Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

“මං ජීවිතේ ගැන බැරෑරුම්ව හිතන්න පටන්ගත්තා”

“මං ජීවිතේ ගැන බැරෑරුම්ව හිතන්න පටන්ගත්තා”
  • ඉපදුණ අවුරුද්ද: 1941

  • රට: ඕස්ට්‍රේලියාව

  • අතීතයේදී: සිගරට් හා මත්පැන්වලට ඇබ්බැහි වෙලා හිටියා

මගේ අතීතය:

මං හැදුණේ වැඩුණේ නිව් සවුත් වේල්ස්වල වොරියෙල්ඩ කියන ගම්මානයේ. ඒක හරිම සාමකාමී තැනක්. එහේ අපරාධයක් සිද්ධ වුණේ කලාතුරකින්. වොරියෙල්ඩවල හිටපු හැමෝම වගේ වැඩ කළේ ගොවිපොළවල්වලයි. බැටළුවෝ, හරක් වගේ සත්තු බලාගන්න එකත් ධාන්‍ය හා වෙනත් භෝග වගා කරන එකත් ඒ වැඩවලට අයත් වුණා.

අපේ පවුලේ ළමයි දහදෙනයි. මං තමයි වැඩිමලා. ඒ නිසා පවුලේ අය ගැන හිතලා අවුරුදු 13දී මං රස්සාවක් කරන්න පටන්ගත්තා. ඒ තරම් ඉගෙනගෙන හිටියේ නැති නිසා මට වැඩ ලැබුණේ ගොවිපොළවල්වලයි. අවුරුදු 15ක් වෙන කොට කැලෑ අශ්වයන්ව හීලෑ කරන එක තමයි මගේ වැඩේ වුණේ.

මං ගොවිපොළේ වැඩ කළේ හරිම ආසාවෙන්. පරිසරයේ අසිරිය විඳින්න ලැබුණු එක ගැනත් මං ගොඩක් සතුටු වුණා. රාත්‍රි කාලයේ ගස් වැල් අතරින් හමන මද සුළඟින් ප්‍රබෝධයක් ලැබුව මම, ගිනිමැලයක් ගහගෙන තරු පිරුණු අහස දිහා බලාගෙන කල්පනා කළා. මේවා නිර්මාණය කරපු කෙනෙක් ඉන්න ඕන කියලා මං හිතපු වාර ගාණ අනන්තයි! හැබැයි මේ රස්සාව කරන කාලේ ඒ වගේ ආශීර්වාද විතරක් නෙමෙයි නරක බලපෑම්වලට මුහුණ දෙන්නත් වුණා. ගොවිපොළේ වැඩ කරපු අය නිතරම වගේ නරක වචන කිව්වා. සිගරට් බිව්වා. වැඩි කාලයක් යන්න කලින් මාත් ඒවා පටන්ගත්තා.

අවුරුදු 18ක් වුණාම මං සිඩ්නි නගරේ පදිංචියට ගියා. මට ඕන වුණේ හමුදාවට බැඳෙන්නයි. හැබැයි අධ්‍යාපන සුදුසුකම් නැති නිසා ඒක හරි ගියේ නැහැ. ඒ නිසා මං වෙන රස්සාවක් හොයාගෙන එහෙ අවුරුද්දක් විතර හිටියා. ඔන්න ඔය කාලෙදී තමයි මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැහුණේ. ඒගොල්ලන්ගේ රැස්වීමකට එන්න කියලා මට කිව්ව නිසා දවසක් මං එහෙ ගියා. එතන උගන්නපු දේවල් සත්‍ය තොරතුරු කියලා එදා මට තේරුණා.

ඒත් ඊට ටික දවසකට පස්සේ නගරේ අත්හැරලා යන්න මං තීරණය කළා. මං ක්වීන්ස්ලන්තයේ ගුන්ඩවින්ඩිවලට ගිහින් රස්සාවක් හොයාගත්තා. එහෙදී මං කසාද බැන්දා. බොන්නත් පුරුදු වුණා.

පුතාලා දෙන්නා ඉපදුණාට පස්සේ මං ජීවිතේ ගැන බැරෑරුම්ව හිතන්න පටන්ගත්තා. සිඩ්නිවලදී සාක්ෂිකරුවන්ගේ රැස්වීමට ගිය වෙලාවේ කියපු දෙයක් එතකොට මගේ හිතට ආවා.

මං ළඟ තිබුණු පරණ මුරටැඹ සඟරාවකින් ඕස්ට්‍රේලියාවේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ ලිපිනය හොයාගෙන බයිබලේ ගැන දැනගන්න මට උදව් කරන්න කියලා ලියුමක් දැම්මා. වැඩි දවසක් යන්න කලින් අපේ ගෙදරට සාක්ෂිකරුවෙක් ආවා. එයා හරිම ප්‍රේමණීය, කරුණාවන්ත කෙනෙක්. එයා මට බයිබලේ තියෙන දේවල් කියලා දුන්නා.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි:

බයිබලේ තියෙන දේවල් ඉගෙනගද්දී මගේ ජීවිතේ වෙනස් කරගන්න ඕන කියලා මට තේරුණා. මගේ හිතට ගොඩක් කාවැදුණු බයිබල් පදයක් තමයි 2 කොරින්ති 7:1. එතන කියන්නේ “ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු” කියලයි.

