Skip to content

පටුනට යන්න

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්

‘ඔහු මිය ගියත් ඔහුගේ විශ්වාසය තවමත් කතා කරයි’

‘ඔහු මිය ගියත් ඔහුගේ විශ්වාසය තවමත් කතා කරයි’

තණනිල්ලේ තණ කමින් නිදැල්ලේ සිටින බැටළුවන් දෙස ආබෙල් බලා සිටියි. ඔහුගේ නෙත් උන් සිටින මායිමට ඔබ්බෙන් තිබෙන දිදුලන යමක් වෙත දිව යයි. එය වෙන කිසිවක් නොව ඒදන් උයනට ඇතුල් වීම වැළැක්වීම සඳහා දැවෙමින් නොනැවතී කරකැවෙන කඩුවයි. කලකට පෙර තම දෙමාපියන්ගේ නිවහන වූ එම ස්ථානයට කිසිවෙකුටවත් දැන් ඇතුල් විය නොහැකි බව ඔහු දන්නවා. ඒ අතීතය සිහිපත් කරමින් මිනිසුන් හා දෙවි අතර පවතින බිඳුණු බැඳීම යළි පිළිසකර කළ හැකි වේදෝ යන සිතුවිල්ල සිතේ දරා ඔහු අහස් කුස දෙස බලයි. ඔහුගේ එකම ආශාවත් ඒ බැඳීම යළි ඇති කරගැනීමයි.

ආබෙල් ගැන පාවුල් දෙවිගේ මඟ පෙන්වීමෙන් මෙවැනි දෙයක් පැවසුවා. “ඔහු මිය ගියත් ඔහු තුළ තිබූ විශ්වාසය ඔහු වෙනුවෙන් තවමත් කතා කරයි.” (හෙබ්‍රෙව් 11:4) නමුත් එවැනි දෙයක් විය හැක්කේ කෙසේද? ආබෙල් මිය ගිහින් දැනට අවුරුදු 6,000ක් පමණ ගත වී තිබෙනවා. බයිබලයේ කියන්නෙත් “මිය ගිය අය කිසිවක් දන්නේ නැත” කියායි. (දේශනාකාරයා 9:5, 10) අනික් අතට ආබෙල් කියූ එක දෙයක්වත් බයිබලයේ වාර්තා වී නැහැ. එසේනම් ඔහුගේ විශ්වාසය තවමත් කතා කරනවා කියා පාවුල් පැවසූ දෙයෙහි අර්ථය කුමක්ද?

දෙවි කෙරෙහි මහත් විශ්වාසයක් ඇතුව සිටි පළමු මිනිසා වූයේ ආබෙල්. ඔහු තුළ කොතරම් ශක්තිමත් විශ්වාසයක් තිබුණාද කියනවා නම් අදටත් ඔහුගේ ආදර්ශයෙන් ඉගෙනගන්න පුළුවන් දේ බොහෝයි. ඒ අර්ථයෙන් බලන විට ඔහුගේ විශ්වාසය තවමත් ජීවමානයි. ආබෙල්ව ආදර්ශයට ගනිමින් ඔහුට තිබුණා හා සමාන විශ්වාසයක් ඇති කරගන්න අපිත් උත්සාහ කරනවා නම් ආබෙල්ගේ විශ්වාසය අපටත් කතා කරනවා කියා පැවසිය හැකියි.

ආබෙල් ගැන බයිබලයේ සඳහන් තොරතුරු ස්වල්පයෙන් අපට ඔහුගේ විශ්වාසය ගැන ඉගෙනගත හැක්කේ කුමක්ද කියා අපි දැන් බලමු.

මිනිසුන් අතළොස්සක් අතරේ හැදී වැඩෙමින්

ආබෙල් මිහි මත ජීවත් වූ හතරවෙනි මිනිසා වුණත් පව්කාර ස්වභාවයෙන් ගලවාගැනීමට දෙවියන් සුදුසුයි කියා සැලකූ පළමු මිනිසා ඔහු විය යුතුයි. එය යේසුස් කිවූ දෙයකින් පැහැදිලි වෙනවා. (ලූක් 11:50, 51) * ඔහු හැදී වැඩුණේ දෙවිට විශ්වාසවන්තව ජීවත් වූ අය අතර නොවෙයි.

