Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

“මට හැම දෙයක්ම පෙනුණත් මම ඒවා තේරුම්ගත්තේ නෑ”

“මට හැම දෙයක්ම පෙනුණත් මම ඒවා තේරුම්ගත්තේ නෑ”

එතකොට මට වයස අවුරුදු දෙකයි. අම්මගේ යාළුවෙක්ගේ අතින් මොකක්ද වැටිලා ලොකු සද්දයක් ඇහිලා තියෙනවා. ඒ වෙලාවේ මං ඉඳලා තියෙන්නේ අම්මගේ අතේ. ඒ සද්දෙට මං පොඩ්ඩක්වත් ගැස්සුණේ නෑ කියලා අම්මට තේරිලා තියෙනවා. මේක වුණේ 1975දියි. මට අවුරුදු තුනක් වුණාට පස්සෙත් මට කතා කරන්න පුළුවන් වෙලා නෑ. අන්තිමේදී මාව විශේෂඥ වෛද්‍යවරුන්ට පෙන්නුවාම ඒගොල්ලෝ අම්මට කියලා තියෙනවා මං බිහිරියි කියලා.

මම අතදරුවා කාලෙම අම්මයි තාත්තයි දික්කසාද වුණා. ඒ හින්දා අයියලා දෙන්නවයි, අක්කවයි, මාවයි අම්මා තනියෙන් තමයි බලාගත්තේ. හැබැයි පොඩි කාලේ ඉඳලා සාමාන්‍යයෙන් බිහිරි කෙනෙක්ට නොලැබෙන වටිනා අවස්ථාවක් මට ලැබුණා. දැන් මං ඒ ගැන කියන්නම්.

මම අවුරුදු පහේදි විතර

අද වගේ නෙවෙයි ඒ දවස්වල බිහිරි ළමයින්ට ප්‍රංශයේ සංඥා භාෂාව ඉගැන්නුවේ නෑ. ඉස්කෝලවලත් සංඥා භාෂාව තහනම් කරලා තිබුණා. කොච්චරද කියනවා නම් සංඥා භාෂාවෙන් කතා කරන්න බැරි වෙන්න සමහර බිහිරි ළමයින්ගේ අත් පිටිපස්සට තියලා බැඳලා තමයි පාඩම් කියලා දුන්නේ. කොහොමහරි කතා කරවන්න නැත්නම් අනිත් අය කතා කරද්දී එයාලගේ තොල් දිහා බලලා වචන තේරුම්ගන්න තමයි අපිට ඉගැන්නුවේ. ඒ ක්‍රමයට ඉගෙනගද්දී ගොඩක් දුක් විඳින්න වුණා.

මගේ ජීවිතේ මුල් අවුරුදු කීපයේදී සතිය ගානේ මාව භාෂා චිකිත්සක ළඟට එක්කගෙන ගියා. ඒ ගියාම මගේ හක්කෙනුයි ඔළුවෙනුයි අල්ලලා මට හරියට ඇහෙන්නේ නැති ශබ්ද මගේ කටින් කොහොමහරි පිට කරවන්න හැදුවා. පැය ගාණක් තිස්සේ මේක සිද්ධ වුණා. ඒ අවුරුදු කීපයේ මං වින්දේ පුදුම දුකක්.

අවුරුදු හයේදී මාව බිහිරි ළමයින්ගේ ඉස්කෝලෙකට දැම්මා. හැබැයි ඒ ඉස්කෝලෙත් සංඥා භාෂාව තහනම්. බැරි වෙලාවත් අපේ අත්වලින් සංඥාවක් පෙන්නලා අහුවුණොත් අපේ ඇඟිලි පුරුක්වලට ගහනවා. නැත්නම් කොණ්ඩෙන් අදිනවා. ඒ වුණත් අපිම හදාගත්තු සංඥා භාෂාවකින් අපි හොරෙන් කතා කළා. ජීවිතේ පළවෙනි වතාවට අනිත් ළමයි එක්ක අදහස් බෙදාගන්න මට අවස්ථාව ලැබුණේ ඒ ඉස්කෝලෙට ගියාට පස්සේ. ඒ අවුරුදු හතරෙ මං හිටියේ හරිම සතුටෙන්.

