Skip to content

පටුනට යන්න

පාඨකයන් අසයි

සමහර අයගේ නම් බයිබලේ නැත්තේ ඇයි?

සමහර අයගේ නම් බයිබලේ නැත්තේ ඇයි?

මෝසෙස්ගේ නීතියට අනුව නෑයෙකුගේ යුතුකම ඉටු කරන්න අකමැති වුණු කෙනෙක් ගැන රූත් පොතේ සඳහන් වෙනවා. නමුත් ඔහුගේ නම සඳහන් කරලා නැහැ. (රූත් 4:1-12) ඒකෙන් අදහස් කරන්නේ බයිබලේ නම සඳහන් කරලා නැති හැම කෙනෙක්ම වැඩක් නැති නරක අය කියලද? නැහැ.

මේ උදාහරණය බලන්න. අවසන් පාස්කුව සමරන්න සැලසුම් යොදන විට යේසුස් ඔහුගේ ගෝලයන්ට කිව්වා “නුවරට ගොස් අහවල් කෙනාව හමු වී” ඔහුගේ නිවස ඒ සඳහා සූදානම් කරන්න කියලා. (මතෙව් 26:18) අනිවාර්යයෙන්ම ඒ තැනැත්තා යේසුස්ගේ අනුගාමිකයෙක්. ඔහුගේ නම සඳහන් කරලා නැත්තේ ඔහු නරක කෙනෙක් නිසා නෙමෙයි. ඒ සිද්ධියට ඔහුගේ නම අවශ්‍ය නැති නිසයි.

අනිත් අතට බයිබලේ නම් සඳහන් කරලා තියෙන හැම කෙනෙක්ම හොඳ අය කියලා කියන්නත් බැහැ. උදාහරණයකට මුල්ම ස්ත්‍රියගේ නම ඒව කියලා බයිබලේ සඳහන් වෙනවා. ආත්මාර්ථකාමී, අකීකරු කෙනෙක් වුණු ඒව තමයි ආදම්වත් පාපයට පෙලඹුවේ. අද මුළු මිනිස් වර්ගයාම ඛේදනීය තත්වයකට මුහුණ දෙන්නේ ඒකේ ප්‍රතිඵලයක් හැටියටයි. (රෝම 5:12) ඒත් මතු පරම්පරාවේ උන්නතිය වෙනුවෙන් ඇප කැප වී වැඩ කළ, වැදගත් කාර්යයක් වෙනුවෙන් නෝවාට උපරිමයෙන්ම සහය දුන් නෝවාගේ බිරිඳගේ නම බයිබලේ නැහැ. ඒකෙන් තේරෙන්නේ කෙනෙක්ගේ නම බයිබලේ සඳහන් වීම හෝ නොවීම මත එයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා තීරණය කරන්න බැහැ කියලයි.

යෙහෝවා දෙවිගේ අරමුණ ඉටු කිරීම වෙනුවෙන් දායකත්වය දුන් හුඟදෙනෙක්ගේ නම් බයිබලේ සඳහන් වෙලා නැහැ. සිරියාවේ හමුදාපති වුණු නාමන්ගේ නිවසේ සේවය කළ ඊශ්‍රායෙල් දැරිය ඉන් එක් කෙනෙක්. ඇය යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරයා ගැන නාමන්ගේ බිරිඳට පැවසුවා. ආශ්චර්යයක් තුළින් දෙවිගේ බලය දැකගැනීමට එය මඟ පෑදුවා. (2 රාජාවලිය 5:1-14) යෙප්තාගේ දියණියත් විශ්වාසවන්තකම සම්බන්ධයෙන් කදිම ආදර්ශයක්. ඇගේ පියාගේ පොරොන්දුවක් ඉටු කිරීම සඳහා විවාහ වෙලා දරුවන් වදන්න තිබුණු අවස්ථාව ඇය කැමැත්තෙන්ම කැප කළා. ඇගේ නමත් බයිබලේ නැහැ. (විනිශ්චයකරුවෝ 11:30-40) ඒ වගේම බයිබලේ ගීතිකා 40කට වඩා වැඩි ගණනක් රචනා කළ අයගේ නම්ද යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරපු සමහර අනාගතවක්තෘවරුන්ගේ නම්ද බයිබලේ නැහැ.—1 රාජාවලිය 20:37-43.

යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරන දේවදූතයන් මිලියන ගණනක් ඉන්නවා කියලා බයිබලේ සඳහන් වෙනවා. හැබැයි ගාබ්‍රියෙල් හා මිකායෙල් කියන දේවදූතයන් දෙන්නගේ නම් විතරයි බයිබලේ තියෙන්නේ. (දානියෙල් 7:10; ලූක් 1:19; යූද් 9) සැම්සන්ගේ පියා වුණු මානෝවාට පණිවිඩයක් දැන්වීමට දේවදූතයෙක් ආපු වෙලාවේ මානෝවා ඔහුට මෙහෙම කිව්වා. “ඔබ අද කියූ දේවල් ඉටු වෙද්දී අපි කැමතියි ඒ වෙනුවෙන් ඔබට අපේ අගය පෙන්වන්න. ඒ නිසා ඔබේ නම අපට කියන්න.” ඒත් දේවදූතයා ඔහුට කිව්වේ “ඔබ මගේ නම ගැන අහන්නේ මොකටද” කියලයි. දේවදූතයා තමාගේ නම මානෝවාට හෙළි නොකළේ දෙවිට ලැබෙන්න ඕන ගෞරවය තමන්ට ලැබෙනවට අකමැති වූ නිසයි.—විනිශ්චයකරුවෝ 13:17, 18.

සමහරුන්ගේ නම් සඳහන් වීමට හේතුව හෝ සඳහන් නොවීමට හේතුව බයිබලේ පැහැදිලි කරලා නැහැ. නමුත් මේ වැදගත් කාරණය අපි අමතක නොකරමු. එනම් නම සඳහන් වුණත් නැතත් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරපු අයගෙන් අපට උගත හැකි දේ බොහෝයි.