Skip to content

පටුනට යන්න

අන් අයට උදව් කරන්න

අන් අයට උදව් කරන්න

“කරුණාවන්ත තැනැත්තාට ආශීර්වාද කරනු ලැබේ. මන්ද ඔහු තම කෑම පංගුවෙන් දුප්පතාට කන්න දී ඇත.”—හිතෝපදේශ 22:9.

නත්තල සමරන්නේ . . .

දුප්පත්, අසරණ අයට යේසුස් උදව් උපකාර කළා. අසනීපෙන් හිටපු අය ගැනත් සැලකිලිමත් වුණා. යේසුස් වගේ අනිත් අයට උපකාර කරන්න සමහරු කැමතියි. එයාලා හිතන්නේ ඒක කරන්න හොඳම කාලේ නත්තල් කාලේ කියලයි. මොකද ඒ කාලේ තමයි සමහර සමාජ සේවා ආයතන දුප්පත් අය වෙනුවෙන් ආධාර එකතු කරන්න ගොඩක් මහන්සි වෙන්නේ.

ඇත්තටම වෙලා තියෙන්නේ . . .

නත්තල් කාලේ ආවාම හුඟක් අය සාප්පු සවාරි යනවා. නිවාඩු කාලේ නිසා විනෝද වෙන්න එහෙ මෙහෙ යනවා. නෑදෑ හිතමිතුරන්ව බලන්න යනවා. මේ දේවලට කාලය, මුදල් යෙදෙව්වට පස්සේ දුප්පත් අසරණ අය වෙනුවෙන් වැඩි දෙයක් කරන්න හුඟදෙනෙක්ට පුළුවන්කමක් නැහැ. ආධාරයක් දෙන එක විතරයි කරන්න පුළුවන්.

බයිබලයේ තියෙන්නේ . . .

“අගහිඟකම් තිබෙන අයට යහපතක් කිරීමට ඔබට හැකියාව තිබියදී එසේ කිරීමට පසුබට නොවන්න.” (හිතෝපදේශ 3:27) දුප්පත් අසරණ අය අමාරුකම්වලට මුහුණ දෙන්නේ නත්තල් කාලෙට විතරක් නෙමෙයි. කාට හරි උපකාර අවශ්‍යයි කියලා ඔයාට තේරෙනවා නම් ඒක කරන්න ඔයාට ‘හැකියාව තියෙනවා නම්’ නත්තල එනකම් බලන් ඉන්න එපා. ඔයාගේ යහපත් ක්‍රියාවට දෙවියන් ඔයාට ආශීර්වාද කරයි.

“සෑම සතියකම පළමුවෙනි දින ඔබ ළඟ තිබෙන දේවලට අනුව තම තමන්ගේ නිවෙස්වලදී යමක් වෙන් කර තැබීමට ඔබට පුළුවන.” (1 කොරින්ති 16:2) අතීතයේ හිටපු ක්‍රිස්තියානීන් බයිබලයේ තියෙන ඒ උපදෙස පිළිපැද්දා. උපකාර අවශ්‍ය කෙනෙක්ට දෙන්න නිතිපතා කීයක් හරි වෙන් කරන්න ඔයාට පුළුවන්ද? නැත්නම් ඒ වගේ අයට උදව් කරන සංවිධානයකට දෙන්න ඔයාට ලැබෙන සල්ලිවලින් කීයක් හරි වෙන් කරන්න පුළුවන්ද? එහෙම කරද්දී උපකාර අවශ්‍ය අයට පුළුවන් විදිහට උදව් කරන්න ඔයා කැමතියි කියන එක පැහැදිලියි.

“යහපත් දේවල් කිරීමටත් අනුන් සමඟ ඔබ සතු දේවල් බෙදා හදා ගැනීමටත් අමතක නොකරන්න. මන්ද එවැනි පරිත්‍යාග ගැන දෙවි සතුටු වෙයි.” (හෙබ්‍රෙව් 13:16) තමන් ළඟ තියෙන දේවල් ‘අනිත් අය එක්ක බෙදා හදා ගන්න එක’ වගේම අසරණ අය වෙනුවෙන් ‘යහපත් දේවල් කරන එකත්’ හරිම වැදගත් කියලා ඒකෙන් පැහැදිලියි. සමහර දෙමාපියන් ඒ උපදෙස අදාළ කරගෙන මහලු අයට උදව් කරන්න දරුවන්ව පුංචි කාලේ ඉඳලා පුහුණු කරනවා. අසනීපෙන් ඉන්න අයට පොඩි කාඩ් එකක් යවන්න, එයාලව ගිහින් බලන්න, ටෙලිෆෝන් කෝල් එකක් දීලා එයාලා එක්ක කතා කරන්න දරුවන්ව පුරුදු කරනවා. ඒ වගේම දුප්පත් ළමයින්ට, ආබාධිත ළමයින්ට ආදරෙන් සලකන්නත් කියලා දෙනවා. පුංචි කාලෙම ඒ වගේ හොඳ දේවල් පුරුදු වෙන ළමයි එක විශේෂ දවසක විතරක් නෙවෙයි නිතරම අන් අයට උදව් කරන්න පෙලඹෙනවා.

සමහර දෙමාපියන් මහලු අයට, අසනීප අයට, ආබාධිත ළමයින්ට ආදරෙන් සලකන්න එයාලගේ දරුවන්ව පොඩි කාලේ ඉඳලා පුහුණු කරනවා. ඒ නිසා ඒ දරුවෝ නිතරම අන් අයට උදව් කරන්න පෙලඹෙනවා