වයස අවුරුදු දහයේදී මාව වෙන ඉස්කෝලෙකට මාරු කළා. එතකොට මට දැනුණේ මාව කරකවලා අත ඇරියා වගේ. මොකද එහේ හිටියේ හොඳට කන් ඇහෙන, කතා කරන්න පුළුවන් ළමයි විතරයි. හැම බිහිරි ළමයෙක්ම මැරිලා මං විතරක් ලෝකෙටම ඉතුරු වෙලා ඉන්නවා වගෙයි මට දැනුණේ. දොස්තරවරු අම්මට කියලා තිබුණා මාත් එක්ක සංඥා භාෂාවෙන් කතා කළොත් මට කතා කරන්න උගන්නන්න බැරි වෙයි කියලා. ඒ නිසා මගේ පවුලේ කිසිම කෙනෙක් සංඥා භාෂාව ඉගෙනගත්තේ නෑ. ඒ වගේම වෙන බිහිරි ළමයින්ව ආශ්‍රය කරන්නත් මට ඉඩ දුන්නේ නෑ. මට අද වගේ මතකයි දොස්තරව හම්බ වෙන්න ගිය දවසක වෙච්ච දෙයක්. දොස්තරගේ මේසේ උඩ සංඥා භාෂා පොතක් තිබුණා මම දැක්කා. ඒක මට දෙන්න කියලා මම ඇඟිල්ලෙන් පෙන්නුවම දොස්තර ඉක්මනට පොත හැංගුවා. *

බයිබලේ ඉගෙනගන්න පටන්ගත්ත කාලේ

අපේ අම්මට ඕන වුණේ පොඩි කාලේ ඉඳලම අපිට බයිබල් ප්‍රතිපත්ති කියලා දීලා අපිව හරි විදිහට හදා වඩා ගන්නයි. ඒ නිසා අම්මා අපිව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට එක්කගෙන ගියා. රැස්වීම්වලට ගියාට මොකද ඉගැන්නුව දේවල් මට හරියට තේරුණේ නෑ. ඒත් ඒ රැස්වීමට ආව සමහර අය මගේ ළඟින් ඉඳගෙන රැස්වීමේ උගන්නපු දේවල් මට තේරුම්ගන්න පුළුවන් විදිහට පොතක ලිව්වා. එහෙම කරද්දී එයාලගේ ආදරය, සැලකිල්ල මගේ හිතට හොඳින් දැනුණා. ගෙදරදී අම්මා මට බයිබලේ තියෙන දේවල් කියලා දුන්නට ඒවා මගේ ඔළුවට ගියේ නෑ. එතකොට මට මතක් වුණේ පුරාණයේ දෙවිගේ සේවකයෙක් වෙලා හිටිය දානියෙල්ව. එයාට දේවදූතයෙක්ගෙන් පණිවිඩයක් ලැබුණම එයා කිව්වේ මට ඒක ඇහුණත් තේරුම්ගත්තේ නෑ කියලයි. (දානියෙල් 12:8) මාත් ඒ වගේ තමයි. “මට හැම දෙයක්ම පෙනුණත් මම ඒවා තේරුම්ගත්තේ නෑ.”

