අත යට ගනු දෙනු හැම තැනම
“අපේ ආයතනය රජයේ ආයතනයකින් කොන්ත්රාත් ගන්නවා. හැබැයි සල්ලි හම්බ වෙන්න මාස දෙක තුනක්වත් යනවා. මේ ළඟදී රජයේ නිලධාරියෙක් මට කෝල් කරලා කිව්වා කීයක් හරි දුන්නොත් අපේ මුදල් ඉක්මනට ලැබෙන්න සලස්වන්නං කියලා.”—ජෝන්. *
යම් කාර්යයක් කරගැනීමට ගිය අවස්ථාවකදී ඔබෙනුත් කවුරුන් හෝ අල්ලසක් ඉල්ලා තිබෙනවාද? සමහරවිට ඉහත සඳහන් කළ ආකාරයෙන්ම නොවුණත් වෙනත් ආකාරයේ දූෂිත ක්රියාවක් නිසා ඔබත් පීඩා විඳ ඇති.
අල්ලස් හා දූෂණය ගැන සොයා බලන එක් ආයතනයක් 2009 වසරේදී කළ සමීක්ෂණයකින් හෙළි වුණේ “අල්ලස් හා දූෂණය සිදු නොවන රටක් නැති තරම්” කියායි. * එම ආයතනයම 2011දී රටවල් 183ක් යොදාගෙන කළ සමීක්ෂණයකින් එය තවත් තහවුරු වුණා. ඉන් හෙළි වුණේ එම රටවල් අතරින් වැඩි ප්රමාණයක අල්ලස් හා දූෂණය බහුල බවයි.—එම ආයතනය, Transparency International.
“දූෂණය යනු වග කිව යුතු නිලධාරීන් ඔවුන් සතු බලතල තමන්ගේ පෞද්ගලික වාසි තකා නීති විරෝධී අන්දමින් යොදාගැනීමයි. එහි ප්රතිඵලයක් ලෙස ඔවුන්ගෙන් සේවය ලබන අය බොහෝ දුක් පීඩා විඳිනවා.”—TRANSPARENCY INTERNATIONAL
එවැනි අත යට ගනු දෙනු නිසා සමහර අවස්ථාවලදී ඉතා භයානක ප්රතිඵල අත් වෙනවා. උදාහරණයකට එක් සඟරාවක සඳහන් වුණේ 2010දී හයිටි දූපතේ සිදු වූ භූමිකම්පාවෙන් මිය ගිය ජීවිතවලට “අල්ලස් හා දූෂණයත් නොසැලකිල්ලත් හේතු වුණා” කියායි.
“ගොඩනැඟිලි ඉදි කිරීමේදී වග කිව යුතු රජයේ නිලධාරීන් තමන්ගේ මඩිය තර කරගැනීමේ අරමුණින් නියම ප්රමිතියට අනුව ඒවා ඉදි කර නැහැ” කියාත් එහි සඳහන් වුණා.—Time.අද ලොව පුරා සිදු වන අල්ලස් හා දූෂණයට නිමාවක් ලැබෙයි කියා බලාපොරොත්තු වෙන්න බැරිද? ඊට පිළිතුර දැනගැනීමට කලින් අල්ලස් හා දූෂණය බහුල ලෙස සිදු වීමට හේතු තුනක් ගැන අපි බලමු.