Skip to content

පටුනට යන්න

නැවත නැඟිටීම - ප්‍රීතිමත් බලාපොරොත්තුවක්

නැවත නැඟිටීම - ප්‍රීතිමත් බලාපොරොත්තුවක්

අපි හුඟක් ආදරය කරපු අය නැවත නැඟිට්ටාම ඒ අයත් එක්ක ආපහු එකතු වෙන්න ලැබෙන එක ගැන හිතන්න. ඒක කොයි තරම් ප්‍රීතිමත් අවස්ථාවක් වෙයිද! මිය ගිය අය නැවත නැඟිටිනවා කියලා බයිබලයේ තියෙන පොරොන්දුව ඔබ විශ්වාස කරනවාද? *

යේසුස්ගේ නියෝජිතයන්ට නම් නැවත නැඟිටීම ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඒකට අඩුම තරමින් හේතු දෙකක්වත් බලපාන්න ඇති. පළවෙනි හේතුව තමයි යේසුස්ගේ නැවත නැඟිටීම. යේසුස්ගේ නියෝජිතයන් වගේම “සහෝදරයන් පන්සියදෙනෙකුට වඩා වැඩි පිරිසක්” නැවත නැඟිට්ට යේසුස්ව දැක්කා. (1 කොරින්ති 15:6) සුවිශේෂ පොත් හතරේ සඳහන් වෙන විදිහට එදා හිටපු හුඟදෙනෙක් යේසුස් නැවත නැඟිට්ටා කියලා පිළිගත්තා.මතෙව් 27:62–28:20; මාක් 16:1-8; ලූක් 24:1-53; යොහන් 20:1–21:25.

දෙවෙනි හේතුව තමයි මිය ගිය අයව යේසුස් නැවත නැඟිටුවනවා නියෝජිතයන් දැකපු එක. අඩුම තරමින් නැවත නැඟිටුවීම් තුනක්වත් ඒ අය දැකලා තිබුණා. යේසුස් ඒවා කළේ නායින්, කපර්ණවුම හා බෙතානිය කියන ප්‍රදේශවලයි. (ලූක් 7:11-17; 8:49-56; යොහන් 11:1-44) බෙතානියේදී යේසුස් නැවත නැඟිටෙව්වේ ඔහුට හුඟක් ළෙන්ගතු කෙනෙක් වුණු ලාසරුස්වයි. ඒ සිද්ධිය ගැන දැන් බලමු.

‘නැවත නැඟිටීම ලැබීමට මඟ මමයි’

ලාසරුස් මිය ගිහින් දවස් හතරකට පස්සේ යේසුස් බෙතානියට ආවා. ඒ වෙලාවේ ලාසරුස්ගේ සහෝදරිය වුණු මාර්තාව මුණගැහුණාම යේසුස් ඇයට කිව්වා “ඔබේ සහෝදරයා අනිවාර්යයෙන්ම නැඟිටියි” කියලා. එතකොට මාර්තා කිව්වා “ඔහු නැඟිටින බව මම දන්නවා” කියලා. මාර්තා එහෙම කිව්වේ අනාගතයේදී නැවත නැඟිටීම සිද්ධ වෙන කාලයේදී ලාසරුස්ව නැවත නැඟිටුවනවා කියලා හිතාගෙනයි. එතකොට යේසුස් කිව්වා “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ මමයි” කියලා. ඊටපස්සේ ඔහු ලාසරුස්ව නැවත නැඟිටෙව්වාම මාර්තා කොයි තරම් පුදුම වෙන්න ඇද්ද!යොහන් 11:23-25.

හුඟක් අය හිතනවා මැරුණාට පස්සේ ආත්මයක් ශරීරයෙන් පිට වෙලා යනවා කියලා. ඒත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. මොකද ලාසරුස් නැවත නැඟිටුණාට පස්සේ කිව්වේ නැහැ එයා වෙන කොහේ හරි තැනකට ගියා කියලා. ලාසරුස් ස්වර්ගයට ගියා නම් දෙවියන් එක්ක ඉන්න ඉඩ නොදී එයාව මේ පොළොවට ගෙනාපු එක අපරාධයක් නෙමෙයිද? ඒකෙන් පැහැදිලි වෙන්නේ මැරුණාට පස්සේ ලාසරුස් දවස් හතරක් පුරා හිටියේ මුකුත් නොදැනෙන මරණ නින්දේ කියලයි.දේශනාකාරයා 9:5, 10.

