Skip to content

පටුනට යන්න

සැබෑ දෙවි කවුද කියලා මම දැන් දන්නවා

සැබෑ දෙවි කවුද කියලා මම දැන් දන්නවා

දවසක් පෙන්තකොස්ත පූජකයෙක් අපේ පල්ලියට ආවා. එයා මාව ඇල්ලුව ගමන් මට සිහිය නැතිව වැටුණා. සිහිය ආවට පස්සේ මට තේරුණා මටත් දැන් ලෙඩ සුව කරන්න බලය ලැබිලා කියලා. එහෙම දෙයක් වුණේ ඇයි කියලා මගේ ජීවිත කතාව කියෙව්වම ඕගොල්ලන්ට තේරෙයි.

මම ඉපදුණේ 1968 දෙසැම්බර් 10වෙනිදා පිලිපීනයේදී. අපේ පවුලේ දරුවන් 10දෙනාගෙන් මම හත්වෙනියා. අපේ පවුලේ අය කතෝලික භක්තිකයන්. උසස් අධ්‍යාපනය 1986දී අවසන් කළාට පස්සේ මම ආසාවෙන් හිටියේ හෙදියක් වෙන්න. ඒත් මම හිටි හැටියේම අසනීප වුණ නිසා මගේ බලාපොරොත්තු සුන් වුණා. මම මැරෙයිද කියලත් මට හිතුණා. මම කොච්චර මානසිකව වැටුණාද කියනවා නම් මම අඬ අඬා දෙවිට කිව්වා මාව සනීප කරන්න කියලා. එහෙම කළොත් මගේ ජීවිත කාලයම දෙවිට සේවය කරන්න කැප කරනවා කියලාත් මම පොරොන්දු වුණා.

කාලයක් ගියාට පස්සේ මට සනීප වුණා. දෙවිට දීපු පොරොන්දුව ඉටු කරන්න ඕනේ නිසා මම 1991දී පෙන්තකොස්ත ආගමේ බයිබල් පාසැලකට බැඳුණා. ඒකේ පුහුණුවෙන් පස්සේ හැම ශිෂ්‍යයෙකුටම “ශුද්ධාත්ම බලය” ලැබෙනවා කියලා ඒ අය කිව්වා. හැබැයි ඒ බලය ලබාගන්න නම් නිරාහාරව ඉඳලා දිගටම යාච්ඤා කරන්න ඕනේ කියලත් අපිට ඉගැන්නුවා. එදා ඉඳලා කොහොමහරි ඒක ලබාගන්න මට ලොකු ආසාවක් තිබුණා. දවසක් අපේ පංතියේ ළමයෙක් යාච්ඤා කරද්දී මම හොරෙන් අහගෙන ඉඳලා එයා යාච්ඤාව ඉවර කරන්න ළං වෙනකොටම ඉක්මනට මම හිටිය තැනට ගිහින් ආයෙත් දණ ගහගෙන යාච්ඤා කරනවා වගේ හිටියා. ඊට පස්සේ එයා යාච්ඤාවෙන් ඉල්ලුවේ මොනවද කියලා මම හරියටම එයාට කිව්වා. මං එහෙම කළේ මට “ශුද්ධාත්ම බලය” ලැබිලා තියෙනවා කියලා අඟවන්න. එයත් ඒක විශ්වාස කළා.

ඒ කාලේදී මට දෙවියන් ගැන හුඟක් ප්‍රශ්න මතු වුණා. උදාහරණයකට මතෙව් 6:9 කියන විදිහට යේසුස් කිව්වේ පියාණන්ට යාච්ඤා කරන්න කියලා. ඒ වගේම ඔහුගේ ‘නාමය ශුද්ධව පවතීවා’ කියලත් යේසුස් කිව්වා. යේසු පියාණන් කියලා හැඳින්නුවේ කාවද කියලත් ඔහුගේ නම මොකක්ද කියලත් මම මගේ ගුරුවරුන්ගෙන් ඇහුවා. හැබැයි ඒගොල්ලන් ඒකට පැහැදිලි උත්තරයක් දුන්නේ නැහැ. ත්‍රිත්වය ගැන ඇදලා අරගෙන කිව්වා ඒක අභිරහසක් කියලා. ඒකෙන් මගේ ඔළුව තවත් අවුල් වුණා. ඒත් මම දිගටම බයිබල් පාසැලට ගියා.

