දෙවි ඉදිරියේ කාන්තාවට හිමි තැන
“මිනිස්සු පාපෙට වැටුණේ මුල්ම ගැහැණිය නිසයි. එයා නිසයි අපි සේරම මැරෙන්නේ.”—ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ ලියවුණු පොතකින්, ECCLESIASTICUS.
“ඔබයි යක්ෂයාට පාර කපා දුන්නේ: තහනම් ගහෙන් ගෙඩි කෑවේ ඔබයි: මුලින්ම දෙවිගේ නීතිවලට පිටුපෑවේ ඔබයි: . . . දෙවිගේ ගුණාංග ඇතුව නිර්මාණය කරපු මිනිසාව මරා දැමුවේ ඔබයි.”—ටර්ටූලියන් විසින් ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේදී රචිත පොතකින්, ON THE APPAREL OF WOMEN.
සියවස් ගණනාවක් පුරා සිටි බොහෝ අය එම තොරතුරු නිදහසට කරුණක් ලෙස යොදාගෙන කාන්තාවන්ව පහත් කර සැලකීමේ වරදක් නැති බව පවසා තිබෙනවා. අද සිටින අන්තවාදීන්ද කාන්තාවන්ව පහත් කර සැලකීම සාධාරණීකරණය කිරීමට ඇතැම් ආගමික තොරතුරු ඉදිරිපත් කරනවා. ඔවුන් පවසන්නේ මිනිසුන් අද්දකින ප්‍රශ්නවලට වග කිව යුත්තේ කාන්තාවන් කියායි. දෙවි කාන්තාවන්ව සලකන්නේ ශාප ලත් අය ලෙසද? බයිබලයේ ඒ ගැන සඳහන් වෙන්නේ මොනවාද?
දෙවි කාන්තාවන්ව පහත් කර සලකනවාද?
බයිබලයේ සඳහන් වෙන ආකාරයට “ශාප ලද්දෙක්” කියා දෙවි හඳුන්වා තිබෙන්නේ “මුල් සර්පයා” වන “යක්ෂයාව” පමණයි. (එළිදරව් 12:9; උත්පත්ති 3:14) දෙවි මුල් ස්ත්‍රිය වූ ඒවට පැවසුවේ දෙවිට අකීකරු වීම නිසා ඇගේ පුරුෂයා වූ ආදම් ඇයව “පාලනය” කරයි කියායි. එසේ පැවසීමෙන් දෙවි කාන්තාවන්ට හිරිහැර කිරීමට පුරුෂයන්ට අවසර දුන්නේ නැහැ. (උත්පත්ති 3:16) ඒ වෙනුවට මුල් යුවළ දෙවිට අකීකරු වූ නිසා ඔවුන්ට අත් විඳින්න සිදු වන දේවල් ගැන දෙවි ඔවුන්ව දැනුවත් කළා පමණයි.
කාන්තාවන්ව පහත් කර සැලකීම හෝ හිරිහැර කිරීම දෙවි ඇති කළ සැලැස්මක් නෙවෙයි. මිනිසුන්ට පව්කාරකම උරුම වීම නිසා කාන්තාවන් පිරිමින්ට බැලමෙහෙවරකම් කළ යුතුයි කියා බයිබලයේ සඳහන් වී නැහැ.—රෝම 5:12.
දෙවි මුල් ස්ත්‍රියව නිර්මාණය කළේ පුරුෂයාට වඩා පහත් ආකාරයෙන්ද?
බයිබලයේ උත්පත්ති 1:27හි මෙසේ සඳහන් වෙනවා. “දෙවි මනුෂ්‍යයාව සෑදුවේය. දෙවි මනුෂ්‍යයාව සෑදුවේ ඔහුගේම ගතිලක්ෂණ ඇතුවයි. පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව සෑදුවේය.” ඒ නිසා දෙවි ඔවුන් දෙදෙනාටම එකම මඟ පෙන්වීම් ලබා දුන් අතර සෑම දෙයක්ම සතුටින් භුක්ති විඳීමේ අවස්ථාවත් දෙදෙනාටම ලබා දුන්නා.—උත්පත්ති 1:28-31.