ලාසරුස්ගේ මරණය ගැන දැනගත්ත යේසුස් කිව්වේ ලාසරුස් නිදාගෙන ඉන්නවා කියලයි. ඒ ගැන බයිබලයේ මෙහෙම වාර්තා වෙනවා. “‘අපේ මිත්‍ර ලාසරුස් නිදාගෙන සිටියි. මම දැන් යන්නේ ඔහුව නින්දෙන් අවදි කරන්නයි.’ එවිට ගෝලයෝ, ‘ස්වාමීනි, ඔහු නිදාගෙන සිටිනවා නම් ඔහු සනීප වී නැඟිටියි’ කියා කීවෝය. යේසුස් කතා කරමින් සිටියේ ඔහුගේ මරණය ගැනයි. නමුත් ඔවුන් සිතුවේ ලාසරුස් නිදාගෙන විවේක ගන්නා බවයි. එමනිසා යේසුස් ඔවුන්ට පැහැදිලිවම මෙසේ කීවේය. ‘ලාසරුස් ඇත්තටම මැරිලා.’” (යොහන් 11:11-14) යේසුස්, ලාසරුස්ව නැවත නැඟිටෙව්ව නිසා පවුලේ අයත් එක්ක ආපහු එකතු වෙන්න එයාට පුළුවන් වුණා. ඒ වෙලාවේ ලාසරුස්ගේ පවුලේ අය කොයි තරම් සතුටු වෙන්න ඇද්ද!

යේසුස් පොළොවේ ඉද්දී මිය ගිය අයව නැවත නැඟිටවීමෙන් පෙන්නුවේ දේවරාජ්‍යයේ රජු හැටියට පොළොව පාලනය කරන කාලයේදී ඔහු කරන්න යන දේයි. * ඒ කාලයේදී මිය ගිය අයව යේසුස් නැවත නැඟිටුවනවා. ‘නැවත නැඟිටීම ලැබීමට මඟ මමයි’ කියලා යේසුස් කිව්වේ ඒ නිසයි. ඔබ හුඟක් ආදරය කරපු අය නැවත නැඟිටිද්දී ඔබ කොයි තරම් සතුටු වෙයිද! ඔබට විතරක් නෙවෙයි නැවත නැඟිටලා එන අයටත් මොන තරම් සතුටක් දැනෙයිද!ලූක් 8:56.

ඔබ හුඟක් ආදරය කරපු අය නැවත නැඟිටිද්දී ඔබ කොයි තරම් සතුටු වෙයිද!

‘මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තාට ජීවනය ලැබෙයි’

මාර්තාට යේසුස් කිව්වා “මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා මිය ගියත් ඔහුට නැවත ජීවනය ලැබෙයි. ජීවත්ව සිටින ඕනෑම කෙනෙක් මා කෙරෙහි විශ්වාසය තැබුවොත් ඔහු කිසි කලක මිය යන්නේ නැහැ” කියලා. (යොහන් 11:25, 26) යේසුස් දේවරාජ්‍යයේ රජු හැටියට පොළොව පාලනය කරද්දී නැවත නැඟිටුවන අය යේසුස් කෙරෙහි විශ්වාසය තබනවා නම් ඒ අයට නොමැරී සදාකාලයටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.

“මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා මිය ගියත් ඔහුට නැවත ජීවනය ලැබෙයි.”යොහන් 11:25.

ඒ වැදගත් දේ කිව්වාට පස්සේ යේසුස් මාර්තාගෙන් මේ ප්‍රශ්නය ඇහුවා. “ඔබ මේ දේ විශ්වාස කරනවාද?” එතකොට මාර්තා කිව්වා “ස්වාමීනි, මට එය විශ්වාසයි. ඔබ දෙවිගේ පුත් ක්‍රිස්තුස් බවත් ලෝකයට එන්න සිටින තැනැත්තා ඔබ බවත් මම විශ්වාස කරනවා” කියලා. (යොහන් 11:26, 27) මාර්තාට නැවත නැඟිටීම ගැන තිබුණා වගේ විශ්වාසයක් ඔබටත් තියෙනවාද? ඒ වගේ විශ්වාසයක් ඇති කරගන්න නම් මිනිසුන් සඳහා දෙවියන් අරමුණු කරලා තියෙන දේ ගැන දැනගන්න ඕනේ. (යොහන් 17:3; 1 තිමෝති 2:4) නැවත නැඟිටීම කියන විෂය ගැන බයිබලයේ තියෙන තොරතුරු දැනගන්න ඔබ කැමතිද? එහෙමනම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් ඒ ගැන දැනගන්න.

^ 2 ඡේ. මේ සඟරාවේ 6වෙනි පිටුවේ “මරණය ජීවිතයේ අවසානය නෙමෙයි” යන ලිපිය කියවන්න.

^ 9 ඡේ. නැවත නැඟිටීම ගැන වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 7වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.