ඒ වන විට ආදම් හා ඒවගේ ප්‍රීතිමත් ජීවිතය කඳුළු කතාවකට පෙරළී වැඩි කලක් ගත වී තිබුණේ නැහැ. මතු පරම්පරාව ගැනවත් නොසිතා ඔවුන් තම ආශාවන්ට මුල් තැන දී ක්‍රියා කළ නිසා පරිපූර්ණ ජීවිතයත් සදහටම ජීවත් වීමට තිබූ ප්‍රස්තාවත් ඔවුන් අහිමි කරගෙන තිබුණා. ඔවුන්ගේ නිවහන වූ ඒදන් උයනෙන් ඔවුන්ව පිටමං කළේ එලෙස ඔවුන් දෙවිට අකීකරු වූ නිසයි.—උත්පත්ති 2:15–3:24.

සුන්දර පරිසරයක ජීවත් වූ ආදම් සහ ඒවට ඒදන් උයනෙන් පිටතදී ගත කිරීමට සිදු වුණේ හරිම කටුක ජීවිතයක්. ඔවුන්ගේ පළමු දරුවා වූ කායින් ඉපදුණේ ඒ අවධියේදියි. ඔහු ඉපදුණු අවස්ථාවේ ඒව පැවසුවේ “යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව මම පිරිමි දරුවෙක්ව බිහි කළා” කියායි. සමහරවිට ඇය එවැනි දෙයක් පවසන්න ඇත්තේ ඒදන් උයනේදී ඔවුන්ව නොමඟ යැවූ දුෂ්ටයාව විනාශ කිරීමට ස්ත්‍රියගෙන් ‘පැවත එන විශේෂ තැනැත්තෙක්ව’ එවන බවට දෙවි දුන් පොරොන්දුව ඇගේ මතකයේ තිබූ නිසා විය හැකියි. (උත්පත්ති 3:15; 4:1) දෙවි පැවසූ ස්ත්‍රිය තමා බවත් පැවත එන විශේෂ තැනැත්තා තම පුත් කායින් බවත් ඒව සිතන්න ඇද්ද?

ඇය එසේ සිතුවා නම් එය මොන තරම් ලොකු වැරදීමක්ද! ආදම් සහ ඒව එසේ සිතමින් කායින්ගේ ඔළුවටත් එවැනි අදහස් ඇතුළත් කළා නම් කායින් තමා ගැනම මහ ඉහළින් හිතන්න පටන්ගන්න ඇති. කොහොමවුණත් ඒව ආබෙල්ව බිහි කළ අවස්ථාවේ ඔහු ගැන මහ ඉහළින් කිසිවක් පැවසුවේ නැහැ. සමහරවිට ආබෙල් යන නමේ අර්ථය “නිෂ්ඵලයි” හෝ “සුසුමක් හෙළුවා” යන්න විය හැකියි. (උත්පත්ති 4:2) එවැනි අර්ථයක් ඇති නමක් දැම්මේ කායින් ගැන තිබුණා හා සමාන බලාපොරොත්තුවක් මේ දරුවා ගැන ඔවුන්ට තිබුණේ නැති නිසාද කියා අපි දන්නේ නැහැ.

අද ඉන්න දෙමාපියන්ට ආදම් සහ ඒව ක්‍රියා කළ ආකාරයෙන් ඉගෙනගත හැකි පාඩම කුමක්ද? දෙමාපියෙනි, ඔබ කරන කියන සමහර දේවල් නිසා දරුවන් තමන් ගැන මහ ඉහළින් හිතන්න හෝ තමන් ගැන විතරක් හිතන්න පෙලඹෙන්න පුළුවන් බව මතක තබාගන්න. ඇත්තටම ඔබ කළ යුත්තේ දරුවන්ට දෙවි ගැන කියා දී දෙවි ගැන ආදරයක් ඇති කරගන්න ඔවුන්ට උදව් කිරීමයි. ආදම් සහ ඒව එසේ කළා කියා සිතිය නොහැකියි. එසේනම් ආබෙල්ට දෙවි ගැන ආදරයක් හා විශ්වාසයක් ඇති වුණේ කෙසේද?

