දෙවිට ළං වෙන්න
“මා යෙහෝවා දෙවි බව පිළිගන්න සියලු ජාතීන්ට සිදු වනු ඇත”
නොකළ වරදකට ඔබ වරදකරු කියාත් ඒ වරද නිසා බොහෝ අහිංසක මිනිසුන් දුක් විඳිනවා කියාත් කවුරුන් හෝ ඔබට චෝදනා කළොත් ඔබට ඒ ගැන කොහොම හැඟෙයිද? ඒ චෝදනාව බොරුයි කියා ඔප්පු කිරීමට ඔබට හැකි සියල්ල ඔබ කරන බවට කිසිම සැකයක් නැහැ. අද බොහෝදෙනෙක් යෙහෝවා දෙවිටත් එවැනි බොරු චෝදනා නඟා තිබෙනවා. එම චෝදනා බොරු කියා ඔප්පු කිරීමට යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම පියවර ගන්නවා. ඒ ගැන ඔහුම පවසා තිබෙන දේ අපි එසකියෙල් පොතෙන් බලමු.—එසකියෙල් 39:7 කියවන්න.
අද සිදු වන දුෂ්ටකම්වලට වග කිව යුත්තේ දෙවි කියා මිනිසුන් පවසන විට ඔවුන් ඇත්තෙන්ම කරන්නේ දෙවිගේ නාමයට අගෞරවයක්. (ගීතාවලිය 74:10) නමුත් යෙහෝවා දෙවි මෙසේ පවසා තිබෙනවා. “මාගේ ශුද්ධ නාමය තවදුරටත් නින්දාවට ලක් වෙන්න මම ඉඩ දෙන්නේ නැත.” දෙවිගේ නාමය ගැන එක් පොතක මෙසේ සඳහන් වුණා. “දෙවිගේ නාමය අපට ඇසෙන විට ඔහු කවුද කියා එනම්, ඔහුට ලැබිය යුතු ගෞරවය, ඔහුගේ කීර්ති නාමය, ඔහු කැමති අකමැති දේවල් අපගේ මනසට එනවා.” අයුක්තියත් යෙහෝවා දෙවි අකමැතිම දෙයක්. ඔහු එය හෙළා දකිනවා. ඒ විතරක් නොවෙයි අයුක්තිය නිසා දුක් විඳින අයට ඔහු අනුකම්පා කරනවා. *—නික්මයාම 22:22-24.
එසකියෙල් 39:7වෙනි පදයේ යෙහෝවා දෙවි “මාගේ ශුද්ධ නාමය” කියා දෙවතාවක් සඳහන් කර තිබෙනවා. බයිබලයේ තවත් බොහෝ තැන්වල දෙවිගේ නාමය සමඟ “ශුද්ධ” යන වචනය භාවිත කර තිබෙනවා. “ශුද්ධ” යන වචනයෙන් අදහස් වන්නේ වෙන කිසිම දේකට වඩා උසස් තත්වයක්. පිරිසිදු හා නිකැළැල් යන අදහසත් එහි තිබෙනවා. ඒ අනුව දෙවි ශුද්ධ කෙනෙක් කියා පවසන විට ඔහු තුළ කිසිම අපවිත්‍රකමක් නැති බවත් ඔහු අතින් කිසිදු වරදක් සිදු නොවන බවත් පැහැදිලියි. එවැනි දෙවි කෙනෙක් දුෂ්ටකම්වලට වග කිව යුතුයි කියා චෝදනා කිරීම මොන තරම් අසාධාරණද!
යෙහෝවා දෙවි ඔහුගේ රාජ්‍යය තුළින් තම නාමයට සිදු වී තිබෙන නින්දාව ඉවත් කිරීමට පියවර ගන්නවා. “මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඒ ජාතීන්ට සිදු වනු ඇත” කියා කිහිප වතාවක්ම එසකියෙල් පොතේ සඳහන් වී ඇති දෙයින් එය පැහැදිලියි. (එසකියෙල් 36:23; 37:28; 38:23; 39:7) ජාතීන් කැමැත්තෙන්ම යෙහෝවා දෙවිව පිළිගන්න බවක් එහි සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට එසේ කිරීමට සිදු වෙනවා. ඉන් අදහස් කරන්නේ දුෂ්ටකම්වලට වග කිව යුත්තේ යෙහෝවා දෙවි නොවන බව ඔවුන්ට පිළිගැනීමට සිදු වන බවයි.
යෙහෝවා දෙවි ළඟදීම ඔහුගේ නාමයට සිදු වී තිබෙන කැළැල ඉවත් කිරීමෙන් පසු කිසිම අයුක්තියක් සිදු වීමට ඔහු ඉඩ තබන්නේ නැහැ. සියලුම දුෂ්ටකම්වලට ඔහු නිමාවක් ගෙනෙනවා. අයුක්තිය නිසා දුක් විඳින මිනිසුන්ට එය මොන තරම් සතුටුදායක පණිවිඩයක්ද! යෙහෝවා දෙවිව නමින් දැන හඳුනාගෙන ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන මිනිසුන්ට යෙහෝවා දෙවි ඒ කාලයේදී බොහෝ සේ ආශීර්වාද කරනවා. (හිතෝපදේශ 18:10) ‘යුක්තියට ප්‍රිය කරන’ ශුද්ධ දෙවි කෙනෙක් වන යෙහෝවා දෙවි ගැන තවත් ඉගෙනගෙන ඔහුට ළං වෙන්න ඔබ කැමති නැද්ද?—ගීතාවලිය 37:9-11, 28.
සැප්තැම්බර් මාසයට නියමිත බයිබල් කියවීම:
එසකියෙල් 39-48 සිට දානියෙල් 1-3 දක්වා
^ 2 ඡේ. වර්ෂ 2008 නොවැම්බර් 1 මුරටැඹ කලාපයේ “දෙවිට ළං වෙන්න—යුක්තිසහගත දෙවි කෙනෙක්” යන ලිපිය බලන්න.