ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
ඔහු අසාධාරණකම් මැද නොසැලී සිටියා
එලියා හොරෙබ් කන්දේ සිට දුර කතර ගෙවාගෙන උතුරු දෙසට වෙන්න පිහිටි ආබෙල්-මෙහෝලා බලා ගමන් කරමින් සිටිනවා. ගමන අතරවාරයේ තම උපන් බිමට පැමිණෙන එලියා දකින්නේ සැබෑ වෙනසක්. දිගු කාලයක් පුරා පැවති නියඟය අවසන් වී වැසි කාලය උදා වෙලා. ගොවියන් ලහිලහියේ තම කෙත්වල වැඩ පටන්ගෙන. දේශයට හොඳ කලක් උදාවී ඇති බව දකින එලියා සතුටු වුණත් ඔහු වැඩියෙන්ම සිතන්නේ ඒ දේශයේ වැසියන් ගැනයි. ඔවුන් ගැන නම් ඔහුට සතුටු වෙන්න හේතුවක් නැහැ. බොහෝ අය යෙහෝවා දෙවියන්ගෙන් ඈත් වෙලා. බාල් දෙවියාට කළ නමස්කාරයත් දේශය පුරා පැතිරිලා. නොමඟ ගොස් සිටින මේ ජනයාව යහමඟට ගන්න එලියාට කිරීමට ඇති වැඩ කොටස සුළුපටු එකක් නෙවෙයි. *
ආබෙල්-මෙහෝලා නඟරයට ළඟා වූ එලියා ගොවිතැන් කටයුතු සිදු වෙන කෙත් යායක් දුටුවා. ගොන් බාන් 12ක් යොදාගෙන සීසාමින් සිටි පිරිස අතරේ අවසාන ගොන් බාන දක්කමින් සිටියේ එලිෂායි. එලියාගෙන් පසුව වැඩ කොටස කිරීමට දෙවියන් තෝරාගෙන තිබුණේ ඔහුවයි. එලියා පැමිණියෙත් ඔහුව මුණගැසීමටයි. මේ හමු වීම නිතැතින්ම එලියාගේ සිතට සතුටක් ගෙනෙන්න ඇති. මන්ද එලියා සිතුවේ දෙවියන්ට විශ්වාසවන්තව නොසිටි සෙනඟක් අතරේ තමන් තනි වී ඇති බවයි.—1 රාජාවලිය 18:22; 19:14-19.
තමන්ගේ වගකීම්, වරප්‍රසාද තව කෙනෙකු සමඟ බෙදාගන්න එලියා අදිමදි කරන්න ඇද්ද? යම් දිනක එලිෂා තමන්ගේ තැන ගනියි කියා එලියා දුක් වෙන්න ඇද්ද? ඒ ගැන නිශ්චිතවම පවසන්න බැහැ. එවැනි හැඟීම් ඔහු තුළ ඇති වුණේ නැහැ කියා පවසන්නත් බැහැ. මන්ද ඔහුත් ‘අප හා සමාන හැඟීම් ඇති මිනිසෙක්.’ (යාකොබ් 5:17) කොහොමනමුත් බයිබලයේ පවසන්නේ “එලියා ඔහු වෙතට ගොස් තමාගේ පිට වස්ත්‍රය එලිෂාට ඇන්දුවේය” කියායි. (1 රාජාවලිය 19:19) එලියාගේ එම නිල වස්ත්‍රය බැටළු හෝ එළු සම්වලින් සෑදූ ලොම් සහිත එකක් වෙන්න ඇති. ඉන් සංකේතවත් වුණේ දෙවියන්ගෙන් එලියාට විශේෂ පැවරුමක් ලැබී තිබුණු බවයි. එසේනම් එම වස්ත්‍රය එලිෂාට ඇන්දවීමෙන් අදහස් වෙන්නේ එලිෂාව විශේෂ පැවරුමකට පත් කළ බවයි. තමන්ගෙන් පසු පැවරුම භාරගැනීමට එලිෂාව පත් කරන්න කියා දෙවියන් දුන් අණ එලියා එලෙසින්ම ඉටු කළා. ඔහුගේ කීකරුකමත් දෙවියන් කෙරෙහි තිබූ විශ්වාසයත් එයින් ඔප්පු වුණා.