ආබෙල්ගේ නොසැලෙන විශ්වාසයට හේතු

කායින් හා ආබෙල් ලොකු මහත් වෙන විට පවුලේ වගකීම් කරට ගෙන වැඩ කරන්න ආදම් ඔවුන්ව පුහුණු කරන්න ඇති. කල් යත්ම කායින් වගා කරන්නත් ආබෙල් බැටළුවන් ඇති කරන්නත් පටන්ගත්තා.

කොහොමවුණත් එක් සුවිශේෂී ආකාරයකින් ආබෙල් කැපී පෙනුණා. ඒ දෙවි ගැන ඔහුට තිබූ නොසැලෙන විශ්වාසය නිසයි. ආබෙල්ට ආදර්ශයට ගන්න පුළුවන් කිසිම හොඳ මිනිසෙක් ඒ වන විට සිටියේ නැහැ. එසේනම් දෙවි කෙරෙහි එතරම් ශක්තිමත් විශ්වාසයක් ඇති කරගැනීමට ආබෙල්ට හැකි වුණේ කෙසේද? ඔහුට උදව් වුණු දේවල් තුනක් දැන් අපි සලකා බලමු.

යෙහෝවා දෙවිගේ නිර්මාණ.

යෙහෝවා දෙවි භූමියට ශාප කර තිබූ නිසා භූමියේ වැඩිපුරම වැවුණේ කටු හා වල් පැළෑටියි. එසේවුවත් ආබෙල්ගේ පවුලේ අයට ඇති තරම් ආහාර භූමියෙන් ලැබුණා. යෙහෝවා දෙවි භූමියට කළ ශාපය සතුන්ටවත් ඇළදොළ ගංගාවලටවත් මුහුදුවලටවත් ඉර හඳ තාරකාවලටවත් බලපෑවේ නැහැ. ඒ නිසා ආබෙල්ට බලන බලන සෑම තැනකම දකින්න ලැබුණේ යෙහෝවා දෙවිගේ පුදුමාකාර නිර්මාණයි. දෙවි කෙතරම් ප්‍රේමණීය, ප්‍රඥාවන්ත, යහපත් දෙවි කෙනෙක්ද කියා එම නිර්මාණ දෙස බැලීමෙන් ඔහු තේරුම්ගන්න ඇති. (රෝම 1:20) එලෙස දෙවිගේ නිර්මාණ ගැන හිතන්න කාලය ගැනීමෙන් දෙවි කෙරෙහි තිබූ ඔහුගේ විශ්වාසය තවත් ශක්තිමත් වූ බවට සැකයක් නැහැ.

ඒ විතරක් නෙවෙයි එඬේරෙක් ලෙස ආබෙල් ලැබූ අද්දැකීම්ද දෙවි කෙරෙහි විශ්වාසය ශක්තිමත් කරගැනීමට ඉවහල් වෙන්න ඇති. තම රැකවරණයේ සිටි බැටළුවන්ව සරුසාර තණබිම්වලට හා සිසිල් දිය ගලා බසින නිසංසල තැන්වලට ගෙන යන්න ආබෙල්ට සිදු වුණා. බැටළුවන් සමඟ එලෙස කාලය ගත කරන විට ආබෙල් තේරුම්ගන්න ඇති දෙවි නිර්මාණය කළ සතුන් අතරින් බැටළුවන් කොතරම් අහිංසක සතුන්ද කියා. උන්ට මිනිසුන්ගේ රැකවරණය, උපකාරය නොමැතිව කිසිවක් කරකියාගත නොහැකි බවත් එවිට ඔහුට අවබෝධ වෙන්න ඇති. ඒ හා සමානව තමාටත් මිනිසුන්ට වඩා බලවත්, ප්‍රඥාවන්ත කෙනෙකුගේ මඟ පෙන්වීම් හා රැකවරණය අවශ්‍යයි කියා ඔහුට වැටහුණා විය හැකියි. ඔහුට එසේ වැටහුණා නම් ඔහු ඒ ගැන යාච්ඤාවෙන් දෙවිට පැවසීමෙන් ඔහුගේ විශ්වාසය තවත් ශක්තිමත් වෙන්න ඇති.

දෙවිගේ නිර්මාණ ගැන කල්පනා කිරීමෙන් ආබෙල්ට දෙවි කෙරෙහි විශ්වාසයක් ඇති වුණා

දෙවි පැවසූ දේවල ඉටු වීම.

