ පවුලේ අය, ඔහුගේ සේවකයන් සහ ඔවුන්ගේ පවුල්වල අය ෂික්ලග් වෙතට පලා ගියා. එහිදී අමලෙක්වරු පැමිණ ඔවුන්ගේ භාර්යාවන්ව හා දූපුතුන්ව පැහැරගෙන ගියා. ඒ නිසා දාවිත්ගේ සේවකයන් දාවිත්ට දොස් නැඟූ අතර ඔහුට ගල්ගසා මරා දමන්න උත්සාහ කළා. ඒ අවස්ථාවේදී දාවිත් අධෛර්යයට පත් වුණත් “දෙවි වන යෙහෝවාගෙන් උපකාර” පතා ඔහුගේ මඟ පෙන්වීම්වලට අනුව ක්‍රියා කළා. (1 සාමුවෙල් 30:6) ඒ නිසා පැහැරගෙන ගිය අයව බේරාගන්න ඔහුට හැකි වුණා. දිගටම යෙහෝවා දෙවිව විශ්වාස කරමින් ඔහුගේ මඟ පෙන්වීම්වලට කීකරු වුණොත් පීඩාකාරී අවස්ථාවලදී පවා තමන්ට ලැබිලා තියෙන පැවරුම සාර්ථකව කරන්න හැකි වන බව ඔහු ශිෂ්‍යයන්ට මතක් කළා.

“අනාගතය ගැන ප්‍රීති වන්න” යන තේමාවෙන් කතාව ඉදිරිපත් කළේ ගිලියද් පාසැලේ උපදේශකයෙක් වන මයිකල් බර්නෙට්. ඊශ්‍රායෙල්වරුන් හිරු බැස යෑමේ සිට හිරු නැඟ ඒම දක්වා කාලය පැය හතරකින් යුත් කොටස් තුනකට බෙදා තිබුණා. ඒ එක් එක් කොටස් ඔවුන් හැඳින්නුවේ රැකවල් යාම ලෙසයි. තුන්වෙනි යාමයට අයත් වුණේ පාන්දර දෙකේ සිට හය දක්වා කාලයයි. ඒ යාමයේදී තිබුණු අධික සීතල හා අන්ධකාරය නිසා අවදිව සිටීම අමාරු වුණා. නමුත් ගීතිකාකරුට ඒ යාමයේදී අවදිව ඉන්න පුළුවන් වුණේ ඔහු දෙවි පවසා තිබූ දේවල් ගැන ගැඹුරින් කල්පනා කළ නිසයි. (ගීතාවලිය 119:148) ඒ තොරතුරු ශිෂ්‍යන්ට අදාළ කරමින් සහෝදර බර්නෙට් මෙසේ පැවසුවා. “ගීතිකාකරුට අධික සීතල දරාගන්න සිදු වුණා වගේ අනාගතයේදී ඔබටත් හුඟක් පීඩා දරාගන්න වෙයි. ඒවාට හොඳින් මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ දිගටම බයිබලයේ තියෙන දේවල් ගැන ගැඹුරින් අධ්‍යයනය කළොත් විතරයි. යෙහෝවා දෙවිව දිගටම මිතුරෙක් කරගන්න ඕනේ නම් යාච්ඤා කරන්නත් බයිබලය කියවන්නත් අමතක කරන්න එපා. හැම පීඩාවක්ම විඳින්න වෙන්නේ තව ටික කාලයයි. ඊටපස්සේ අපිට ලස්සන කාලයක් උදා වෙනවා. ඒ නිසා මේ කෙටි කාලයේදී ඥානවන්තව කටයුතු කරන්නේ කොහොමද කියලා දැන්තියාම සැලසුම් කරන්න.”