එලිෂා, වසර හයක පමණ කාලයක් පුරා තමන්ට වඩා වයසින් වැඩි එලියා සමඟ සිටිමින් ඔහුට කැමැත්තෙන්ම සහයෝගය දුන්නා. ‘එලියාට අත් සෝදන්න වතුර වත් කළ තැනැත්තා’ ලෙස පසුකාලයේදී ඔහු ප්‍රසිද්ධ වීම පුදුමයක් නොවෙයි. (2 රාජාවලිය 3:11) එලිෂා වැනි කෙනෙකු සිටීම එලියාට ලොකු සැනසීමක් වෙන්න ඇති. ආහබ් රජුගේ දුෂ්ටකම් අන්තයටම ගොස් අයුක්තිය, අසාධාරණය දසත පැතිරී තිබුණු වකවානුවක එලියා සහ එලිෂා එකිනෙකාව දිරිගන්වාගනිමින් ශක්තිමත් වෙන්න ඇති. ඔවුන් අතර කිට්ටු මිතුදමක් ඇති වූ බව සිතිය හැකියි.
ඔබත් අයුක්තියකට, අසාධාරණයකට මුහුණ දී තිබෙනවාද? අසාධාරණය රජයන මේ ලෝකයේ වැඩිදෙනෙක් ඊට මුහුණ දෙනවා. නමුත් දෙවියන්ට විශ්වාසවන්තව සිටින හොඳ මිතුරෙක් ඔබට සිටිනවා නම් එවැනි අසාධාරණකම් දරාගන්න ඒ මිතුරා ඔබට උපකාර කරයි. ඒ වගේම එලියාගේ විශ්වාසය ආදර්ශයට ගැනීමෙන්ද එවැනි අසාධාරණකම්වලට හොඳින් මුහුණ දෙන්න ඔබට හැකි වෙයි.
“ආහබ්ව හමු වීමට දැන්මම යන්න”
දෙවියන් හා කිට්ටු මිත්‍රත්වයක් ගොඩනඟාගන්න ජනයාට උපකාර කිරීමට එලියා සහ එලිෂා වෙහෙසුණා. පෙනෙන විදිහට වෙනත් අනාගතවක්තෘවරුන්ව පුහුණු කර ඒ අයව කණ්ඩායමක් හෝ පංතියක් ලෙස සංවිධානය කරන්නත් ඔවුන් පියවර ගෙන තිබුණා. කාලයක් යද්දී එලියාට තවත් පැවරුමක් ලැබුණා. “ඊශ්‍රායෙල්හි රජු වන ආහබ්ව හමු වීමට දැන්මම යන්න” කියා දෙවියන් පැවසුවා. (1 රාජාවලිය 21:18) ඒ ඇයි?
ආහබ්, ඊශ්‍රායෙල් රාජ වංශයෙන් එතෙක් බිහි වී සිටි දුෂ්ටම රජයි. යෙසබෙල් හා විවාහ වූ ඔහු දේශය පුරා බාල් නමස්කාරය පතුරුවමින් ඊට හවුල් වුණා. (1 රාජාවලිය 16:31-33) බාල් නමස්කාරයට ලිංගික ක්‍රියා, දරුවන්ව පූජා කිරීම ඇතුළු තවත් පිළිකුල්සහගත වත්පිළිවෙත් ඇතුළත් වුණා. සිරියාවේ දුෂ්ට බෙන්-හාදද් රජුව මරා දමන්න කියා දෙවියන් දුන් පැහැදිලි අණද ආහබ් කඩ කර තිබුණා. පෙනෙන විදිහට ඔහු එසේ කළේ වාසි ප්‍රයෝජන තකායි. (1 රාජාවලිය 20වෙනි පරිච්ඡේදය) ආහබ්ගේ සහ යෙසබෙල්ගේ දේපළ තණ්හාවත් දුෂ්ටකමත් කෙතරම්ද කියා පෙන්වන තවත් සිද්ධියක් ඊළඟට සිදු වුණා.