ඒදන් උයනෙන් දෙවි තමන්ව පිටමං කිරීමට හේතු වූ සිදුවීම් ගැන ආදම් හා ඒව තම පුතුන්ට කියන්න ඇති. ඒ දේවල් ගැන කල්පනා කරන විට දෙවි කිවූ දේවල් ඉටු වී තිබෙන බව ආබෙල්ට වැටහෙන්න ඇති.

ආදම් හා ඒව යෙහෝවා දෙවිට අකීකරු වූ අවස්ථාවේ දෙවි ඒවට පැවසුවේ ඇය දරුවන් බිහි කරන විට මහත් වේදනාවක් විඳින බවයි. ඒව වේදනා විඳිමින් අනික් දරුවන්ව බිහි කළ විට දෙවි පැවසූ ඒ වදන් ඉටු වූ බව ආබෙල් දැක්කා. ඒවට තම ස්වාමිපුරුෂයා කෙරෙහි අධික ඇල්මක් ඇති වන බවත් ඔහු ඇයව පාලනය කරන බවත් දෙවි පැවසුවා. ආදම් හා ඒවගේ පවුල් ජීවිතය තුළ ඒ දේත් සිදු වෙනවා ආබෙල් දැක්කා. ආදම් හා ඒවගේ අකීකරුකම නිසා භූමිය ශාප ලත් තත්වයකට පත් වෙනවා කියා දෙවි පැවසුවා. එම වදන්වල ඉටු වීමත් ආබෙල්ගේ ඇස් පනා පිට දකින්න තිබුණා. ඒ සෑම දෙයකින්ම ආබෙල්ට පැහැදිලි වුණේ දෙවි යමක් පැවසුවොත් ඔහු එය අනිවාර්යයෙන්ම ඉටු කරන බවයි. ඒ නිසා දෙවි පොරොන්දු වූ ලෙස පැවත එන විශේෂ තැනැත්තෙක් මාර්ගයෙන්, ආදම් හා ඒව අහිමි කරගත් දේ නැවත ලබා දීමට පියවර ගනියි කියා විශ්වාස කිරීමට ඔහුට ඇති තරම් හේතු තිබුණා.—උත්පත්ති 3:15-19.

දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්.

ආබෙල් ජීවත් වූ කාලයේ කිසිම මිනිසෙක් දෙවිට විශ්වාසවන්තව නොසිටියත් දෙවිට විශ්වාසවන්තව සිටි වෙනත් පිරිසක් පොළොවේ සිටියා. ඒ දේවදූතයන්. ආදම් හා ඒවව ඒදන් උයනෙන් පිටමං කළ අවස්ථාවේ නැවත කිසිවෙකුට උයනට ඇතුල් වීමට නොහැකි වන ලෙස දැවෙමින් නොනැවතී කරකැවෙන කඩුවක්ද ඒ අසල උසස් දේවදූත කණ්ඩායමකට අයත් කෙරුබ්වරුන්වද දෙවි තැබුවා.—උත්පත්ති 3:24.

කොලු ගැටයෙක්ව සිටි ආබෙල් කෙරුබ්වරුන්ව දකිද්දී ඔහුට මොන වගේ හැඟීමක් ඇති වෙන්න ඇද්ද? මිනිස් වෙස් ගෙන සිටි එම දේවදූතයන්ට බලසම්පන්න පෙනුමක් තිබුණා. දේවදූතයන්ව හා ඔවුන් අසල තිබූ දැවෙමින් නොනැවතී කරකැවෙන කඩුව දකින වාරයක් වාරයක් පාසා ආබෙල්ට දෙවි ගැන මහත් ගරුබියක් ඇති වූ බවට සැකයක් නැහැ. ඒ දේවදූතයන්ට අවශ්‍ය නම් දෙවි ඔවුන්ව තැබූ ස්ථානය අත්හැර ගොස් කැමති දෙයක් කරන්න හැකිකම තිබුණා. නමුත් ඔවුන් කිසිම අවස්ථාවක එසේ කළේ නැහැ. ආබෙල් වයසින් මුහුකුරා ගියත් ඔහු කුඩා කල දුටු මේ දේවදූතයන් ඒ ස්ථානයේම සිටිමින් ඔවුන්ට පැවරූ කාර්යය විශ්වාසවන්තව ඉටු කරන ආකාරය දුටුවා. දශක ගණනාවක් පුරා දිවා රෑ දෙකේම දෙවිට විශ්වාසවන්තව සේවය කළ ඒ දේවදූතයන්ගේ ආදර්ශය නිසා ආබෙල්ගේ විශ්වාසය කොතරම් ශක්තිමත් වෙන්න ඇද්ද!