සාක්ෂිකරුවන් ගැන

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උගන්වන්නේ තනිකරම බොරු දේවල් කියලත් ඒ අය ක්‍රිස්තු විරෝධීන් කියලත් අපේ ගුරුවරුන් අපිට කියලා දුන්නා. ඒ නිසා සාක්ෂිකරුවන් ගැන මට ඇති වුණේ පුදුම කේන්තියක්.

ටික කාලෙකට පස්සේ බයිබල් පාසැලේ නිවාඩු කාලෙක මම අම්මව බලන්න ගෙදර ගියා. මම එනවා කියලා ආරංචි වෙලා මගේ අක්ක කෙනෙකුත් එහේ ආවා. එයාගේ නම කාමන්. එයා ඒ වෙද්දීත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් විදිහට පූර්ණකාලීනව දෙවිට සේවය කරමිනුයි හිටියේ. එදා එයා මට දෙවියන් ගැන කියන්න හැදුවම මට හුඟක් කේන්ති ගියා. ඒ නිසා මම එයාව තල්ලු කරලා කිව්වා “මම නමස්කාර කරන දෙවියන් ගැන මම හොඳට දන්නවා” කියලා.

වැඩි කාලයක් යන්න කලින් අක්කා මට සාක්ෂිකරුවන්ගේ සඟරාවක් තැපෑලෙන් එව්වා. ඒකේ කතා කරලා තිබුණේ ත්‍රිත්වය බයිබලයට එකඟද කියන කාරණය ගැන. හැබැයි මම ඒක ලැබුණ හැටියේ පොඩි කරලා පුච්චලා දැම්මා. මට අක්කත් එක්ක තවත් කේන්ති ගියා.

පූජක තනතුර ලැබීම

මම බයිබල් පාසැලේ හිටිය කාලෙදී මගේ අම්මවයි අයියා කෙනෙක්වයි පෙන්තකොස්ත ආගමට ගන්න පුළුවන් වුණා. ඒ ගැන මට දැනුණේ පුදුම සතුටක්.

බයිබල් පාසැල ඉවර වුණාට පස්සේ 1994 මාර්තු මාසයේදී මට පූජක තනතුරක් ලැබුණා. ඒ කාලේදී තමයි මම කලින් කියපු ලෙඩ සුව කරන පූජකයා අපේ පල්ලියට ආවේ. අපේ පාසලේ පූජක තනතුර ලැබුව හැමෝම ලොකු ආසාවකින් හිටියේ “ශුද්ධාත්ම බලය” ලබාගන්න. ඒ පූජකයා වේදිකාවේ ඉඳන් වාදනය වෙමින් තිබුණු සංගීතයට ගැළපෙන විදිහට අත්පුඩි ගහපු නිසා අපිත් අත්පුඩි ගගහා හරිම විනෝදෙන් හිටියා. එයා අතින් අල්ලපු හැමෝම කලන්තේ දාලා වැටුණා. මාව ඇල්ලුවම මාවත් වැටුණා. සිහිය එද්දී මට අමුතු භයක් දැනුණත් මට තේරුණා ලෙඩ සුව කරන්න මටත් බලය ලැබිලා කියලා. ඒ නිසා මට දැනුණේ පුදුම සතුටක්.