ආහබ්ට සමාරියේ සුවිසල් මාලිගයක් තිබුණා. ඉන් කිලෝමීටර් 37ක් පමණ ඈතින් වූ යෙෂ්‍රෙයෙල් නගරයෙත් ඔහුට මාලිගයක් තිබුණා. ආහබ් අයිති කරගන්න හීන මැව්ව නාබොත්ගේ මිදිවත්ත තිබුණේ ඒ මාලිගය කිට්ටුවෙනුයි. ඔහු නාබොත්ව හමු වී ඒ මිදිවත්ත දුන්නොත් ඒ වෙනුවෙන් මුදල් හෝ වෙන මිදිවත්තක් ලබා දෙන බවට පොරොන්දු වුණත් නාබොත් ඔහුට පැවසුවේ මෙයයි. “රජතුමනි, මම ඒ වගේ දෙයක් කළොත් යෙහෝවා දෙවි එය කොහොමටවත් අනුමත කරන්නේ නැහැ. ඒ නිසා මගේ මුතුන්මිත්තන්ගෙන් මට ලැබුණු උරුමය ඔබට දෙනවා තියා එවැනි දෙයක් කරන එක ගැන හිතන්නවත් බැහැ.” (1 රාජාවලිය 21:3) නාබොත්, රජුට අකීකරු වුණා කියා සමහරු සිතයි. නමුත් ඇත්තෙන්ම ඔහු කළේ දෙවියන්ගේ නීතියට කීකරු වීමයි. මන්ද නීතියට අනුව උරුමයෙන් ලැබුණ ඉඩමක් සදහටම විකිණීම වැරදි දෙයක් වුණා. (ලෙවී කතාව 25:23-28) රජුගේ කීමට පිටුපෑම අවදානම් බව දැන සිටියත් නාබොත් දෙවියන්ගේ නීතිය කඩ කළේ නැහැ. ඔහු ශක්තිමත් විශ්වාසයක් තිබුණු නිර්භීත මිනිසෙක් බව ඉන් ඔප්පු වුණා.
ආහබ් දෙවියන්ගේ නීතිය සතේකටවත් මායිම් කළේ නැහැ. නාබොත් පැවසූ දේ ගැන ‘අමනාප වූ ඔහු බොහෝ සෙයින් කලකිරී, නොකා නොබී තම ඇඳට වී කල්පනා කරමින් සිටියා.’ (1 රාජාවලිය 21:4) පුංචි දරුවෙක් මෙන් තරහෙන් මුහුණ එල්ලගෙන සිටි තම සැමියාව දුටු යෙසබෙල් ඔහුගේ ආශාව ඉටු කර දෙන්න දුෂ්ට කුමන්ත්‍රණයක් දියත් කළා.
දෙවිගේ නීතියට අනුව කෙනෙක් වරදකරුවෙක් කියා ඔප්පු කිරීමට සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි අවශ්‍ය බව යෙසබෙල් රැජින දැන සිටියා. (ද්විතීය කතාව 19:15) ඒ නිසා දෙවිටත් රජුටත් නාබොත් ශාප කළා යන බොරු චෝදනාව නඟන්න පුළුවන් මිනිසුන් දෙදෙනෙකුව සොයන්න කියා ඇය වැඩිමහල්ලන්ට සහ වංශවත් අයට ආහබ් රජුගේ නමින් ලිපි යැව්වා. ඇගේ කුමන්ත්‍රණය සාර්ථකයි. “කිසි වැදගැම්මකට නැති” දෙදෙනෙක්ගේ බොරු සාක්ෂි මත නාබොත්ට මරණ දණ්ඩනය නියම කර ඔහුව ගල් ගසා මරා දැමුවා. ඔහුගේ පුතුන්වත් මරා දැමුවා. * (1 රාජාවලිය 21:5-14; ලෙවී කතාව 24:16; 2 රාජාවලිය 9:26) ආහබ් පවුලේ මූලිකත්වය නොදරා යෙසබෙල්ට කැමති කැමති ලෙස වැඩ කිරීමට ඉඩහැරීමේ ප්‍රතිඵලය, අහිංසක පවුලක් නිරපරාදේ නැති වීමයි.
ආහබ් සහ යෙසබෙල් කළ දේ යෙහෝවා දෙවියන් හෙළි කළ විට එලියාට කෙසේ හැඟෙන්න ඇද්ද? දුෂ්ට මිනිස්සු අසරණයන්ව තළාපෙළා දැමීම මොන තරම් දුකක්ද! (ගීතාවලිය 73:3-5, 12, 13) අදත් එවැනි දේවල් ඕන තරම් සිදු වෙනවා. ඇතැම්විට එවැනි දේ කරන්නේ දෙවියන්ගේ නියෝජිතයන්යයි කියාගන්නා වූ බලවත් මිනිසුන්මයි. නමුත් බයිබලයේ සඳහන් මේ සිද්ධිය කියවා බැලීමෙන් අපට සැනසීමක් ලබන්න පුළුවන්. මන්ද යෙහෝවා දෙවියන්ගෙන් කිසිවක් සඟවන්න බැහැ කියා එය අපට සිහිගන්වනවා. (හෙබ්‍රෙව් 4:13) අසාධාරණකම් හමුවේ යෙහෝවා දෙවියන් ඇස් කන් පියාගෙන සිටියිද?
