Skip to content

පටුනට යන්න

පාඨකයන් අසයි

දුම්බීම වැරදිද?

දුම්බීම වැරදිද?

▪ බයිබලයේ දුම්බීම ගැන සඳහන් වී නැහැ. ඒ නිසා එහි වරදක් නැහැ කියා සමහරුන් සිතන්න පුළුවන්. එය හරිද?

බයිබලය ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළින් කියා එහිම සඳහන් වෙනවා. (2 තිමෝති 3:16) යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වාගන්නා ආකාරය ගැන බයිබලයේ මඟ පෙන්වීම් බොහොමයක් තිබෙනවා. අපි මුලින්ම දුම්කොළ භාවිතය ගැන පර්යේෂකයන් සොයාගෙන තිබෙන්නේ මොනවාද කියා බලමු.

ශරීර සෞඛ්‍යයට හානි කරයි. එක්සත් ජනපදයේ සිදු වන මරණවලින් පහෙන් එකක් සිදු වන්නේ දුම්කොළ භාවිතය නිසයි. මත්පැන්, මත්ද්‍රව්‍ය, මිනී මැරීම, සියදිවි හානි කරගැනීම, හදිසි අනතුරු සහ ඒඩ්ස් රෝගය වැනි දේවල් නිසා සෑම වසරකම මරණයට පත් වෙන සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් දුම්කොළ භාවිතය නිසා මරණයට පත් වෙන බව එක් වාර්තාවක සඳහන් වෙනවා.

අන් අයටත් අහිතකර ලෙස බලපානවා. දුම් බොන අය අසල සිටින අයට පෙණහලු පිලිකා සහ හෘදයාබාධ වැලදීමේ ප්‍රවණතාව සියයට 30කින් වැඩි වී තිබෙනවා. ඊට අමතරව තවත් පිරිසකට එමගින් හානි වෙන බව වෛද්‍යවරුන් මෑතකදී සොයාගෙන තිබෙනවා. එයට හේතු වන්නේ සිගරට්වලින් නික්මෙන දුම ඇඳුම්වල, කාපට්වල සහ ඒ අවට ඇති අනිකුත් දේවල්වල බොහෝ කාලයක් පුරා රැදී තිබීමයි. සිගරට් දුමේ තිබෙන රසායනික ද්‍රව්‍ය ඉතා අහිතකරයි. විශේෂයෙන්ම දරුවන්ගේ සෞඛ්‍යයට එය අහිතකර ලෙස බලපාන අතර මතක තබාගැනීමේ ශක්තිය අඩු වීමටත් එය බලපානවා.

ඇබ්බැහි වෙනවා. දුම්පානය කරන අය ඊට ඇබ්බැහි වෙනවා. එයට හේතුව දුම්කොළවල අඩංගු නිකොටින් ඇබ්බැහි කරවනසුලු වීමයි. ඒ නිසා දුම්පානය කරන අයට එය නතර කිරීම පහසු නැහැ.

දැන් අපි ඒ සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති කිහිපයක් බලමු.

ජීවිතය වටිනා දෙයක් ලෙස සලකන්න. දෙවිව සතුටු කිරීමට කැමති අය ජීවිතවලට ගරු කිරීම ඉතා වැදගත්. (ද්විතීය කතාව 5:17) ඊශ්‍රායෙල්වරුන් නිවෙස්වල වහල සෑදුවේ පැතලියටයි. ඒ නිසා එහි වටේට තාප්පයක් සාදන්න කියා දෙවි පැවසුවා. දෙවි එසේ පැවසුවේ වහලෙන් වැටී කිසිම කෙනෙකුගේ ජීවතය අනතුරකට ලක් වීම වැළැක්වීමටයි. (ද්විතීය කතාව 22:8) ඊට අමතරව තමන් ඇති කරන සතුන්ගෙන් කිසිම කෙනෙකුට හානියක් නොවීමට වගබලා ගත යුතු බවත් දෙවි පවසා තිබුණා. (නික්මයාම 21:28, 29) දෙවි එවැනි නීති ලබා දුන්නේ ජීවිත ඉතා වටින නිසයි. දුම්පානය කරන කෙනෙක් එවැනි නීති පදනම් වී තිබෙන ප්‍රතිපත්තිය නොසලකාහරිනවා. ඔහු හිතාමතාම තමන්ගේ ජීවිතය අනතුරට ලක් කරගන්නවා. ඒ විතරක් නොවෙයි ඔහු අන් අයගේ ජීවිතවලටත් කරන්නේ බරපතළ හානියක්.

දෙවිට සහ අසල්වැසියන්ට ප්‍රේම කරන්න. යේසුස්ගේ අනුගාමිකයන් දෙවි ලබා දුන් ප්‍රධානතම ආඥා දෙක පිළිපැදිය යුතුයි. ඔවුන් දෙවිට මුළු හදවතින්ම ප්‍රේම කළ යුතු අතර තමන්ට මෙන් තම අසල්වැසියන්ටද ප්‍රේම කළ යුතුයි. (මාක් 12:28-31) නමුත් දුම්පානය කරන කෙනෙක් ඒ ආඥා දෙකම උල්ලංගනය කරනවා.—ක්‍රියා 17:26-28.

නරක පුරුදු අත්හරින්න. “අපගේ මනස සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම” ඉවත් වෙන්න කියා බයිබලයේ පවසනවා. (2 කොරින්ති 7:1) දුම්පානය කරන කෙනෙක් තමාගේ ශරීරය අපවිත්‍ර කරගන්නවා. එයට ඇබ්බැහි වූ කෙනෙකුට එය නතර කිරීම අභියෝගයක්. නමුත් දෙවිගේ උපකාරය ඇතුව ඔහුට එය කළ හැකියි.