Skip to content

පටුනට යන්න

ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක් - හොඳ කරන හැමෝම ස්වර්ගයට යනවද?

ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක් - හොඳ කරන හැමෝම ස්වර්ගයට යනවද?

ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක් - හොඳ කරන හැමෝම ස්වර්ගයට යනවද?

බයිබලයේ ඇති තොරතුරු අන් අයට කියා දීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මහත් ආශාවකින් සිටිනවා. බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන ඔබට යම් ප්‍රශ්නයක් තිබෙනවාද? නැත්නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ආගමික විශ්වාසයන් ගැන ඔබට ප්‍රශ්න තිබෙනවාද? එසේනම් ඔවුන්ගෙන් ඒ ගැන විමසන්න.

පහත සඳහන් වන්නේ රොබට් නමැත්තා සහ සාක්ෂිකරුවෙක් වන මාකස් අතර ඇති වූ සංවාදයක්.

ස්වර්ගයට ගිහින් කරන්නේ මොනවද?

මාකස්: යහපත් මිනිසුන්ට හොඳ කාලයක් ලැබෙයි කියලා ඔයා හිතනවද?

රොබට්: මේ යන විදිහට නම් මොනවා වෙයිද කියලා කියන්න බෑ. හොඳ කරන අය නම් ස්වර්ගෙට යයි.

මාකස්: ඒක නම් හොඳ බලාපොරොත්තුවක් තමයි. ස්වර්ගේ සිද්ධ වෙන දේවල් ගැනත් එහෙට යන අයට ලැබෙන ආශීර්වාද ගැනත් බයිබලයේ තියෙනවා. ස්වර්ගෙට යන අය එහේ මොනවද කරන්නේ කියලා ඔයා කල්පනා කරලා තියෙනවද?

රොබට්: එහෙට ගියාට පස්සේ දෙවියන් එක්ක සතුටින් ඉන්න පුළුවන්.

මාකස්: එහෙම දෙයක් ගැන හිතද්දිත් සතුටුයි නේද? ස්වර්ගෙට යන අයට ලැබෙන ආශීර්වාද ගැන විතරක් නෙමෙයි ඒ අයට ලැබෙන බැරෑරුම් වගකීමක් ගැනත් බයිබලයේ තියෙනවා.

රොබට්: ඒ මොකද්ද?

මාකස්: බලන්න එළිදරව් 5:10 කියන මේ දේ. “ඔවුන් අපගේ දෙවියන්වහන්සේට රාජ්‍යයක්ද පූජකයන්ද කළසේක; ඔව්හු පොළොවෙහි රජකම්කරතියි කීවෝය.” * මෙතන කියන විදිහට ඒ අයට තියෙන වගකීම මොකද්ද?

රොබට්: රජකම් කරන එක.

මාකස්: හරි.

පාලනය කරන්නේ කාවද?

මාකස්: ඒ අය ස්වර්ගෙට ගිහින් පාලනය කරන්නේ කාවද?

රොබට්: මං හිතන්නේ අපි ස්වර්ගෙට ගියාට පස්සේ එහෙට යන්න බලාපොරොත්තුවෙන් පොළොවේ ඉන්න අයව තමයි පාලනය කරන්නේ.

මාකස්: එහෙම හිතෙන එක සාධාරණයි. හැබැයි අනාගතයේදී මිනිසුන්ට මේ පොළොවේ හැමදාටම ජීවත් වෙන්න ලැබෙනවා කියලා ඔයා දැනගෙන හිටියද?

රොබට්: මේ පොළොවේ හැමදාම ජීවත් වෙන්න! මං නං කවදාවත් එහෙම දෙයක් ගැන අහලා නැහැ.

මාකස්: බලන්න ගීතාවලිය 37:29 කියන දේ. ඔයාට පුළුවන්ද ඒක කියවන්න?

රොබට්: “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.”

මාකස්: එතන කියන විදිහට හොඳ මිනිස්සු ඉන්න යන්නේ කොහේද?

රොබට්: එතන කියන විදිහට නම් ඒ අය මේ පොළොවේ තමයි ජීවත් වෙන්න යන්නේ.

මාකස්: ටික කාලෙකට නෙමෙයි නේද? ඔයා දැක්කද එතන තියෙනවා ඒ අය “සදාකල්” ජීවත් වෙනවා කියලා.

රොබට්: ඔව්. මිනිස්සු හැමදාම පොළොවේ ජීවත් වෙයි. මොකද මැරෙන අය ස්වර්ගෙට ගියත් පොළොවේ මිනිස්සු ඉපදෙන එක නතර වෙන්නේ නැහැනේ.