“එලියා, ඔබ ආයෙත් ආවද මාව හමු වෙන්න”
මිදිවත්ත දැන් අයිති ඔබටයි කියා යෙසබෙල් කියූ සැණින් ආහබ් මිදිවත්තට ගියා. ඒ අතරවාරයේ දෙවියන් එලියාට මෙසේ පැවසුවා. “ආහබ්ව හමු වීමට දැන්මම යන්න. ඔහු දැන් ඉන්නේ නාබොත්ගේ මිදිවත්තේ.” (1 රාජාවලිය 21:18) මිදිවත්තේ එහා මෙහා ඇවිදිමින් එය ලස්සන උයනක් කරන්න ආහබ් සිහින මවන ආකාරය ඔබට සිතින් මවාගන්න පුළුවන්ද? දෙවියන්ට සියල්ල පෙනෙන බව ආහබ්ගේ මතකයටවත් ආවේ නැහැ. ඒත් ඔහුගේ සිහින මාලිගාව බිඳ වැටෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. එලියාව දුටු සැණින් සතුටින් පිරී තිබුණු ආහබ්ගේ මුහුණ වෙනස් වී වෛරය සහ කෝපය මතු වුණා. “එලියා, ඔබ ආයෙත් ආවද මාව හමු වෙන්න” කියා ඔහු ඇසුවා. (1 රාජාවලිය 21:20) මුල් හෙබ්‍රෙව් භාෂාවට අනුව ආහබ් ඒ අවස්ථාවේ එලියාව ආමන්ත්‍රණය කළේ සතුරා කියායි. එක් පරිවර්තනයක ඔහු පැවසූ දේ සඳහන් වෙන්නේ ‘අහෝ මාගේ සතුර, නුඹ මා සොයාගත්තෙහිද’ කියායි.—පැරණි අනුවාදය.
ඒ වදන්වලින්ම ආහබ්ගේ අනුවණකම් දෙකක් හෙළි වෙනවා. එකක් නම් ‘නුඹ මා සොයාගත්තෙහිද’ කියා පැවසීමෙන් දෙවියන් එලියාව එවා ඇති බව ආහබ්ට සම්පූර්ණයෙන්ම අමතක වී තිබීමයි. නමුත් ආහබ් කළ සියල්ල දෙවියන් දැක තිබුණා. තීරණ ගන්න දෙවියන් දී තිබුණු නිදහස ඔහු වැරදි විදිහට භාවිත කළ ආකාරයත් යෙසබෙල්ගේ කූට කුමන්ත්‍රණය සාර්ථක වීමෙන් තමන් ලද දේ ගැන ඔහු සතුටු වූ ආකාරයත් දෙවියන් දුටුවා. යුක්තිය, දයාව සහ සාධාරණය යටපත් කර මිදිවත්තක් ලබාගැනීමේ තණ්හාව ආහබ්ගේ සිත තුළ මුදුන්පත් වූ ආකාරයත් දෙවියන් දුටුවා. අනික් අනුවණකම නම් තමන්ව යහමඟට ගන්න හැකියාව තිබූ යෙහෝවා දෙවියන්ගේ මිතුරා වූ එලියාව සතුරෙක් ලෙස සැලකීමයි.
ආහබ්ගේ අනුවණකම්වලින් අපටත් පාඩම් ඉගෙනගත හැකියි. යෙහෝවා දෙවියන්ට සියල්ල පෙනෙන බව ආහබ් අමතක කළා වගේ අප කිසිදා අමතක නොකරමු. අපි හරි මාර්ගයෙන් ඉවතට යන විට අපේ ප්‍රේමණීය පියාණන් වන දෙවියන් එය දකිනවා. ඔහුගේ ආශාව යළිත් අපි නිවැරදි මාර්ගයේ ගමන් කරනවා දැකීමයි. අපව හරි මාර්ගයට ගැනීම සඳහා එලියා හා සමාන තම මිතුරන්ව දෙවියන් යොදාගන්නවා. දෙවිගේ වචනයෙන් මඟ පෙන්වීම් ගීතාවලිය 141:5.
