Skip to content

පටුනට යන්න

බයිබලයේ සඳහන් ආශ්චර්යයන් විශ්වාස කළ හැකිද?

බයිබලයේ සඳහන් ආශ්චර්යයන් විශ්වාස කළ හැකිද?

බයිබලයේ සඳහන් ආශ්චර්යයන් විශ්වාස කළ හැකිද?

ඔබට යම් දෙයක් අසන්න ලැබුණොත් එය විශ්වාස කරනවාද නැද්ද කියා ඔබ තීරණය කරන්නේ ඒ දේ පැවසූ කෙනා කොයි තරම් විශ්වාසවන්ත කෙනෙක්ද යන්න මතයි. ඒ පුද්ගලයා මීට පෙර ඔබට බොරුවක් පවසා නැත්නම් ඔහු පැවසූ දේ විශ්වාස නොකර සිටීමට ඔබට හේතුවක් නැහැ.

බයිබලයේ සඳහන් ආශ්චර්යයන් සිදු වූ කාලයේ අප සිටියේ නැති වුණත් ඒවා විශ්වාස කිරීමට හොඳ හේතු තිබෙනවා. ඒවා සලකා බැලීමෙන් ඒ දේවල් ඇත්තටම සිදු වුණාද නැද්ද කියා ඔබටම තීරණය කළ හැකියි. එම හේතු කිහිපයක් දැන් අපි බලමු.

ආශ්චර්යයන් බොහෝදෙනෙක් දැක්කා. ආශ්චර්යයන් සිදු වුණේ හොර රහසේ නොවෙයි. ඒවා සිදු වූ බොහෝ අවස්ථාවල ඒ අවට මිලියන ගණන් සෙනඟ සිටියා.—නික්මයාම 14:21-31; 19:16-19.

ආශ්චර්යයන් සිදු කළේ ප්‍රදර්ශනයට නොවෙයි. ඒවා සිදු කළේ අන් අයගේ අවධානය ඇදගැනීමේ අදහසින් හෝ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් නොවෙයි. බොහෝ ආශ්චර්යයන් සිදු කළේ නොසිතූ වේලාවන්වල සහ එක් එක් පුද්ගලයාගේ ඉල්ලීම්වලට අනුවයි.—මාක් 5:25-29; ලූක් 7:11-16.

ආශ්චර්යයන් සිදු කළේ ප්‍රසිද්ධිය, ප්‍රශංසාව හෝ මුදල් ලබාගැනීමේ අරමුණින් නොවෙයි. ඒවා සිදු කළේ දෙවිව ගෞරවයට පත් කිරීම සඳහායි. (යොහන් 11:1-4, 15, 40) ආශ්චර්යයන් තමාගේ වාසියට යොදාගත් අයව දෙවි හෙළාදැක්කා.—2 රාජාවලිය 5:15, 16, 20, 25-27; ක්‍රියා 8:18-23.

ආශ්චර්යයන්වල විවිධත්වයක් තිබුණා. නියඟයක් ඇති වීමට සැලැස්වීම, වර්ෂාව ඇදහැලීමට සැලැස්වීම, කුණාටුවක් නිහඬ කිරීම, අසනීප අයව සුව කිරීම, වතුර වයින් කිරීම, අන්ධ කෙනෙකුට පෙනීම ලබා දීම වැනි ආශ්චර්යයන් ගැන බයිබලයේ සඳහන් වෙනවා. එවැනි විවිධත්වයකින් යුත් ආශ්චර්යයන්වලින් පැහැදිලි වන්නේ ඒවා සිදු කළ අයට ඒ සඳහා බලය ලැබුණේ සියලු දේවල් කෙරෙහි බලයක් තිබෙන කෙනෙකුගෙන් බවයි.—1 රාජාවලිය 17:1-7; 18:41-45; මතෙව් 8:24-27; ලූක් 17:11-19; යොහන් 2:1-11; 9:1-7.