ඒ වුණත් බයිබලේ තියෙන මූලික ඉගැන්වීම් ටිකෙන් ටික මගේ හිතට ගියා. මට තේරුම්ගන්න පුළුවන් වුණ දේවල් හොඳට හිතට අරගෙන ඒවා මගේ ජීවිතේට අදාළ කරගත්තා. ඒ වගේම අනිත් අයගෙනුත් මට සමහර දේවල් ඉගෙනගන්න පුළුවන් වුණා. උදාහරණෙකට බයිබලේ කියනවා ඉවසිලිවන්ත වෙන්න කියලා. (යාකොබ් 5:7, 8) හැබැයි ඉවසීම කියන්නේ මොකක්ද කියලවත් මං හරියට දැනගෙන හිටියේ නෑ. ඒත් සාක්ෂිකරුවන් අතර හිටපු අය ඉවසීමෙන් වැඩ කරනවා දැක්කම තමයි ඉවසීම මොකක්ද කියලා මං තේරුම්ගත්තේ. ඒ අතින් සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන එකෙන් මට ලැබිලා තියෙන ප්‍රයෝජන නම් කියලා නිම කරන්න බෑ.

කලකිරීම දුරු වෙලා සතුට ළං වුණා

බයිබලේ තියෙන දේවල් තේරුම්ගන්න ස්ටෙෆන් මට ගොඩක් උදව් කළා

දවසක් මං දැක්කා බිහිරි ළමයි වගයක් සංඥා භාෂාවෙන් කතා කරකර පාරේ ඉන්නවා. මං ගෙදරට හොරෙන් ඒ අයව ආශ්‍රය කරන්න පටන්ගත්තා. ඒකෙන් මට පුළුවන් වුණා ප්‍රංශ සංඥා භාෂාව ටිකක් ඉගෙනගන්න. මම දිගටම සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යද්දී ස්ටෙෆන් කියන යෞවන සාක්ෂිකාරයා මට ගොඩක් කිට්ටු වුණා. එයා ලොකු උත්සාහයක් ගත්තා මාත් එක්ක කොහොමහරි අදහස් බෙදාගන්න. මාත් එයාට ගොඩක් කිට්ටු වුණා. ඒත් ටික කාලෙකින් සිද්ධ වුණේ නොහිතපු දෙයක්. ස්ටෙෆන් හමුදාවට බැඳෙන්න ප්‍රතික්ෂේප කරපු හින්දා එයාව හිරේ දැම්මා. මට දැනුණු දුක කියන්න වචන නෑ. මං කොච්චර කලකිරුණද කියනවා නම් ස්ටෙෆන් නැති හින්දා රැස්වීම්වලට යන එක එහෙම්පිටින්ම වගේ නතර කළා.

හැබැයි මාස 11කට පස්සේ ස්ටෙෆන් නිදහස් වෙලා ආවා. කවදාවත් නැතුව එයා මාත් එක්ක සංඥා භාෂාවෙන් කතා කරනවා දැක්කම මට මගේ ඇස් අදහාගන්න බැරුව ගියා. එයා හිරේ හිටපු කාලේ ප්‍රංශ සංඥා භාෂාව ඉගෙනගෙන තිබුණා. ස්ටෙෆන් එයාගේ අත් දෙකෙන් එක එක සංඥා පෙන්නද්දී, එයාගේ මූණේ ඉරියව් දකිද්දී මටත් ඒකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන හිතලා මම ගොඩාක් සතුටු වුණා.

බයිබලේ තියෙන දේවල් ටිකෙන් ටික තේරුම්ගත්තා

ස්ටෙෆන් මට බයිබලේ තියෙන දේවල් කියලා දෙන්න පටන්ගත්තට පස්සේ තමයි මෙච්චර කල් මම ඉගෙනගත්ත දේවල් හරියට තේරුණේ. පොඩි කාලෙදී මං සමහර දේවල් තේරුම්ගත්තේ අපේ පොත්වල, සඟරාවල ආව පින්තූරවල තියෙන හැම දෙයක් දිහාම හොඳට බලලයි. ඒ නිසා “ආබ්‍රහම්” ගැන, ‘ආබ්‍රහම්ගෙන් පැවත එන තැනැත්තා’ ගැන, “මහත් සමූහය” ගැන මං දැනගෙන හිටියා. (උත්පත්ති 22:15-18; එළිදරව් 7:9) හැබැයි සංඥා භාෂාවෙන් ඒ දේවල් විස්තර කළාට පස්සේ තමයි මට ඒවා හරියටම තේරුණේ. මම ඉගෙනගන්න ඕන සංඥා භාෂාවෙන් තමයි කියලා ඒකෙන් මට හොඳටම පැහැදිලි වුණා.