කෙරුබ්වරුන් විශ්වාසවන්තව දෙවි භාර දුන් පැවරුම ඉටු කරන ආකාරය ආබෙල් තම ජීවිත කාලය පුරාම දැක්කා

ආබෙල්ගේ පවුලේ කිසිම කෙනෙක් දෙවිට විශ්වාසවන්තව නොසිටියත් දෙවිගේ නිර්මාණ, දෙවි පැවසූ දේවල ඉටු වීම හා විශ්වාසවන්ත දේවදූතයන්ගේ ආදර්ශය ගැන කල්පනා කර බැලීමෙන් ආබෙල්ට දෙවි කෙරෙහි තිබූ විශ්වාසය ශක්තිමත් කරගැනීමට හැකි වුණා. ඔහු අපට තැබුවේ මොන තරම් කදිම ආදර්ශයක්ද! යෞවනයෙනි, ඔබේ දෙමාපියන් දෙවිට විශ්වාසවන්තව නොසිටියත් දෙවිට විශ්වාසවන්තව සිටින්න ඔබට පුළුවන්. ආබෙල් මෙන් දෙවිගේ නිර්මාණ ගැන කල්පනා කිරීමෙන්, දෙවිගේ වදන් ඉටු වී තිබෙන අයුරු බයිබලයෙන් දැනගැනීමෙන් හා විශ්වාසවන්ත අයව ආදර්ශයට ගැනීමෙන් එය කළ හැකියි.

දෙවි ආබෙල්ගේ යාගය ගැන සතුටු වුණා

යෙහෝවා දෙවි ගැන ආබෙල්ට තිබූ විශ්වාසය ටිකෙන් ටික ශක්තිමත් වෙද්දී දෙවි වෙනුවෙන් යමක් දෙන්න ඔහුට මහත් ආශාවක් ඇති වුණා. නමුත් මුළු විශ්වයම නිර්මාණය කළ දෙවිට දිය හැක්කේ කුමක්ද? දෙවිට මිනිසුන්ගේ තෑගිබෝග, උදව් උපකාර අවශ්‍ය නැහැ. ඒ වුණත් තමාට දිය හැකි වටිනාම දේ සිතේ මුළු කැමැත්තෙන් දෙනවා නම් දෙවි ඒ ගැන සතුටු වන බව ආබෙල් තේරුම්ගත්තා.

ඒ නිසා ආබෙල් තම රැළේ සිටි බැටළුවන්ව දෙවිට යාගයක් ලෙස ඔප්පු කිරීමට සූදානම් වුණා. ඔහු රැළේ සිටි හොඳම, කුලුඳුල් සතුන් කීපදෙනෙකුව තෝරාගෙන උන්ගේ හොඳම කොටස් කියා ඔහු සිතූ කොටස් දෙවිට පූජා කළා. මේ අතර ඔහුගේ සහෝදරයා වූ කායින්ද ඔහුගේ අස්වැන්නෙන් කොටසක් දෙවිට යාගයක් ලෙස ඔප්පු කළා.

ආබෙල් තම යාගය ඔප්පු කළේ දෙවි කෙරෙහි වූ විශ්වාසය නිසයි. කායින්ට එවැනි විශ්වාසයක් තිබුණේ නැහැ