ඒවව නිර්මාණය කිරීමට කලින් දෙවි මෙසේ පැවසුවා. “ඔහුට [එනම් ආදම්ට] ගැළපෙන සහකාරියකව සාදා දෙන්නෙමි.” (උත්පත්ති 2:18) සහකාරියක් කියන්නේ මෙහෙකාරියකට නෙවෙයි. උදාහරණයකට වෛද්‍යවරයෙක් සහ නිර්වින්දකයෙක් ගැන සිතමු. ශල්‍යකර්මයක් කරන විට ඔවුන් දෙදෙනාටම එකිනෙකාගේ සහය අවශ්‍යයි. ඒ නිසා එක්කෙනෙක් අනික් කෙනාට වඩා උසස් කියා පවසන්න බැහැ. ඒ හා සමානව දෙවි මුල් යුවළව නිර්මාණය කළේ එකිනෙකාට සහයෝගය දෙමින් ජීවත් වීමට නිසා ස්ත්‍රියට වඩා උසස් තත්වයක් පුරුෂයාට ලබා දුන්නේ නැහැ.—උත්පත්ති 2:24.
දෙවි කාන්තාවන් ගැන සැලකිලිමත් කියා පැවසීමට හේතු
පාපය උරුම කරගත් මිනිසුන් කාන්තාවන්ව පහත් කර සලකන බව දෙවි කල් ඇතිවම දැනගත් නිසා ඔවුන්ගේ රැකවරණය වෙනුවෙන් යම් නීති පැනෙව්වා. ක්‍රි.පූ. 16වන සියවසේ සිටි එක් ලේඛිකාවක් වූ ලෝ ඒනාඩ් ඇගේ පොතක මෙසේ සඳහන් කර තිබෙනවා. “මෝසෙස් තුළින් දී තිබෙන නීතියේ කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා දායක වන නීති ඇතුළත් වී තිබෙනවා.”—The Bible in the Feminine Gender.
උදාහරණයකට පියාට මෙන්ම මවටත් ගෞරව කරන්න කියා එහි සඳහන් වුණා. (නික්මයාම 20:12; 21:15, 17) ඒ වගේම ගර්භණී කාන්තාවන් ගැනත් සැලකිලිමත් විය යුතු බව දෙවි පවසා තිබුණා. (නික්මයාම 21:22) අදටත් කාත්තාවන්ගේ අයිතිවාසිකම් ගැන මිනිසුන් විවිධ නීති පනවා තිබුණත් දෙවි කාන්තාවන්ගේ රැකවරණය වෙනුවෙන් දී තිබෙන නීති ඒවාට වඩා උසස් තත්වයක තිබෙනවා.
දෙවි ලබා දුන් නීතිය
සියලුම පුරුෂයන්ට සහ ස්ත්‍රීන්ට බොහෝ ප්‍රයෝජනවත් තොරතුරු රැසක් මෙන්ම දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමට දායක වන තොරතුරුත් එහි සඳහන් වුණා. ඔවුන් එම නීතිවලට කීකරු වූවා නම් ‘සියලුම ජාතීන්ට වඩා උසස්’ වීමට ඔවුන්ට අවස්ථාව තිබුණා. (ද්විතීය කතාව 28:1, 2) එම නීතියේ කාන්තාවන්ට හිමි වුණේ මොන වගේ තැනක්ද?
1. නිදහසක් තිබුණා. ඒ කාලයේ සිටි වෙනත් ජාතීන්ට අයත් කාන්තාවන්ට වඩා වැඩි නිදහසක් ඊශ්‍රායෙල් කාන්තාවන් අද්දැක්කා. පවුලේ මූලිකයා වුණේ පුරුෂයා වුණත් භාර්යාවක් හිතෝපදේශ 31:11, 16-19.
තම පුරුෂයාට විශ්වාසවන්තව සිටියා නම් ‘ඉඩම් මිලදී ගෙන මිදි වත්තක් වගා කරන්න’ පවා ඔවුන්ට අවස්ථාව තිබුණා. මහන්න, ගොතන්න හැකියාවන් තිබූ කාන්තාවන්ට තමන්ගේම කියා ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමටත් නිදහස තිබුණා.—පුරුෂයන්ට හා සමානව කාන්තාවන්ටත් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමට හැකි වුණා. හන්නා නමැති කාන්තාව ඇගේ ප්‍රශ්න ගැන දෙවිට යාච්ඤා කළ බවත් ඇය දෙවිට යම් පොරොන්දුවක් වූ බවත් බයිබලයේ සඳහන් වෙනවා. (1 සාමුවෙල් 1:11, 24-28) සෑම සබත් දිනකදීම ෂුනෙම් ජාතික ස්ත්‍රියකට අනාගතවක්තෘ එලිෂාව හමු වීමට අවස්ථාව ලැබුණා. (2 රාජාවලිය 4:22-25) තම විනිශ්චයන් ගැන දැනුම් දීමට හා අනාගතවක්තෘවරියක් ලෙස සේවය කිරීමට යෙහෝවා දෙවි දෙබොරාව සහ හුල්දාව තෝරාගත්තා. ඒ නිසා දෙවිගේ මඟ පෙන්වීම් ගැන දැනගැනීමට පුරුෂයන් කැමැත්තෙන්ම එවැනි කාන්තාවන් ළඟට ගියා.—විනිශ්චයකරුවෝ 4:4-8; 2 රාජාවලිය 22:14-16, 20.