වැඩි කාලයක් යන්න කලින් හොඳටම උණ ගැනිලා තිබුණු දරුවෙක්ව සුව කරන්න මට පුළුවන් වුණා. මම යාච්ඤාවක් කළ හැටියෙම දරුවට හොඳටම දාඩිය දාලා උණ සනීප වුණා. ඒ වෙලාවේ මට හිතුණා මම දෙවිට දීපු පොරොන්දුව සම්පූර්ණයෙන්ම ඉටු කරන්න මට පුළුවන් වෙයි කියලා. ඒත් මගේ ජීවිතයේ ලොකු අඩුවක් මට දැනුණා. ඉන්න ඕනේ එකම සැබෑ දෙවි කෙනෙක් විතරයි කියලා මම හොඳින්ම දැනගෙන හිටියත් හරියටම ඒ කවුද කියලා මම දැනගෙන හිටියේ නැහැ. පල්ලියෙන් උගන්වපු දේවල් ගැනත් මට ඒ හැටි පැහැදීමක් තිබුණේ නැහැ.

හොඳටම උණ ගැනිලා තිබුණු දරුවෙක්ව සුව කරන්න මට පුළුවන් වුණා

වෙනසකට මුලපිරීමක්

ඒ වෙද්දී සාක්ෂිකරුවන් ගැන තිබුණ මගේ කේන්තිය තවත් වැඩි වෙලයි තිබුණේ. ඒ නිසා සාක්ෂිකරුවන්ගේ සඟරා, පොත් පත් ලැබුණ හැටියේ මම කළේ ඒවා පුච්චපු එක. හැබැයි ඒ කාලේදීම අපේ අම්මා පෙන්තකොස්ත පල්ලියෙන් අයින් වෙලා අක්කා එක්ක බයිබලය ගැන ඉගෙනගන්න පටන් අරන් තිබුණා. මට අක්කත් එක්ක තිබුණු කේන්තිය තවත් වැඩි වුණා.

දවසක් අම්මගේ ගෙදර තිබුණු පිබිදෙව්! සඟරාවක් මම දැක්කා. සාමාන්‍යයෙන් මම ඒවා දැකපු ගමන් පිච්චුවත් එදා මට හිතුණා ඒක ටිකක් කියවලා බලන්න ඕනේ කියලා. ඒ නිසා ඒකේ පිටු උඩින් පල්ලෙන් පෙරළනකොට මම දැක්කා කෙනෙක්ගේ ජීවිත කතාවක් ගැන තිබුණු ලිපියක්. ඒ කෙනා පල්ලියේ උගන්වපු දේවල් තදින්ම විශ්වාස කළ කෙනෙක්. හැබැයි සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරද්දී එයාට තේරිලා තිබුණා ත්‍රිත්වය, නිරාගින්න, අමරණීය ආත්මය වගේ ඉගැන්වීම් බයිබලයට එකඟ නැහැ කියලා. මට ඒක අදහාගන්නත් බැරි වුණා. එදා ඉඳලා බයිබලයේ තියෙන කාරණා ගැන හරි අවබෝධයක් ලබාගන්න පුළුවන් වෙන දවස එනකල් මම බලාගෙන හිටියා.

තව දවසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටිය කෙනෙක්ට ඒක නතර කරන්න පුළුවන් වුණ විදිහ ගැන තිබුණු ලිපියක් මම පිබිදෙව්! සඟරාවකින් කියෙව්වා. එදා ඉඳලා සාක්ෂිකරුවන්ගේ පොත් පත් මම තවත් වැඩියෙන් කියවන්න පටන්ගත්තා. දෙවිගේ නම ගැන සඳහන් කරලා තියෙන සඟරාවක් කියෙව්වට පස්සේ මම දැනගත්තා දෙවිගේ නම යෙහෝවා කියලා. එකම සැබෑ දෙවි ගැන සත්‍ය තොරතුරු දැනගන්න ලැබුණ එක ගැන මට දැනුණේ පුදුමාකාර සතුටක්.—ද්විතීය කතාව 4:39; යෙරෙමියා 10:10.

දෙවි ගැන සත්‍ය තොරතුරු ඉගෙනගන්න ලැබුණු එක ගැන මට හුඟක් සතුටුයි

මම කාටත් නොකියා හොර රහසේම සාක්ෂිකරුවන්ගේ පොත් පත්, සඟරා දිගටම කියෙව්ව නිසා බයිබලයේ තියෙන සත්‍ය ඉගැන්වීම් ගැන මම දැනගත්තා. උදාහරණයකට මම ඉගෙනගෙන තිබුණේ යේසුස් තමයි සැබෑ දෙවියන් කියලා. හැබැයි යේසුස් “ජීවමාන දෙවිගේ පුත්‍රයා” කියලා බයිබලයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා.—මතෙව් 16:15, 16.