යේසුස් කළ ආශ්චර්යයන් ඔහුගේ සතුරෝ පවා පිළිගත්තා. යේසුස්ගේ මිත්‍රයෙකු වූ ලාසරුස් මිය ගොස් දවස් හතරකට පසු යේසුස් ඔහුව නැවත නැඟිට්ටෙව්වා. යේසුස්ට සතුරුකම් කළ ආගමික නායකයන් පවා එය පිළිගත්තා. (යොහන් 11:45-48; 12:9-11) යේසුස් මිය ගොස් අවුරුදු සියගණනකට පසු යුදෙව් ආගමික පොතක් ලියූ අයද යේසුස් බලවත් ක්‍රියා කළ බව පිළිගත්තා. ඔවුන් ප්‍රශ්න කළේ යේසුස්ට ඒ සඳහා බලය ලැබුණේ කොහෙන්ද කියායි. ඒ වගේම ආශ්චර්යයන් සිදු කළ යේසුස්ගේ අනුගාමිකයන්ව යුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරියට කැඳවූ අවස්ථාවේ ඔවුන්ගෙන් ප්‍රශ්න කළේ ඔවුන් එම බලවත් ක්‍රියා කළාද නැද්ද කියා නොවෙයි. ඒ වෙනුවට ඔවුන් ඇසුවේ, “ඔබ මේ දේ කළේ කාගේ අවසරයෙන්ද? කාගේ නාමයෙන්ද” කියායි.—ක්‍රියා 4:1-13.

බයිබලයේ සඳහන් වී තිබෙන ආශ්චර්යයන් ගැන දැන් ඔබට සිතෙන්නේ කුමක්ද? ඒවා විශ්වාස කළ හැකියි කියා ඔබට සිතෙනවාද? මෙතෙක් සලකා බැලූ තොරතුරුවලට අමතරව එම ආශ්චර්යයන් විශ්වාස කිරීමට තවත් හේතු තිබෙනවා. බයිබලයේ යම් සිද්ධියක් ගැන සඳහන් කරන විට එය සිදු වූ කාලය, ස්ථානය වගේම ඊට අදාළ පුද්ගලයන්ගේ නම් ගැනත් එහි සඳහන් වෙනවා. එම තොරතුරුවල ඇති නිවැරදිභාවය ගැන බයිබලය විවේචනය කරන විශාරදයන් පවා පුදුම වෙනවා. ඒ විතරක් නොවෙයි, බයිබලයේ ඇති අනාවැකිවල සඳහන් සෑම තොරතුරක්ම ඒ විදිහටම ඉටු වී තිබෙනවා. ඊට අමතරව සන්තෝෂවත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම්ද එහි සඳහන් වෙනවා. එම මඟ පෙන්වීම් ලැබී තිබෙන්නේ දෙවිගෙන් නිසා ඒවා අදාළ කරගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන වෙන කිසිවකින් ලැබෙන්නේ නැහැ.

බයිබලයේ තිබෙන දේවල් විශ්වාස කිරීමට ඔබට තවත් සාක්ෂි අවශ්‍යයි කියා සිතෙනවාද? එසේනම් ඒ ගැන සොයා බැලීමට කාලය යෙදවීම ඥානවන්ත නැද්ද? බයිබලයේ තිබෙන දේවල් ගැන වැඩි වැඩියෙන් ඉගෙනගන්නා විට ඒ ගැන ඔබට තිබෙන විශ්වාසය වැඩි වෙයි. (යොහන් 17:17) එවිට බයිබලයේ සඳහන් ආශ්චර්යයන් ඇත්තටම සිදු වුණාද නැද්ද කියා තවත් සැක කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට අනාගතයේදී ඉටු කරන බවට සඳහන් කර තිබෙන සෑම දෙයක්ම අනිවාර්යයෙන්ම ඉටු වෙයි කියා විශ්වාස කිරීමට ඔබට හැකි වෙයි.

[7වන පිටුවේ පින්තූරය]

යේසුස් ලාසරුස්ව නැවත නැඟිටෙවූ බව යේසුස්ගේ සතුරෝ පවා පිළිගත්තා