ලබා දෙන එවැනි අයව අපේ සතුරන් විදිහට සැලකීම මොන තරම් අනුවණකමක්ද!—ආහබ් පැවසූ දේට පිළිතුරු වශයෙන් එලියා පැවසුවේ මෙයයි. “මා ඔබව හමු වීමට ආවේ මේ දේ කියන්නයි.” ආහබ් සොරෙක් බවත් මිනී මරුවෙක් බවත් දෙවියන්ට විරුද්ධව කැරලිගසන කෙනෙක් බවත් එලියා හොඳාකාරව දැන සිටියා. එවැනි කෙනෙක් ඉදිරියට ගොස් දෙවියන්ගෙන් ලැබෙන දඬුවම ගැන පවසන්න එලියාට මොන තරම් නිර්භීතකමක් තියෙන්න ඇද්ද! ආහබ්ගේ පවුලේ අයගේ නපුරුකම් නිසා ජනතාව වින්ද දුක දෙවියන් දැක තිබුණා. ආහබ්ගේ පවුලේ ලොකු කුඩා සියලුදෙනාවම එනම් මුළු රාජ වංශයම ‘විනාශ කර දැමීමට’ දෙවියන් තීරණය කර ඇති බව එලියා දැනුම් දුන්නා. යෙසබෙල්ටත් ගැලවීමක් නැහැ.—1 රාජාවලිය 21:20-26.
දුෂ්ටකම් කරකර කෙනෙක්ට දිගටම යහතින් ඉන්න පුළුවන් කියා එලියා සිතුවේ නැහැ. නමුත් අද සිදු වෙන දේවල් දෙස බලද්දී කෙනෙක්ට සිතෙන්න පුළුවන් දුෂ්ටකම් කරන අය දිගටම යහතින් ඉන්නවා කියලා. ඒත් දෙවියන්ට දුෂ්ටකම් පෙනෙනවා පමණක් නොව නියමිත කාලය පැමිණි විට ඔහු යුක්තිය ඉටු කරනවා කියාත් මේ සිද්ධිය අපට සිහිගන්වනවා. බයිබලයේ සඳහන් වෙන ආකාරයට දෙවියන් සියලුම දුෂ්ටකම්වලට නිමාවක් ගෙනෙන දවස වැඩි ඈතක නැහැ. (ගීතාවලිය 37:10, 11) නමුත් ඔබට මෙසේ සිතෙන්න පුළුවන්. ‘දෙවියන් දඬුවම් කරන කෙනෙක් විතරද? විනිශ්චය ක්‍රියාත්මක කරද්දී ඔහු කිසිම දයාවක් පෙන්වන්නේ නැද්ද?’
“දුක් වෙමින් සිටින ආහබ්ව ඔබ දුටුවෙහිද?”
තමන්ට නියම වූ දඬුවම ගැන ඇසූ පසු ආහබ් කළ දේ ගැන එලියා පුදුම වෙන්න ඇති. ආහබ් කළ දේ බයිබලයේ සඳහන් වෙන්නේ මෙසේයි. “ඔහු තම වස්ත්‍ර ඉරාගෙන ගෝණි රෙදි ඇඳගෙන, නිරාහාරව සිටියේය. ඔහු විටෙක ගෝණි රෙදි මත වැතිර සිටියේය. තවත් විටෙක බොහෝ සේ කලකිරී ඒ මේ අත ඇවිද්දේය.” (1 රාජාවලිය 21:27) ඇත්තටම ආහබ් තමන් කළ වැරදි ගැන පසුතැවුණාද?
ආහබ් යම් දුරකට වෙනස් වූ බව ඇත්තයි. ඔහු තමන්ගේ වැරදි පිළිගෙන දුක් වුණා. එය පහසු දෙයක් නොවන්න ඇති. මන්ද ඔහු ඉතා අහංකාර, උද්දච්ච කෙනෙක්. ඒත් ආහබ් තමන් කළ වැරදි ගැන අවංකවම පසුතැවුණාද? එය තේරුම්ගැනීමට ආහබ්ටත් වඩා දුෂ්ටකම් කළායයි සිතිය හැකි මනස්සේ රජු ගැන අපි මදක් සිතමු. මනස්සේ රජ දුෂ්ටකම් කර දෙවියන්ගෙන් දඬුවම් ලැබූ විට තමන්ගේ වැරදි පිළිගත්තා. තමන්ට දයාව පෙන්වන්න කියා දෙවියන්ට කන්නලව් කළා. ඒ විතරක් නෙමෙයි ඔහු තවත් දේවල් කළා. තමන් ඉදි කළ සියලුම රූප කඩා බිඳ දමා මුළු හදින්ම දෙවියන්ට නමස්කාර කරන්නත් ඔහු පියවර ගත්තා. ඒ වගේම එසේ කිරීමට ජනතාවවත් දිරිගැන්වුවා. (2 ලේකම් 33:1-17) නමුත් ආහබ් එවැනි වෙනස්කම් කළේ නැහැ.