මාකස්: හුඟක් අය ඒ විදිහට හිතනවා. හැබැයි ඇත්තටම අපි කියවපු බයිබල් පදෙන් අදහස් කරන්නේ ඒකද? නැත්තං හොඳ මිනිස්සු මැරෙන්නෙ නැතුව දිගටම ජීවත් වෙනවා කියන එකද?

රොබට්: ඒක නං මං දන්නේ නැහැ.

අනාගතයේදී පොළොව පාරාදීසයක් වෙයි

මාකස්: අපි දැන් එළිදරව් 21:4 බලමු. එතන තියෙනවා අනාගතයේදී මිනිසුන්ට ලැබෙන ආශීර්වාද ගැන. “උන්වහන්සේ [දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය.”

රොබට්: මං හිතන්නේ එතන කතා කරන්නේ ස්වර්ගෙට යන අයට ලැබෙන ආශීර්වාද ගැන කියලා.

මාකස්: ඒ අයටත් ආශීර්වාද ලැබෙනවා තමයි. හැබැයි බලන්න ආයෙත් ඒ බයිබල් පදේ. මරණය ගැන එතන තියෙන්නේ මොකද්ද?

රොබට්: “මරණය තවත් නොවන්නේය” කියලා.

මාකස්: හරි. දැන් හිතන්න, දෙයක් තවදුරටත් වෙන්නේ නැහැ කියලා කියන්න නං ඒ දේ කලින් සිද්ධ වෙලා තියෙන්න ඕනේ නේද?

රොබට්: ඔව්.

මාකස්: හැබැයි ස්වර්ගේ නං කවදාවත් මරණයක් වෙලා නැහැ. පොළොවේ ඉන්න මිනිස්සු තමයි මැරෙන්නේ. එහෙම නේද?

රොබට්: ම්හ් . . . ඒක නං ඇත්ත තමයි.

මාකස්: ඇත්තටම රොබට්, සමහර අයව ස්වර්ගේ ජීවත් වෙන්න දෙවි තෝරගන්නවා කියලත් අනික් හැමෝටම මේ පොළොවේ හැමදාමත් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා කියලත් බයිබලයේ තියෙනවා. “මොළොක් ගුණ ඇත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු පොළොව උරුමකරගන්නෝය” කියලා බයිබලයේ තියෙනවා ඔයා දැකලා ඇතිනේ?—මතෙව් 5:5.

රොබට්: ඔව්. ඒ බයිබල් පදේ පල්ලියේ කියවනවා.

මාකස්: මොළොක් ගුණ ඇති අය පොළොව උරුම කරගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මිනිස්සුන්ට මේ පොළොවේ හැමදාම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා කියන එකයි. අපි කලින් එළිදරව් පොතෙන් කියවපු දේවල් ඒ කාලෙදී අද්දකින්න පුළුවන්. හැම නරක දෙයක්ම, මරණය පවා දෙවි ඒ කාලෙදී සම්පූර්ණයෙන්ම නැති කරනවා.

රොබට්: ඔයා කියන එක මට තේරෙනවා. ඒත් බයිබල් පදයකින් දෙකකින් විතරක් ඒක ඇත්ත කියලා පිළිගන්න පුළුවන්ද?

මාකස්: බැහැ තමයි. හැබැයි අනාගතයේදී මිනිසුන්ට හැමදාටම ජීවත් වෙන්න ලැබෙන කාලය ගැන බයිබලයේ හුඟක් තැන්වල කතා කරලා තියෙනවා. ඔයාට තව ටිකක් වෙලාව දෙන්න පුළුවන් නම් මට පුළුවන් ඔයාට තව බයිබල් පදයක් පෙන්නන්න.

රොබට්: ඔව්. මාත් කැමතියි ඒ ගැන දැනගන්න.

“දුෂ්ටයා නැතිවන්නේය”

මාකස්: ඔයාට පුළුවන්ද ගීතාවලිය 37:10, 11 කියවන්න.

රොබට්: “මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය. එසේය, නුඹ ඔහුගේ ස්ථානය පරීක්ෂාකර බලන්නෙහිය, ඔහු සම්බනොවන්නේය. නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.”

මාකස්: එකොළොස්වෙනි පදේ කියන විදිහට ‘මොළොක් ගුණ ඇති අය’ ජීවත් වෙන්නේ කොහේද?

