ඔබ දැන සිටියාද?
පුරාණ කාලයේ ලිපි යැව්වේ කොහොමද?
රාජ්‍ය සේවය සඳහා ලිපි යැවීමේදී එවකට පැවති ආණ්ඩු ඒ සඳහා වෙනමම ක්‍රමයක් භාවිත කළා. පර්සියාවේ එය සිදු වූ ආකාරය බයිබලයේ සඳහන් මෙම සිද්ධියෙන් පැහැදිලි වෙනවා. “මොර්දෙකයි ඒ ලියවිලි අහෂ්වේරොෂ් රජුගේ නමින් ලියා රජුගේ මුද්දෙන් මුද්‍රා තබා රජුගේ සේවාවන් සඳහාම යොදාගත්, ඉතා වේගවත් අශ්වයන් පිට නැඟ යන පණිවිඩකරුවන් අතේ යැව්වේය.” (එස්තර් 8:10) රාජකාරී ලිපි සහ යුධ මෙහෙයන් ගැන සඳහන් ලිපි යැවීමට රෝම ආණ්ඩුව යොදාගත්තෙත් ඒ හා සමාන ක්‍රමයක්.
නමුත් පාවුල් ලියූ ලිපි හා සමාන පෞද්ගලික ලිපි යැවීමට එම ක්‍රමය යොදාගන්න අවසර තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් වෙනත් ක්‍රම යොදාගත්තා. පොහොසත් අය තම ලිපි සේවකයෙක් අත යැව්වා. කොහොමවුණත් බොහෝ අය ලිපි යැව්වේ පවුලේ කෙනෙක්, හිත මිතුරෙක් හෝ ලිපිය ලැබිය යුතු පළාතට යන කෙනෙකු අතයි. ඒ අය අතරට හමුදා නිලධාරීන් සහ වෙළෙඳුන් ඇතුළත් වුණා. ඔවුන් ඒ සඳහා මොන ක්‍රමය යොදාගත්තත් ලිපියට හානියක් නොකරන, විශ්වාසය තැබිය හැකි කෙනෙකුව තෝරාගැනීමට ඔවුන් වගබලා ගත්තා. පාවුල්ද තම ලිපි යැවීමට ඒ ක්‍රමය යොදාගෙන තිබෙනවා.—එෆීස 6:21, 22; කොලොස්සි 4:7.
පුරාණ කාලයේදී වෙළඳ කටයුතු සිදු වුණේ කොහොමද?
පුරාණයේ සිටි ජනයා තම ප්‍රධාන ජීවනෝපාය ලෙස කළේ ගොවිතැන, සත්ව පාලනය හා භාණ්ඩ හුවමාරු කිරීමයි. ඒ කාලයේදී වෙළඳ කටයුතු කිරීමට යම් නිශ්චිත ස්ථාන තිබුණා. බයිබලයේ සඳහන් “බැටළු දොරටුව,” “මත්ස්‍ය දොරටුව” හා “කුඹල් දොරටුව” ඒ අතරින් කිහිපයක්. (නෙහෙමියා 3:1, 3; යෙරෙමියා 19:2) එම දොරටු ඒ නම්වලින් හඳුන්වා තිබෙන්නේ එහි සිදු වූ වෙළඳ කටයුතු පදනම් කරගෙනයි කියා සිතිය හැකියි. යෙරුසලමේ තිබූ ‘රොටි සාදන්නන්ගේ වීථියක්’ ගැනත් එහි විකුණූ ඇතැම් භාණ්ඩ ගැනත් බයිබලයේ සඳහන් වෙනවා.—යෙරෙමියා 37:21.
ඒ කාලයේ භාණ්ඩවල මිල ගණන් ගැන එක් පොතක මෙසේ සඳහන් වුණා. “මිල ගණන් බොහෝ අවස්ථාවලදී ඉහළ පහළ යනවා. ඒ නිසා නිශ්චිත කාලයකදී යම් ස්ථානයක භාණ්ඩයක් විකුණූ නිශ්චිත මිලක් සොයාගැනීම අපහසුයි.” මිල ගණන් ක්‍රමයෙන් ඉහළ ගිය බව බයිබලය ඇතුළු වෙනත් පුරාණ ලියවිලිවලිනුත් සොයාගත හැකියි. උදාහරණයකට, දාසයෙක්ට ගෙවූ මිල ගැන සලකා බලන්න. යෝසෙප්ව දාසයෙකු ලෙස විකුණුවේ ෂෙකෙල් 20කට. ක්‍රිස්තු පූර්ව 1700 ගණන්වල දාසයෙකුට ගෙව්වේ ඒ හා සමාන මුදලක් කියා සිතිය හැකියි. (උත්පත්ති 37:28) ඉන් වසර 300කට පසුව එම මිල ෂෙකෙල් 30 දක්වා වැඩි වුණා. (නික්මයාම 21:32) ක්‍රි.පූ. 700 ගණන්වල එය ෂෙකෙල් 50 දක්වා ඉහළ ගියා. (2 රාජාවලිය 15:20) ක්‍රි.පූ. 500දී පමණ එනම්, පර්සියානු අධිරාජ්‍යය පැවති කාලයේදී එය ෂෙකෙල් 90ක් හෝ ඊටත් වඩා වැඩි වුණා. ඒ අනුව භාණ්ඩවල මිල ඉහළ යෑම පුරාණයේ සිට සිදු වූ දෙයක් බව පැහැදිලියි.