රැස්වීම්වලදී සමහර දේවල් සංඥා භාෂාවෙන් කියලා දුන්නු හින්දා මට බයිබලේ තියෙන දේවල් හොඳට තේරුම්ගන්න පුළුවන් වුණා. ඒකෙන් බයිබලේ තියෙන දේවල් තව තවත් ඉගෙනගන්න ආස හිතුණා. ස්ටෙෆන් බයිබලේ ඉගෙනගන්න උදව් කරපු හින්දා මට පුළුවන් වුණා 1992දී මගේ ජීවිතේ යෙහෝවා දෙවිට කැප කරලා බව්තීස්ම වෙන්න. ඒත් මට තවත් ප්‍රශ්නයක් තිබුණා. මම හරිම ලැජ්ජාශීලී කෙනෙක්. පොඩි කාලේ ඉඳලම අනිත් අය එක්ක ආශ්‍රය කරන්න බැරි වුණු හින්දා මං පුරුදු වුණේ මගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නයි.

ලැජ්ජාවෙන් ගොඩ එන්න ගත්තු උත්සාහය

කාලයක් යන කොට සංඥා භාෂාව කතා කරපු අපේ පොඩි කණ්ඩායම පෙසැක්වල තිබුණු සාක්ෂිකරුවන්ගේ තවත් සභාවකට සම්බන්ධ කළා. යෙහෝවා දෙවිට තවත් හොඳින් සේවය කරන්න ඒකෙන් මට අවස්ථාව ලැබුණා. රැස්වීම්වලදී කියපු දේවල් හොඳට තේරුම්ගන්න මගේ යාළුවෝ මට නිතරම උදව් කළා. ෂිල් හා එලොඩි ඒ විදිහට මට උදව් කරපු යුවළක්. ඒ දෙන්නා නිතරම වගේ රැස්වීම්වලින් පස්සේ මොනවා හරි කෑමක් කන්න නැත්නම් කෝපි එකක් බොන්න මට එයාලගේ ගෙදරට අඬගැහුවා. ඒකෙන් මාත් ඒ දෙන්නට ගොඩක් කිට්ටු වුණා. යෙහෝවා දෙවි කියලා දෙන විදිහට අනිත් අයට ආදරේ කරන සෙනඟක් අතරේ ඉන්න ලැබිලා තියෙන එක ඇත්තටම වටින දෙයක්.

මට ලොකු ශක්තියක් වුණු මගේ බිරිඳ

පෙසැක්වල රැස්වීම්වලට ගිය කාලේ තමයි මට වෙනේසාව මුණගැහුණේ. එයා අනිත් අය ගැන ගොඩක් හිතන හරිම සාධාරණ කෙනෙක්. මං බිහිරි කෙනෙක් වුණත් එයාට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. එයා නිතරම හිතුවේ වෙන බිහිරි අය එක්ක සංඥා භාෂාව කතා කරන්න මගෙන් එයාට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් වෙයි කියලයි. වෙනේසා ගැන මගේ හිතේ ආදරයක් ඇති වුණා. අපි 2005දී විවාහ වුණා. ලැජ්ජාවෙන් ගොඩ ඇවිල්ලා භය නැතුව සංඥා භාෂාවෙන් මගේ හැඟීම් කියන්න එයා මට ගොඩක් උදව් කළා. මගේ වැඩකටයුතු හොඳින් කරන්න වෙනේසාගෙන් ලැබෙන සහයෝගය ගැන ඇත්තටම මං එයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