සිගරට් බොන එක, ඕනෑවට වඩා මත්පැන් පාවිච්චි කරන එක අත්හරින්න මං තීරණය කළාට ඒක කරන්න ලේසි වුණේ නැහැ. ඒත් දෙවි අකමැති පුරුදු මගේ ජීවිතෙන් අයින් කරලා දාන්න මට ලොකු වුවමනාවක් තිබුණා. බයිබලේ රෝම 12:2 මෙහෙම කියලා තියෙනවා. “තවදුරටත් අප ජීවත් වන මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න. ඒ වෙනුවට ඔබේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න.” ඒ උපදෙසෙන් මං තේරුම්ගත්තා නරක පුරුදු අත්හරින්න නම් ඒවා ගැන මං හිතන විදිහත් සම්පූර්ණයෙන් වෙනස් කරගන්න ඕන කියලා. දෙවිගේ උපකාරයෙන් මට ඒක කරන්න පුළුවන් වුණා.

“මං තේරුම්ගත්තා නරක පුරුදු අත්හරින්න නම් ඒවා ගැන මං හිතන විදිහත් සම්පූර්ණයෙන් වෙනස් කරගන්න ඕන කියලා”

මට අත්හරින්න අමාරුම වුණේ නරක වචන කියන පුරුද්දයි. “ඔබේ මුවින් කිසි අසභ්‍ය වචනයක් පිට වීමට ඉඩ නොදෙන්න” කියලා එෆීස 4:29 සඳහන් වුණත් ඒක අදාළ කරගන්න මට අමාරු වුණා. හැබැයි යෙසායා 40:26 දෙවිගේ බලය ගැන සඳහන් විස්තරේ මගේ හිතට කාවැදුණා. එතන මෙහෙම කියනවා. “අහස දෙස බලන්න. මේ සියල්ල නිර්මාණය කළේ කවුද? තාරකා සේනාවක් මෙන් කැඳවන්නාවූ තැනැත්තාණන්ය. ඔහු ඒ සියල්ල ගණන් කර නම් වශයෙන් හඳුන්වන්නේය. ඔහු සතු අතිමහත් බලය හා ශක්තිය නිසා ඉන් එකක්වත් නැති නොවෙයි.” මුළු මහත් විශ්වයම නිර්මාණය කරන්න දෙවියන්ට බලය තියෙනවා නම් ඔහු අකමැති දෙයක් නොකර ඉන්න මට ශක්තිය දෙන්න ඔහුට පුළුවන් කියන විශ්වාසේ මට ඇති වුණා. ශක්තිය ඉල්ලලා දෙවියන්ට යාච්ඤා කරපු නිසාත් අත් නෑර උත්සාහ කරපු නිසාත් නරක වචන කියන එක ටිකෙන් ටික පාලනය කරගන්න මට පුළුවන් වුණා.

මං දැන් අද්දකින ආශීර්වාද:

මගේ කාලේ වැඩිපුර ගෙවුණේ සත්තු එක්ක නිසාත් ගොවිපොළේ කතාබහ කරන්න ඒ හැටි කවුරුත් හිටියේ නැති නිසාත් මං පුරුදු වෙලා හිටියේ වැඩි කතාබහක් නැතුව පාඩුවේ ඉන්නයි. ඒත් සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලින් ලබපු පුහුණුව නිසා මගේ හිතේ තියෙන දේවල් අනිත් අයත් එක්ක කතා කරන්න මං ඉගෙනගත්තා. ඒ පුහුණුව නිසා දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය අනිත් අයට කියන්නත් මට පුළුවන් වෙලා තියෙනවා.—මතෙව් 6:9, 10; 24:14.

දැන් අවුරුදු කීපයක් තිස්සේ සාක්ෂිකරුවන්ගේ සභාවේ ඉන්න අයව රැකබලා ගන්නා වැඩිමහල්ලෙක් විදිහට මං සේවය කරනවා. සභාවේ ඉන්න අයට කොයි විදිහකින් හරි උදව් උපකාර කරන්න ලැබෙන එක මට ගොඩක් වටිනවා.

එච්චර අධ්‍යාපනයක් ලබලා නැති මං වගේ කෙනෙක්ව තෝරගෙන බයිබලේ තියෙන දේවල් ගැන උගන්නපු එක ගැන මං යෙහෝවා දෙවියන්ට හුඟක් ස්තුති කරනවා. (යෙසායා 54:13) “යෙහෝවා දෙවිගේ ආශීර්වාදය සැබෑ වස්තුවකි” කියලා හිතෝපදේශ 10:22 සඳහන් දේ කොච්චර ඇත්තද කියලා මං අද්දකිනවා.