Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්: කිසිවෙකුව පහත් නොකරන සමාජයක්!

ලොවම වෙළාගත් ගැටලුවක්!

ලොවම වෙළාගත් ගැටලුවක්!

ඇමරිකා එක්සත් ජනපදයේ හැදුණු වැඩුණු ජොනතන් පොඩි කාලේ ඉඳලා අනිත් අයගේ උසුළුවිසුළුවලටත් සමච්චලේටත් ලක් වුණා. එහෙම වුණේ එයාගේ පෙනුම නිසයි. එයා කොරියානු ජාතිකයෙක්. එයා වෛද්‍යවරයෙක් වුණාට පස්සේ ඇමරිකාවේ උතුරු ඇලස්කාවේ රෝහලක වැඩ කරන්න ගියා. එහේ හිටපු අයගේ පෙනුම එයාගේ පෙනුමට සමාන වුණ නිසා ජොනතන් හිතුවා එහෙදිවත් මිනිස්සු එයාගේ පෙනුම, ජාතිය දිහා බලලා එයාට වෙනස් විදිහට සලකන එකක් නැහැ කියලා.

හැබැයි එයා හිතපු විදිහ වැරදියි කියලා තේරුම්ගන්න වැඩි දවසක් ගියේ නැහැ. දවසක් ජොනතන් ප්‍රතිකාර කරපු කාන්තාවකට සිහිය ආපු ගමන් එයා ජොනතන්ව දැකලා අපහාස වෙන විදිහේ දෙයක් කිව්වා. එයා එහෙම කිව්වේ කොරියානු ජාතිකයන්ට වෛර කරන්න කියලා පොඩි කාලේ ඉඳලා එයාට කියලා දීලා තිබුණු නිසයි. ඒ සිද්ධියෙන් ජොනතන් තේරුම්ගත්තා කොහේ ගියත් එයාගේ ජාතිය නිසා අනිත් අය එයාව පහත් කරලා සලකන එකෙන් එයාට බේරෙන්න බැහැ කියලා. ඒක ජොනතන්ට මොන තරම් වේදනාකාරී අද්දැකීමක් වෙන්න ඇද්ද?

ඒ අද්දැකීමෙන් පැහැදිලි වෙන්නේ මිනිසුන් අනිත් අයව පහත් කරලා සලකන්නේ නැති තැනක් මේ ලෝකෙ කොහෙවත් නැහැ කියන එකයි.

කෙනෙක් තවත් කෙනෙක්ව පහත් කරලා සලකන එකට අපි කවුරුත් කැමති නැහැ. හැබැයි පුදුමේ කියන්නේ අපි මෙච්චර අකමැති දෙයක් ලෝකේ හැම තැනම සිද්ධ වෙන එකයි. එහෙම වෙන්නේ කොහොමද? ඒකට එක හේතුවක් තමයි අනිත් අයව පහත් කරලා සලකනවට අකමැති අයම තමන් තුළ ඒ ගතිය තියෙනවා කියලා තේරුම්ගන්නේ නැති එක. ඒ වගේ ගතියක් අපි තුළ තියෙනවද කියලා දැනගන්න පුළුවන් කොහොමද?

හිත සෝදිසි කරන්න

“සියල්ලටම වඩා මිනිසාගේ සිත රැවටිලිකාරය” කියලා බයිබලේ කියනවා. (යෙරෙමියා 17:9) ඒ නිසා අනිත් අයව පහත් කරලා සලකන ගතිය අපි තුළ තිබුණත් අපේ හිත කියයි ඇත්තටම ඒ වගේ ගතියක් අපි තුළ නෑ කියලා. නැත්නම් යම් ජාතියකට, ආගමකට අයිති අයව පහත් කරලා සලකන එකේ වරදක් නෑ කියලා හිතන්න අපේ හිත අපිව පොලඹවන්නත් ඉඩ තියෙනවා. මේ හේතු නිසා අනිත් අයව පහත් කරලා සලකන ගතිය අපේ හිතේ තියෙනවද නැද්ද කියලා තේරුම්ගන්න එක ලේසි නැහැ.

මේ වගේ පුද්ගලයෝ දැක්කොත් ඔයා මොන වගේ නිගමනයකටද එන්නේ?

ඒ කාරණය තේරුම්ගන්න මේ උදාහරණය ගැන හිතන්න. අඳුර වැටිලා තියෙන වෙලාවක ඔයා තනියෙන් පාරේ යද්දී හැඩිදැඩි දෙන්නෙක් ඇවිදගෙන එනවා ඔයා දකිනවා. ඒ එක් කෙනෙක්ගේ අතේ මොකක් හරි දෙයක් තියෙනවා වගේ ඔයාට පේනවා.

ඒ දෙන්නා ඔයාට මොකක් හරි කරදරයක් කරයි කියලා ඒ අයව මඟහැරලා යන්න සමහරවිට ඔයා උත්සාහ කරයි. රටේ ලෝකෙ සිද්ධ වෙන දේවල් නිසා ඔයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ වගේ පියවරක් ගන්න එකේ වරදක් නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ පෙනුම දිහා බලලා එයාලා අපරාධකරුවෝ කියලා ඉක්මනින් නිගමනය කරන එක සාධාරණයිද? අපි ඒ විදිහට අනිත් අයගේ පෙනුම දිහා බලලා නිගමනවලට එනවා නම් ඒකෙන් තේරෙන්නේ අපි තුළ යම් විදිහකින් හරි කෙනෙක්ව පහත් කරලා සලකන ගතිය තියෙනවා කියලයි.

අවංකව හිතලා බැලුවොත් මොකක් හරි හේතුවක් නිසා තව කෙනෙක්ව පහත් කරන ගතිය නැත්නම් එයා ගැන වැරදි පින්තූරයක් මනසේ ඇති කරගන්න ගතිය අපි හැමෝම තුළ තියෙනවා. කෙනෙක්ගේ පෙනුම දිහා බලලා එයා ගැන නිගමනයකට එන එක ඒකට හොඳ උදාහරණයක්. (1 සාමුවෙල් 16:7) ඒ නරක ගතිය අපේ ජීවිතෙන් අයින් කරලා දාන්න විදිහක් තියෙනවද? හැමෝම හැමෝටම එක වගේ සලකන දිනක් කවදා හෝ උදා වෙයිද?