ඔවුන් දෙදෙනාම යාග ඔප්පු කිරීම සඳහා පූජාසන සාදන්න ඇති. ඉන්පසු ඔවුන් එම යාග ගින්නෙන් දවා දෙවිට ඔප්පු කළා විය යුතුයි. සමහරවිට ඔවුන් එම යාග ඔප්පු කරන්න ඇත්තේ කෙරුබ්වරුන්ව පේන තෙක් මානයේ සිට විය හැකියි. මන්ද ඒ වන විට යෙහෝවා දෙවිව නියෝජනය කිරීමට මේ පොළොවේ සිටියේ කෙරුබ්වරුන් පමණයි. යාග ඔප්පු කරද්දී සිදු වූ දේ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘යෙහෝවා දෙවි ආබෙල් හා ඔහුගේ යාගය දෙස සතුටින් බැලුවා.’ (උත්පත්ති 4:4) දෙවි ආබෙල්ගේ යාගය ගැන සිය සතුට ප්‍රකාශ කළේ කෙසේද කියා බයිබලයේ වාර්තා වී නැහැ. කොහොමවුණත් දෙවි ආබෙල්ගේ යාගය ගැන සතුටු වුණේ ඇයි?

දෙවි ඒ ගැන සතුටු වුණේ ආබෙල් ඔප්පු කළ දේ නිසාද? සතෙකුව පූජාවක් ලෙස ඔප්පු කිරීමේදී ඒ සතාගේ ජීවිතය නියෝජනය කරන රුධිරය වගුරුවන්න සිදු වෙන නිසා දෙවි එය වටිනා දෙයක් ලෙස සලකයි කියා සමහරවිට ආබෙල් සිතන්න ඇති. කොහොමවුණත් නිකැළැල් බැටළු පැටවුන්ව පූජාවන් ලෙස ඔප්පු කිරීම මගින් “දෙවිගේ බැටළු පැටවා” ලෙස හඳුන්වන ගැලවුම්කරුගේ ජීවිත පූජාව නියෝජනය වන බව ආබෙල් තේරුම්ගෙන සිටියා කියා සිතිය නොහැකියි. (යොහන් 1:29) මන්ද එවැනි සත්ව පූජා දෙවි හඳුන්වා දුන්නේ ආබෙල් මිය ගොස් සියවස් ගණනාවකට පසුවයි.—නික්මයාම 12:5-7.

කොහොමවුණත් ආබෙල් ඔප්පු කළේ තමාට තිබුණු හොඳම දෙයයි. යෙහෝවා දෙවි ඔහුගේ පූජාව ගැන විතරක් නොවෙයි ඔහු ගැනත් සතුටු වූ බවයි බයිබලයේ පවසන්නේ. එම පූජාව ඔප්පු කරන්න ආබෙල් පෙලඹුණේ යෙහෝවා දෙවි කෙරෙහි ඔහුට තිබූ ආදරය හා විශ්වාසය නිසයි. එසේනම් දෙවි ඔහුගේ පූජාව ගැන සතුටු වීම පුදුමයක්ද!

නමුත් කායින්ගේ පූජාව ගැන දෙවිට හැඟුණේ කෙසේද? දෙවි “කායින් හා ඔහුගේ යාගය දෙස සතුටින් බැලුවේ නැත” කියා බයිබලයේ පවසනවා. (උත්පත්ති 4:5) ඊට හේතුව කායින් පූජා කළ දේවල් නොවෙයි. මන්ද අස්වැන්නෙන් ලබාගන්න දේවල් පූජාවන් ලෙස ඔප්පු කිරීමට පසු කාලයේදී දෙවිගේ නීතියේ අවසර දී තිබුණා. (ලෙවී කතාව 6:14, 15) නමුත් දෙවි කායින්ගේ පූජාව පිළි නොගත්තේ ‘ඔහුගේ ක්‍රියා දුෂ්ටව තිබුණු’ නිසයි. (1 යොහන් 3:12) අද සිටින බොහෝදෙනෙකු මෙන් කායින්ද සිතන්න ඇත්තේ අන් අයට පෙනෙන්න කරන දේවලින් දෙවිව සතුටු කරන්න පුළුවන් කියායි. එසේනම් ඔහුගේ භක්තිය පුහු ආටෝපයක් පමණයි. කායින්ට ඇත්තටම දෙවි කෙරෙහි ආදරයක්වත් විශ්වාසයක්වත් තිබුණේ නැති බව ඔහුගේ ක්‍රියාවලින් හෙළි වුණා.