සැබෑ වෙනසක්

මට ආයෙත් මගේ අක්කව මුණගැහුණම මම එයාගෙන් දෙවිගේ නම ගැන සඳහන් කරලා තිබුණු සඟරාවත් තවත් පොත් පත් කිහිපයකුත් ඉල්ලගත්තා. අක්කා ඒ ගැන පුදුම වුණා. මම අවුරුදු ගාණක් බයිබල් පාසැලෙන් ඉගෙනගත්තත් බයිබලයේ තියෙන සත්‍ය ඉගැන්වීම් ගැන මට දැනගන්න ලැබුණේ නැහැ. මම අන්ධ වෙලයි හිටියේ. බයිබලයේ තියෙන සත්‍ය ඉගැන්වීම් ගැන දැනගන්න ලැබුණ එක ගැන මට දැනෙන සතුට කියා නිම කරන්න බැහැ. “ඔබට සත්‍යය ගැන අවබෝධයක් ලැබෙයි. ඒ සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා” කියලා බයිබලයේ සඳහන් වෙලා තියෙන දේ හරියටම හරි. (යොහන් 8:32) බයිබලයේ තියෙන දේවල් දැනගත්තට පස්සේ මගේ ජීවිතය ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා.

බයිබල් ඉගැන්වීම් නිසා මගේ ජීවිතය වෙනස් වෙන්න පටන්ගත්තා

පල්ලියේ උගන්වන හුඟක් දේවල් බයිබලයට එකඟ නැහැ කියලා මම තේරුම්ගත්තා. ඒත් එක පාරටම පූජක තනතුරෙන් අයින් වෙන්න මට භය හිතුණා. එහෙම කළොත් මගේ ජීවිතේ ගැටගහගන්නේ කොහොමද කියලත් මම සාක්ෂිකරුවෙක් වුණොත් ඒක පල්ලියට කොහොම බලපායිද කියලත් මම කල්පනා කළා. ඒ නිසා මම දිගටම පූජක තනතුරේ හිටියා. හැබැයි බයිබලයට එකඟ නැති දේවල්වලට මම හවුල් වුණේ නැහැ.

මට ආයෙත් දවසක මගේ අක්කව මුණගැහුණම එයා කිව්වා සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට ඇවිත් බලන්න කියලා. ඉතින් දවසක් මම අපේ පල්ලියට යන ගමන් ඒ පළාතේ සාක්ෂිකරුවන් රැස්වීම් පවත්වන තැන තියෙන්නේ කොහෙද කියලා හොයලා බැලුවා. කොහොමහරි ඒ තැන හොයාගෙන මම ගියාම එහෙදී මට ආල්මා ප්‍රෙස්යෝසාව මුණගැහුණා. එහේ අය එයාට කතා කළේ ප්‍රෙෂස් කියලා. එයා යෙහෝවා දෙවිට පූර්ණකාලීනව සේවය කරන කෙනෙක්. එයා මගෙන් ඇහුවා බයිබලයේ තියෙන දේවල් ගැන පිළිවෙළකට ඉගෙනගන්න ආස නැද්ද කියලා. ඒ වෙනකොටත් මට සාක්ෂිකරුවන් ගැන සමහර සැකයන් තිබුණත් මම ඒකට කැමති වුණා.