රොබට්: එතන තියෙන්නේ “දේශය උරුමකරගන්නෝය” කියලා. හැබැයි මං හිතන්නේ මේ බයිබල් පදේ කතා කරන්නේ දැන් සිද්ධ වෙන දෙයක් ගැන. මොකද දැනටත් හොඳ මිනිස්සු පොළොවේ ජීවත් වෙනවනේ.

මාකස්: ඒක ඇත්ත. ඒත් ඔයා දැක්කද ඒ පදේ තියෙනවා මොළොක් ගුණ ඇති අය “මහත් සමාදානයෙන් ප්‍රීතිමත්” වෙනවා කියලා. අද මේ ලෝකයේ සමාදානය තියෙනවා කියලා ඔයා හිතනවද?

රොබට්: නැහැනේ.

මාකස්: හරි. මං දැන් ඔයාට උදාහරණයක් කියන්නං. ඔයාට අයිති ගෙයක් ඔයා කුලියට දෙනවා. හැබැයි ඒ ගෙදර ඉන්න මිනිස්සු ගේ ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අහළ පහළ ඉන්න අයත් එක්ක හැමතිස්සෙම රණ්ඩු වෙනවා. ඔයා මොකද කරන්නේ?

රොබට්: අපෝ මං නං ඒ මිනිස්සුන්ව ගෙදරින් පන්නනවා.

මාකස්: මේ පොළොවේ ඉන්න දුෂ්ට මිනිසුන්ටත් දෙවි කරන්න යන්නේ ඒ වගේ දෙයක් තමයි. බලන්න 10වෙනි පදයේ කියන දේ. “දුෂ්ටයා නැතිවන්නේය” කියලා එතන කියනවා. දුෂ්ට අයව විනාශ කළාට පස්සේ හොඳ අයට කිසිම කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඔයා කලින් ඉගෙනගෙන තිබුණ දේ ඊට වඩා වෙනස් නේද?

රොබට්: ඔව්. අපේ පල්ලියෙන් කවදාවත් ඒ වගේ දෙයක් උගන්නලා නැහැ.

මාකස්: ඔයා ඉස්සෙල්ලා කිව්ව වගේ බයිබල් පදයක් දෙකක් විතරක් බලලා බයිබලයේ තියෙන දේවල් හරියට තේරුම්ගන්න අමාරුයි. අනාගතයේදී හොඳ මිනිස්සුන්ට ලැබෙන්න යන දේවල් ගැන මුළු බයිබලයේම තියෙන විස්තර අපි හොයලා බලන්න ඕනේ. අද අපි බලපු බයිබල් පද ගැන හිතනකොට ස්වර්ගෙට යන්නේ මිනිස්සු කීපදෙනෙක් විතරයි කියලත් අනික් අයට මේ පොළොවේ හැමදාටම ජීවත් වෙන්න පුළුවන් කියලත් ඔයාට පැහැදිලි වුණාද?

රොබට්: ඔව්. ඔයා පෙන්නපු බයිබල් පදවලින් නම් ඒක පැහැදිලි වුණා. හැබැයි මං තව චුට්ටක් ඒ ගැන හොයලා බලන්න ඕනේ.

මාකස්: ඒක හොඳයි. ඔයා ඒ ගැන හොයලා බලද්දී ඔයාට තවත් ප්‍රශ්න මතු වෙයි. දැනට මැරිලා ඉන්න මිනිස්සු ස්වර්ගෙට ගිහිල්ලා නැත්නම් කොහේද ඉන්නේ? එයාලට මොනවද වෙලා තියෙන්නේ?

රොබට්: ඇත්ත තමයි. ඒ ගැනත් හොයලා බලන්න ඕනේ.

මාකස්: ඔයා කැමති නම් මට පුළුවන් ඔයාට උදව් කරන්න. මම ඔයාට ඒ ගැන සඳහන් වෙලා තියෙන බයිබල් පද ටිකක් ලියලා දෙන්නං. * ඊටපස්සේ මට පුළුවන් ආයෙත් දවසක ඇවිල්ලා ඔයත් එක්ක ඒ ගැන කතා කරන්න. ඔයා මොකද හිතන්නේ?

රොබට්: ඒකනං හොඳ අදහසක්.

[පාදසටහන්වල]

^ 11 ඡේ. මෙම ලිපියේ සඳහන් කර ඇති බයිබල් පද රැගෙන තිබෙන්නේ පැරණි අනුවාදය නමැති පරිවර්තනයෙනි.