ඊළඟ කතාව දුන්නේ ගිලියද් පාසැලේ තවත් උපදේශකයෙක් වන මාක් නූමැර් විසිනුයි. ඔහුගේ කතාවේ තේමාව “ඉදිරි වැඩකටයුතු සඳහා පුහුණුවක්” යන්නයි. එය පදනම් වී තිබුණේ 1 පේතෘස් 5:10 මත. “දේවසේවකයන් හැටියට ඔබට දැනට අද්දැකීම් තිබුණත් ගිලියද් පාසැලෙන් තවත් පුහුණුවක් ඔබට දුන්නේ ඇයි” කියා ඔහු ශිෂ්‍යන්ගෙන් ඇසුවා. ඊට පිළිතුර ඔහු මෙසේ පැහැදිලි කළා. “ඕනෑම ක්ෂේත්‍රයක පලපුරුද්දක් ලබලා තියෙන අය ඔවුන්ගේ හැකියාවන් තවත් දියුණු කරගන්න විවිධ පාඨමාලා හදාරනවා. පහුගිය මාස පහ පුරාම යෙහෝවා දෙවි ඔබව ශක්තිමත් කරන්න ඇති තරම් මඟ පෙන්වීම් බයිබලයෙන් ලබා දුන්නා. දෙවි ඒ පුහුණුව දුන්නේ සංවිධානයේ තවත් වගකීම් උසුලන්න ඔබව සූදානම් කරන්නයි. සාමාන්‍යයෙන් හොඳින් මෝරපු ලීයක් ලේසියෙන් ඇද වෙන්නේ නැහැ. ඒ වගේ ඔබ ලබාගෙන තිබෙන පුහුණුව නිසා ඔබ ශක්තිමත්. කොහොමවුණත් අනාගතයේදී යම් පීඩාකාරී තත්වයන්වලට මුහුණ දෙන්න වුණොත් ඔබ හැසිරෙන්නේ කොහොමද? ඒ වගේ අවස්ථාවලදී බයිබල් ප්‍රතිපත්ති අමතක කරලා වැඩ කරනවාද? නැත්නම් දිගටම ඒ පීඩා දරාගෙන ශක්තිමත්ව ඉන්නවාද? මේ ලබා දීපු පුහුණුව නිසා දිගටම ඔබ දෙවිට විශ්වාසවන්තව සේවය කරයි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා. ඒ දේ කරන්න ඔබට පුළුවන් වෙන්න කියලා අපි දිගටම යාච්ඤා කරනවා.”

අද්දැකීම් හා සම්මුඛ සාකච්ඡා

ගිලියද් පාසැලේ ශිෂ්‍යයන් ලැබූ අද්දැකීම් ගැන අසන්න බොහෝදෙනෙක් ආශාවෙන් සිටියා. ඔවුන්ගේ අද්දැකීම් කිහිපයක් දැන් බලමු. ප්‍රංශයේ සිට පැමිණි යුවළකට ගිලියද් පාසැලට සහභාගි වීම සඳහා පැය හයක් ගුවන් තොටුපොළේ රැඳී සිටීමට සිදු වුණා. ඔවුන් ඒ කාලය ගුවන් යානය එන තෙක් බලා සිටි තවත් මිනිසුන් දෙදෙනෙකුට දේශනා කරන්න යොදාගත්තා. තමා පැමිණියේ මලාවිවලින් කියා ඉන් එක් පුද්ගලයෙක් පැවසූ නිසා එම යුවළ ඔහු සමඟ චිචේවා භාෂාවෙන් කතා කළා. ඔවුන් එම භාෂාව ඉගෙනගත්තේ කොහොමද කියා ඔහු ඇසූ විට ඔවුන් මිෂනාරීන් ලෙස මලාවි රටේ සේවය කළ නිසා එම භාෂාව ඉගෙනගත් බව පැවසුවා. අනික් පුද්ගලයා තමා පැමිණියේ කැමරූන්වල සිට කියා පැවසූ විට එම යුවළ ප්‍රංශ භාෂාවෙන් ඔහු සමඟ කතා කළා. ඔවුන් භාෂා දෙකෙන්ම කතා කළ නිසා ඒ මිනිසුන් දෙදෙනා පුදුම වූ අතර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කරන සේවය ඔවුන් අගය කළා.

ඊළඟ කතාව ඉදිරිපත් කළේ පරිවර්තනයට සහාය දක්වන අංශයේ සේවය කරන නිකලස් අලඩිස් විසිනුයි. යුධ වාතාවරණයක් තිබූ නැඟෙනහිර ටිමෝර්හි සේවය කළ ඕස්ට්‍රේලියානු යුවළක්ව සහ හොං කොංවල සේවය කරමින් සිටි කොරියානු යුවළක්ව ඔහු සම්මුඛ සාකච්ඡාවකට කැඳෙව්වා. ගිලියද් පාසැලෙන් ලැබූ පුහුණුවත් සමඟ නැවතත් එම පළාත්වලටම ගොස් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ඔවුන් ඉතා ආශාවෙන් සිටියා.