පල්ලියෙන් මම ඉගෙනගෙන තිබුණු දේවල් වැරදියි කියලා ප්‍රෙෂස් මට බයිබලයෙන් පෙන්නනකොට මට හුඟක් කේන්ති ගියා. සමහර වෙලාවට මම එයත් එක්ක වාද කළා. හැබැයි බයිබලයේ තියෙන සත්‍ය ඉගැන්වීම් තේරුම්ගන්න අක්ක වගේම එයත් මට හුඟක් ඉවසීමෙන් උදව් කළා. ප්‍රෙෂස් වගේම අනික් සාක්ෂිකරුවනුත් මං ගැන දක්වපු අවංක සැලකිල්ල, නිහතමානීකම මගේ හිතට තදින්ම කාවැදුණා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න ඒ හැම දෙයක්ම මට උදව් වුණා.

මම 1995 ජූලි මාසෙදී තේරුම්ගත්තා දෙවිව සතුටු කරන්න නම් අනිවාර්යයෙන්ම පූජක තනතුරෙන් අයින් වෙන්න ඕනෙ කියලා. ඒ ගැන එළිදරව් 18:4 මෙහෙම සඳහන් වෙනවා. “මාගේ සෙනඟෙනි, ඇයව [එනම් දෙවි ගැන බොරු උගන්වන ආගම්] අත්හැර පිටතට එන්න. ඇගේ පාපවලට ඇය සමඟ හවුල් වන්නවත් ඇය මුහුණ දෙන පීඩාවලට හසු වන්නවත් ඔබ කැමති නැත්නම් ඇයව අත්හැර පිටතට එන්න.” දෙවිගේ කැමැත්තට මුල් තැන දෙන අයට හෙබ්‍රෙව් 13:5හි යෙහෝවා දෙවි මෙහෙම පොරොන්දු වෙලා තියෙනවා. “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි.”

පෙන්තකොස්ත සභාවට ගිය මගේ තාත්තාගෙත් අයියාගෙත් විරුද්ධකම් මැද මම යෙහෝවා දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන්න තීරණය කළා. ඒ නිසා මම බව්තීස්ම වෙන්න සති දෙකකට කලින් මගේ ගෙදර තිබුණු මම කලින් අදහපු ආගමට සම්බන්ධ හැම දෙයක්ම පුච්චලා දැම්මා. එතකොට මට තේරුණා ලෙඩ සුව කරන්න ලැබිලා තිබුණු බලය මගෙන් අයින් වුණා කියලා. ඒ බලය තිබුණු කාලෙදී නිදාගන්න ගියාම මට දැනුණා මොකක් හරි දෙයක් මාව තද කරනවා වගේ. කාමරේ ජනේලේ ළඟින් හෙවණැලිත් මම දැක්කා. හැබැයි දැන් නම් මට ඒ දේවල් දැනෙන්නේ නැහැ. මට ලොකු නිදහසක් දැනෙනවා. මම දැන් දන්නවා සුව කිරීම් ඇතුළු බලවත් ක්‍රියාවලට බලය දෙන්නේ භූතයන් කියලා. ඒ භූත බලපෑම්වලින් නිදහස් වෙන්න ලැබුණ එක ගැන මම අද හුඟක් සතුටු වෙනවා. අතීතයේදී භූතයෙක් වැහිලා හිටිය තරුණියගෙන් පාවුල් භූතයන්ව පලවා හැරියම ඒ තරුණියට මොන තරම් සහනයක් දැනෙන්න ඇද්ද කියලා මට හිතාගන්න පුළුවන්.—ක්‍රියා 16:16-18.

මමයි අම්මයි 1996 සැප්තැම්බර් මාසේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට බව්තීස්ම වුණා. එදා ඉඳන් එකදිගට මම අවුරුදු ගාණක් හුඟක් සතුටින් යෙහෝවා දෙවිට පූර්ණකාලීනව සේවය කළා.

දැන් මම විවාහකයි. මගේ මහත්තයාගේ නම සිල්වර්. අපි දෙන්නම එකතුවෙලා අපේ දුවට යෙහෝවා දෙවි කැමති විදිහට ජීවත් වෙන්න උගන්වනවා. මගේ අක්කලා දෙන්නෙකුත් නංගි කෙනෙකුත් දැන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. සැබෑ දෙවි කවුද කියලා දැන් මම දන්නවා. ඒ ගැන මට දැනෙන්නේ අපරිමිත සතුටක්.