තමා ඔප්පු කළ පූජාව ගැන දෙවි සතුටු වුණේ නැහැ කියා දැනගත් විට හරි නම් කායින් කළ යුතුව තිබුණේ ඊට හේතුව තේරුම්ගෙන තමාගේ අඩුපාඩු හදාගැනීමයි. නමුත් ඔහු කළේ ආබෙල් කෙරෙහි වෛරයක් ඇති කරගැනීමයි. ඔහු කේන්තියෙන් පුපුර පුපුර සිටින බව දුටු යෙහෝවා දෙවි ඉතා ආදරයෙන් ඔහුගේ අඩුපාඩුකම් හදාගන්න ඔහුට උපදෙස් දුන්නා. කායින් දිගටම එලෙස කෝපයෙන් සිටියොත් ඔහු අතින් බරපතළ වරදක් සිදු විය හැකි බව දෙවි පැවසුවා. ඔහු දෙවි දුන් මඟ පෙන්වීම් පිළිගෙන වෙනස් වුණොත් දෙවි ඔහුව ‘පිළිගන්නවා’ කියාත් පැවසුවා.—උත්පත්ති 4:6, 7.

නමුත් කායින් දෙවි දුන් අවවාදය සිතට ගත්තේ නැහැ. ඔහු එක කුසේ උපන් තම සොහොයුරාට පහර දී ඔහුව මරා දැමුවා. (උත්පත්ති 4:8) ආබෙල්, දෙවි කෙරෙහි තිබූ භක්තිය නිසා නිරපරාදේ ඝාතනයට ලක් වූ පළමු මිනිසායි. ඔහු මිය ගියත් ඔහුගේ විශ්වාසය අදටත් ජීවමානයි.

බයිබලයේ පවසන්නේ ආබෙල්ගේ ලේ භූමියේ සිට දෙවිට හඬගැසුවා කියායි. ඉන් අදහස් කළේ ආබෙල්ගේ මරණය වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතු බවයි. කායින්ට දඬුවම් කිරීම මගින් යෙහෝවා දෙවි ආබෙල් වෙනුවෙන් යුක්තිය ඉටු කළා. (උත්පත්ති 4:9-12) ආබෙල් ජීවත් වුණේ අවුරුදු සීයක් වගේ කාලයක්. ඒ කාලේ ජීවත් වූ අය සමඟ සසඳන විට ඔහු ජීවත් වුණේ කෙටි කාලයක් වුණත් ඔහු ගත කළේ යෙහෝවා දෙවි සතුටු වන ආකාරයේ ජීවිතයක්. ඒ නිසා තම දෙවි පියාණන් තමා ගැන සතුටු වන බවත් තමාට ආදරේ බවත් මිය යෑමට කලින් ආබෙල් නිසැකවම දැන සිටියා. (හෙබ්‍රෙව් 11:4) ආබෙල් මිය ගොස් සියවස් ගණනාවක් ගත වී තිබුණත් ඔහු යෙහෝවා දෙවිගේ මතකයේ අදටත් සිටිනවා. ඉතාමත් ළඟදී මේ පොළොව ඒදන් උයන මෙන් ලස්සන පාරාදීසයක් වූ විට දෙවි ඔහුට නැවත ජීවනය ලබා දෙන බව නිසැකයි. (යොහන් 5:28, 29) එහිදී ඔහුව හමු වීමට ඔබ කැමතිද? එසේනම් දැන් සිටම ආබෙල් තුළ තිබුණා හා සමාන විශ්වාසයක් දෙවි කෙරෙහි ගොඩනඟා ගන්න.

^ 8 ඡේ. “පොළොවේ දරුවන් බිහි වුණු දා පටන්” කියා යේසුස් පැවසූ විට ආදම් සහ ඒවගේ පළමු දරුවා වූ කායින්ට යොමු දක්වන්නේ නැතුව දෙවෙනි දරුවා වූ ආබෙල්ට යොමු දැක්වුවේ ඇයි? (ලූක් 11:50, 51) තම දෙමාපියන් මෙන් කායින්ද දෙවිට අකීකරු වූ බව ඔහු කළ කී දේවලින් පැහැදිලියි. ඒ නිසා නැවත ජීවනය ලබන්න හෝ පව්කාර ස්වභාවයෙන් ගැලවීම ලබන්න සුදුසු කෙනෙක් ලෙස දෙවි ඔහුව සැලකුවා කියා සිතිය නොහැකියි.