ගිලියද් පාසැලේ ශිෂ්‍යයන්ට පැවරුම් පිරිනැමීමෙන් අනතුරුව සියලුම උපදේශකයන්ට ස්තුතිය පළ කරමින් ලියූ ලිපියක් ශිෂ්‍යයෙක් කියෙව්වා. අවසන් කතාව ඉදිරිපත් කළ සහෝදර ලෝෂ් ශුභාරංචිය අලංකාර දේදුන්නකටත් කාන්තාරයක තිබෙන ක්ෂේම භූමියකටත් කුණාටු සයුරක නැවක් නොසෙල්වී තබන නැංගුරමකටත් සමාන කළා. “මේ වගේ වටිනා ශුභාරංචියක් දැනගන්න ලැබුණ එක මොන තරම් ආශීර්වාදයක්ද! දිගටම සත්‍යට ඇලුම් කරමින් අනික් අයටත් එහෙම කරන්න උදව් කරන්න” කියා පවසමින් සහෝදර ලෝෂ් තම කතාව අවසන් කළා.

[31වන පිටුවේ වගුව⁄සිතියම]

සහභාගි වූවන්ගේ විස්තර

නියෝජනය කළ රටවල් සංඛ්‍යාව 12

වයසේ සාමාන්‍යය 36

බව්තීස්ම වූ දා සිට ගෙවී ඇති වසර ගණනේ සාමාන්‍යය 20

පූර්ණකාලීන සේවයේ යෙදී ඇති වසර ගණනේ සාමාන්‍යය 15

[සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

පැවරුම් ලැබූ රටවල්

බෙලිස්

බෙනින්

කාම්බෝජය

කැමරූන්

කේප් වර්ඩ් දූපත්

අයිවරි කොස්ට්

ඩොමිනිකන් ජනරජය

නැඟෙනහිර ටිමෝර්

ඉක්වදෝරය

ගැබොන්

ජෝර්ජියා

ගිනියාව

හොං කොං

ලයිබීරියාව

මැඩගස්කරය

මලාවි

පේරූ

සමොවා

සාවෝ ටොම් හා ප්‍රින්සිප්

ඇමරිකා එක්සත් ජනපදය

සිම්බාබ්වේ

[31වන පිටුවේ පින්තූරය]

ගිලියද් මුරටැඹ බයිබල් පාසැලෙන් පුහුණුව ලත් 132වන පන්තිය

පහත ලැයිස්තුව අංකනය කර ඇත්තේ රූපයේ ඉදිරි පේළියේ සිට පිටුපස පේළිය දක්වායි. එක් එක් පේළියේ නම් ලැයිස්තුගත කර ඇත්තේ වමේ සිට දකුණටයි.

(1) යෙප්, ආර්.; යෙප්, ජේ.; අං, ටී.; අං, පී.; ලෙරීනෝ, එෆ්.; ලෙරීනෝ, බී.; වොන්, එස්.; වොන්, එස්.

(2) මොරාලෙස්, එන්.; මොරාලෙස්, එම්.; සනුට්ටෝ, ජේ.; සනුට්ටෝ, එම්.; රම්ෆ්, අයි.; රම්ෆ්, ජේ.; ෂර්මන්, ඩී.; ෂර්මන්, එන්.

(3) අට්චාඩේ, වයි.; අට්චාඩේ, වයි.; තෝමස්, සී.; තෝමස්, ඊ.; එස්ටිෂාන්, සී.; එස්ටිෂාන්, පී.

(4) එර්මන්, ඩී.; එර්මන්, ඒ.; බ්‍රේ, ජේ.; බ්‍රේ, ඒ.; ආමෝරින්, එම්.; ආමෝරින්, ඩී.; සෝ, වයි.; සෝ, වයි.

(5) සීමෝන්, ජේ.; සීමෝන්, සී.; සීල්, සී.; සීල්, ඩී.; එරික්සන්, ජේ.; එරික්සන්, ආර්.

(6) මැක්ලස්කි, ඩී.; මැක්ලස්කි, ටී.; බවුන්, ඒ .; බවුන්, වී.; මරියානු, ඩී.; මරියානු, සී.; ලොයෝලා, වයි.; ලොයෝලා, සී.

(7) රට්ගර්ස්, පී.; රට්ගර්ස්, එන්.; ෆූකෝ, පී.; ෆූකෝ, සී.; වුන්ජා, ජේ.; වුන්ජා, ඊ.