යෙහෝවා දෙවිගෙන් ලැබුණු වටිනා තෑග්ගක්

අපි විවාහ වුණු අවුරුද්දෙම පරිවර්තන වැඩවලට පුහුණු වෙන්න මාසෙකට ලූව්යේවල තිබුණු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට එන්න කියලා මට ආරාධනාවක් ලැබුණා. මෑතක ඉඳන් අපේ ප්‍රකාශන වගයක් ප්‍රංශ සංඥා භාෂාවෙන් DVD තැටි විදිහට එළිදක්වන්න ශාඛා කාර්යාලය වැඩකටයුතු කරගෙන යනවා. කරන්න වැඩ ගොඩක් තියෙන නිසා සංඥා භාෂා පරිවර්තන කණ්ඩායමට උදව් ඕන වෙලයි තිබුණේ.

ප්‍රංශ සංඥා භාෂාවෙන් බයිබල් දේශනයක් දෙන ගමන්

ශාඛා කාර්යාලයේ සේවය කරන්න ලැබුණු එක යෙහෝවා දෙවිගෙන් ලැබුණු තෑග්ගක්. හැබැයි අපි දෙන්නගේ හිතේ පොඩි කනස්සල්ලකුත් තිබ්බා. අපි මෙහෙන් ගියොත් අපේ සංඥා භාෂා කණ්ඩායමට මොනවා වෙයිද? අපේ ගෙදරට මොනවද කරන්නේ? එහෙට ගියාම වෙනේසාට රස්සාවක් හොයාගන්න පුළුවන් වෙයිද? මේ හැම ප්‍රශ්නයක්ම යෙහෝවා දෙවි විසඳුවේ පුදුම විදිහටයි. දෙවි අපිටත් බිහිරි අනිත් අයටත් කොච්චර ආදරේද කියලා මට ඒකෙන් තේරුණා.

සහෝදර සහෝදරියන් මට ගොඩක් උදව් කළා

පරිවර්තන වැඩවලට හවුල් වෙද්දී මට තේරුණා බිහිරි අයට දෙවි ගැන දැනගන්න උදව් කරන්න කොච්චර වැඩ කොටසක් මෙහෙ කරනවාද කියලා. මට මෙහෙදී කිසිම පාළුවක්, තනිකමක් දැනෙන්නේ නෑ. මෙහෙ ඉන්න සමහර අයට සංඥා භාෂාව එච්චර බැරි වුණත් දන්න ටිකෙන් හරි මාත් එක්ක කතා කරන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා. දෙවිගේ සෙනඟ කොච්චර එකමුතු සෙනඟක්ද කියලා මට හොඳටම පැහැදිලියි.—ගීතාවලිය 133:1.

ශාඛා කාර්යාලයේ පරිවර්තන අංශයේ වැඩ කරන ගමන්

යෙහෝවා දෙවි අනිත් සහෝදර සහෝදරියන්ව පාවිච්චි කරලා අවශ්‍ය හැම වෙලාවකදිම මට උදව් කරලා තියෙනවා. ඒ ගැන මම ඇත්තටම යෙහෝවා දෙවිට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම බිහිරි අයට දෙවි ගැන දැනගන්නත් දෙවිට ළං වෙන්න උදව් කරන්නත් මට පොඩි වැඩ කොටසක් හරි කරන්න ලැබිලා තියෙන එක ගැන මං සතුටු වෙනවා. මම ආසාවෙන් බලාගෙන ඉන්නේ කිසිම බාධාවක් නැතුව ඕනම කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් කාලේ එනකම්. එදාට හැමෝම “පවිත්‍ර භාෂාව,” ඒ කියන්නේ යෙහෝවා දෙවි ගැනයි දෙවිගේ අරමුණු ගැනයි එකිනෙකා එක්ක කතා කරයි.—ශෙපනියා 3:9.

^ 9 ඡේ. බිහිරි දරුවන්ට සංඥා භාෂාව උගන්වන්න ඕන කියලා ප්‍රංශ රජය තීරණය කළේ 1991දියි.