2. නිසි අධ්‍යාපනයක්. දෙවිගේ නීතියට සවන් දී ඉන් ඉගෙනගැනීමට දෙවි ස්ත්‍රීන්ටත් ආරාධනා කර තිබුණා. (ද්විතීය කතාව 31:12; නෙහෙමියා 8:2, 8) නමස්කාරයේ යම් අංගවල නියැලෙන්නත් ඔවුන්ට යම් පුහුණුවක් ලබා දුන්නා. උදාහරණයකට ඇතැම් ස්ත්‍රීන් සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානය ළඟ සේවය කළ අතර තවත් ස්ත්‍රීන් සංගීත භාණ්ඩ වාදනය කිරීමටත් ගී ගැයීමටත් හවුල් වුණා.—නික්මයාම 38:8; 1 ලේකම් 25:5, 6.
එවකට සිටි බොහෝ ස්ත්‍රීන් ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන ගියා. (හිතෝපදේශ 31:24) ඒ කාලයේ තිබූ වෙනත් සංස්කෘතින්වල පුතුන්ට ඉගැන්වීමේ වගකීම තිබුණේ පියාට පමණයි. නමුත් ඊශ්‍රායෙල් දේශයේ සිටි මව්වරුන්ටත් තම පුතුන්ට ඉගැන්වීමේ අවස්ථාව තිබුණා. (හිතෝපදේශ 31:1) ඒ අනුව පුරාණයේ සිටි ස්ත්‍රීන් නූගත් යැයි කියා පැවසීමට කිසිම හේතුවක් නැහැ.
3. නිසි ගෞරවයක් හිමි වුණා. “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න” කියා දසපනතේ පැහැදිලිව සඳහන් වෙනවා. (නික්මයාම 20:12) ප්‍රඥාවන්ත සලමොන් රජ මෙසේ පැවසුවා. “මාගේ පුත්‍රය, ඔබේ පියාගෙන් ලැබෙන මඟ පෙන්වීම් හා හික්මවීම් පිළිගන්න. ඔබේ මවගේ උපදෙස්වලට පිටු නොපාන්න.”—හිතෝපදේශ 1:8.
අවිවාහක ස්ත්‍රීන්ටත් ගෞරවයෙන් සැලකිය යුතු බව නීතියේ සඳහන් වෙනවා. (ලෙවී කතාව 18:6, 9; ද්විතීය කතාව 22:25, 26) ඒ වගේම ස්වාමිපුරුෂයෙක් තම බිරිඳගේ හැඟීම් සහ සීමාවන් ගැන සැලකිලිමත් විය යුතු වුණා.—ලෙවී කතාව 18:19.
4. අයිතිවාසිකම්. යෙහෝවා දෙවි තමාව ‘පියා නැති දරුවන්ගේ පියා ලෙසත් වැන්දඹුවන්ට යුක්තිය ඉටු කර දෙන විනිශ්චයකරු’ ලෙසත් හඳුන්වා තිබෙනවා. ඔවුන්ගේ අවශ්‍යතා ගැනත් දෙවි සැලකිලිමත්. (ගීතාවලිය 68:5; ද්විතීය කතාව 10:17, 18) උදාහරණයකට එක අවස්ථාවකදී අසාධාරණයට ලක් වූ වැන්දඹුවක් වෙනුවෙන් යෙහෝවා දෙවි මැදිහත් වී ආශ්චර්යයක් සිදු කරමින් ඇගේ අවශ්‍යතා පිරිමැසුවා.—2 රාජාවලිය 4:1-7.
ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශයට ඇතුල් වීමට කලින් මිය ගිය ෂෙලොපෙහාද්ට සිටියේ දූවරු පස්දෙනෙක් පමණයි. ඒ නිසා පොරොන්දු දේශයෙන් ඔවුන්ටත් “උරුමයක්” ලබා දෙන්න කියා එම දූවරු මෝසෙස්ගෙන් ඉල්ලා සිටියා. ඒ කාරණය ගැන යෙහෝවා දෙවි, මෝසෙස්ට මෙසේ පැවසුවා. “ඔවුන්ගේ පියාගේ සහෝදරයන්ට උරුමයක් දෙන විට ඔවුන්ටත් උරුමයක් ලබා දිය යුතුයි. ඔවුන්ගේ පියාගේ උරුමය ඔවුන්ට ලබා දෙන්න.” එතැන් පටන් තම පියාගේ උරුමය ලබාගැනීමට දූවරුන්ටත් අවස්ථාව ලැබුණා.—ගණන් කතාව 27:1-8.
විකෘති ඉගැන්වීම්
දෙවි ලබා දී තිබූ නීතිය යටතේ සිටි ස්ත්‍රීන් සතුටින් කල් ගෙව්වා. නමුත් ක්‍රිස්තු පූර්ව හතරවන සියවසේදී ග්‍රීක සංස්කෘතියේ ආභාසය ඈදාගත් යුදෙව්වන් ස්ත්‍රීන්ව පහත් කර සලකන්න පටන්ගත්තා.—“පුරාණ ලියවිලිවල කාන්තාවන්ට එරෙහිව තිබූ තොරතුරු” යන කොටුව බලන්න.
උදාහරණයකට ක්‍රි.පූ. අටවන සියවසේ සිටි ග්‍රීක කවියෙකු වූ හීසියඩ් මිනිස් වර්ගයා විඳින දුක් වේදනාවලට වග කිව යුත්තේ කාන්තාවන් බව අඟවමින් මෙසේ සඳහන් කළා. “ස්ත්‍රීන් හරිම මාරාන්තිකයි. ඒ අයව ආශ්‍රය කරන්න ගියොත් මිනිස්සු ලොකු අමාරුවක වැටෙනවා.” ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ සිටි බොහෝ අය අතරේ එම අදහස ප්‍රචලිත වුණා. ඒ කාලයේදී සැකසුනු යුදෙව් සම්ප්‍රදායන් ගැන සඳහන් වූ ලියවිල්ලක (එනම් තල්මුඩයේ) මෙසේ සඳහන් වුණා. “කාන්තාවන් එක්ක වැඩියෙන් ආශ්‍රයට යන්න එපා. එහෙම වුණොත් අනාචාර ජීවිතයක් ගත කරන්න ඔබත් පෙලඹෙයි.”
එවැනි ඉගැන්වීම් නිසා සියවස් ගණනාවක් පුරා යුදෙව් කාන්තාවන් දුක් විඳ තිබෙනවා. යේසුස්ගේ කාලය වන විටත් කාන්තාවන්ට දේවමාලිගාවේ ගැවසෙන්න අවස්ථාව තිබුණේ සීමිත ඉඩ කොටසක පමණයි. ආගම ගැන ඉගෙනගන්න අවස්ථාව තිබුණේ පුරුෂයන්ට පමණක් නිසා සිනගෝගය
තුළට යන්න කාන්තාවන්ට අවසර ලැබුණේ නැහැ. “කෙනෙක් තම දූවරුන්ට දෙවිගේ නීති ගැන උගන්වනවා නම් එය ලිංගික කාරණා ගැන කියලා දෙනවා හා සමානයි” කියා තල්මුඩයේ සඳහන් වුණා. බොහෝ පුරුෂයන්, කාන්තාවන්ව පහත් කර සැලකීමට පෙලඹුණේ දෙවි දී තිබූ නීති විකෘති කරමින් ඉගැන්වූ යුදෙව් ආගමික නායකයන් නිසයි.එවැනි නීති මිනිසුන්ගේ සිත් තුළට කිදා බැස ඇති බව යේසුස් තේරුම්ගත්තා. (මතෙව් 15:6, 9; 26:7-11) එම ඉගැන්වීම් නිසා යේසුස් කාන්තාවන්ව පහත් කර සැලකුවාද? ඔහු කාන්තාවන්ට සැලකූ ආකාරයෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? සැබෑ ක්‍රිස්තියානීන් කාන්තාවන්ට සලකන්නේ කොහොමද? ඊට පිළිතුරු අපි ඊළඟ ලිපියෙන් බලමු.