දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න
‘යෙහෝවා දෙවි ඔබට මුළු හදවතින්ම සමාව දුන්නා’
දාහත්වන සියවසේ හිටිය ඉතිහාසඥ එඩ්වඩ් හර්බර්ට් මේ වගේ අදහසක් පළ කළා. “සමාව නොදෙන කෙනෙක් සමාව ලබාගන්න තියෙන මඟ අහුරගන්නවා.” අනිත් අයට සමාව දෙන්න ඕන ඇයි කියන එකට එක හේතුවක් ඔහු පෙන්නලා දෙනවා. ඒ තමයි කවදා හරි දවසක අනිත් අයගෙන් අපිටත් සමාව ලබාගන්න සිද්ධ වෙන එක. (මතෙව් 7:12) ඒත් අනිත් අයට සමාව දෙන්න ඊටත් වඩා වැදගත් හේතුවක් තියෙනවා. ඒක තියෙන්නේ බයිබලයේ කොලොස්සි පොතෙයි.—කොලොස්සි 3:13 කියවන්න.
අපි හැමෝටම පාපය උරුම වෙලා තියෙන නිසා අනිත් අයව කේන්ති කරවන, අනිත් අය අකමැති දේවල් අපේ අතින් වෙන්න පුළුවන්. ඒ අය අතිනුත් අපිට ඒ දේම වෙන්න පුළුවන්. (රෝම 3:23) ඒ වුණත් අනිත් අය එක්ක සාමයෙන් ඉන්න අපිට පුළුවන් කොහොමද? යේසුස්ගේ නියෝජිතයෙක් වුණ පාවුල් දෙවිගේ බලයේ උපකාරයෙන් කොලොස්සි පොතේ අපිට උපදෙස් දෙන්නේ අනිත් අය කරන දේවල් ඉවසලා ඒ අයට සමාව දෙන්න කියලයි. මීට අවුරුදු දෙදාහකට විතර කලින් දුන්න ඒ උපදෙස අදටත් අදාළයි. අපි දැන් පාවුල් කිව්ව ඒ දේ ගැන සලකලා බලමු.
‘අන් අය කරන දේ ඉවසන්න.’ ඉවසීම තියෙන ක්‍රිස්තියානීන් “අනිත් අය තමන්ව කේන්ති කරවන දේවල් හෝ තමන් අකමැති දේවල් කළත් ඒවා දරාගන්නවා” කියලා එක පොතක විස්තර කරලා තියෙනවා. ඒ බයිබල් පදයේ ඉවසන්න කියලා කියන්නේ “අන් අය” ගැනයි. ඒකෙන් අදහස් වෙන්නේ අනිත් අය කරන කියන සමහර දේවලට අපි අකමැති වෙන්න පුළුවන් කියලයි. ඒ වගේම අපි මතක තියාගන්න ඕන අපි කරන කියන සමහර දේවලට අනිත් අයත් අකමැති වෙන්න පුළුවන් කියලා. ඒ අය හා අපි අතර සාමය නැති කරගන්න අපි ඒ දේවල් හේතුවක් කරගන්නේ නැහැ. හැබැයි ඒ අය අපිට වරදක් කළොත් අපි මොනවද කරන්න ඕනේ?
“නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න.” මුළු හදවතින් සමාව දෙනවා කියන එක ගැන විද්වතෙක් පැවසුවේ මෙහෙමයි. “සමාව දෙනවා කියලා කියනවාට වඩා වැඩි දෙයක් කරන්න ඕනේ. ඒ කියන්නේ අවංක චේතනාවෙන් සම්පූර්ණයෙන්ම සමාව දෙන්න ඕන කියන එකයි.” ඒ වගේම එක පොතක මෙහෙමත් කියනවා. සමාව ලබන කෙනාට “සහනයක්, ප්‍රයෝජනයක්, යහපතක් වෙන්න ඕනේ.” “අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත්” අපිට වැරදි කරන අයට කැමැත්තෙන්ම සමාව දෙනවා නම් පෙන්වන්නේ අපි කරුණාවන්ත අය කියලයි. සමාව දෙන්න ඕන ඇයි? එක හේතුවක් නම් සමහරවිට අපිත් ඒ අයට වැරදි කරලා ඒ අයගෙන් සමාව ඉල්ලන්න ඉඩ තියෙන නිසයි.
“යෙහෝවා දෙවි ඔබට මුළු හදවතින්ම සමාව දී තිබෙන ආකාරයටම ඔබත් සමාව දෙන්න.” අපි අනිත් අයට සමාව දෙන්න ඕන වැදගත්ම හේතුව යෙහෝවා දෙවියන් අපිට මුළු හදවතින්ම සමාව දෙන නිසයි. (මීකා 7:18) පසුතැවිලි වෙන පව්කාරයන්ට යෙහෝවා දෙවියන් සමාව දෙන එක ගැන හිතලා බලන්න. දෙවියන් කවදාවත් වැරදි කරන්නේ නැති නිසා දෙවියන්ට කාගෙන්වත් සමාව අවශ්‍ය නැහැ. ඒ වුණත් පසුතැවිලි වෙන පව්කාරයන්ට යෙහෝවා දෙවියන් සම්පූර්ණයෙන්ම හා කැමැත්තෙන්ම සමාව දෙනවා. සමාව දීම සම්බන්ධයෙන් හොඳම ආදර්ශය යෙහෝවා දෙවියි!
සමාව දීම සම්බන්ධයෙන් හොඳම ආදර්ශය යෙහෝවා දෙවියි!
යෙහෝවා දෙවියන් දයාවන්ත කෙනෙක් නිසා නිතැතින්ම අපි ඔහුට කිට්ටු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔහුව අනුකරණය කරන්නත් අපි පෙලඹෙනවා. (එෆීස 4:32–5:1) මේ ගැන ටිකක් හිතන්න. ‘යෙහෝවා දෙවියන් මුළු හදවතින්ම මට සමාව දෙනවා නම් මට විරුද්ධව වැරදි කරන කෙනෙක් අවංකව පසුතැවිලි වෙද්දී ඒ කෙනාට මං සමාව නොදී ඉන්න එක හරිද?’—ලූක් 17:3, 4.
ඔක්තෝබර් මාසයට නියමිත බයිබල් කියවීම
ගලාති 1-6; එෆීස 1-6; ෆිලිප්පි 1-4; කොලොස්සි 1-4; 1 තෙසලෝනික 1-5; 2 තෙසලෝනික 1-3; 1 තිමෝති 1-6 සිට 2 තිමෝති 1-4 දක්වා