ආහබ් තමන්ගේ වැරදි ගැන ප්‍රසිද්ධියේම දුක් වූ විට දෙවියන් එය දුටුවාද? ඔව්. දෙවියන් එලියාට මෙසේ පැවසුවේ ඒ නිසයි. “මා කී දේ නිසා නිහතමානීව තම වරද පිළිගෙන ඒ ගැන දුක් වෙමින් සිටින ආහබ්ව ඔබ දුටුවෙහිද? ඔහු මා කී දේ අසා යටහත්පහත් වූ නිසා මම ඔහුගේ පවුල පිට ගෙනෙන විපත ඔහුගේ ජීවිත කාලයේදී සිදු නොකරන්නෙමි. ඔහුගේ පුත්‍රයාගේ කාලයේදී එය සිදු වීමට සලස්වන්නෙමි.” (1 රාජාවලිය 21:29) ආහබ් අවංකව පසුතැවුණේ නැති නිසා දෙවියන් ඔහුට සමාව දුන්නේ නැහැ. මන්ද දෙවියන් සමාව දෙන්නේ වැරදි ගැන අවංකවම පසුතැවී ඒවා අත්හරින අයටයි. (එසකියෙල් 33:14-16) නමුත් ඔහු යම් තරමකට දුක් වූ නිසා ඊට සරිලන ලෙස දෙවියන් ඔහුට දයාව පෙන්වුවා. ඒ කොහොමද? ඔහුගේ පවුලේ අයට සිදු වෙන දරුණු විපත දකින්න ඔහුට ඉඩ නොතැබීමෙන්.
ආහබ්ට නියම කළ දඬුවම දෙවියන් වෙනස් කළේ නැහැ. ආහබ්ගේ ජීවිතය අවසන් කිරීම සඳහා ඔහුව යුද්ධයකට යන්න පොලඹවන්නේ කොහොමද කියලා යෙහෝවා දෙවියන් දේවදූතයන්ගෙන් විමසුවා. එහි ප්‍රතිඵලයක් ලෙස ආහබ් යුද්ධයකට ගොස් දරුණු ලෙස තුවාල වුණා. අවසානයේදී ලේ ගලා ඔහු රාජකීය අශ්ව රථයේම මිය ගියා. ඔහුගේ අශ්ව රථය සේදූ අවස්ථාවේ බල්ලන් ආහබ්ගේ රුධිරය ලෙව කෑවා. එලෙස යෙහෝවා දෙවියන් එලියා මාර්ගයෙන් ආහබ්ට පැවසූ මේ වදන් ඉටු වුණා. “බල්ලෝ නාබොත්ගේ ලේ ලෙව කෑ තැනම ඔබේ ලේත් ලෙව කන්නෝය.”—1 රාජාවලිය 21:19; 22:19-22, 34-38.
ආහබ්ගේ මරණයෙන්, එලියාටත් එලිෂාටත් දෙවියන්ට විශ්වාසවන්තව සිටි අන් සියලුදෙනාටත් සිහිපත් කළේ නාබොත්ගේ නිර්භීතකම සහ විශ්වාසය දෙවියන්ට අමතක නොවූ බවයි. යුක්තිසහගත දෙවියන් වන යෙහෝවා කිසිම අවස්ථාවක දුෂ්ටයන්ට දඬුවම් කරන්න පසුබට වෙන්නේ නැහැ. ඒ වගේම විනිශ්චය ක්‍රියාත්මක කරද්දී දෙවියන්ට දයාව පෙන්වන්න පදනමක් තියෙනවා නම් ඔහු එසේ නොකර සිටින්නේද නැහැ. (ගණන් කතාව 14:18) දශක ගණනාවක් තිස්සේ ආහබ්ගේ අසාධාරණ පාලනයෙන් බැට කෑ එලියාට එය මොන තරම් වටිනා පාඩමක් වෙන්න ඇද්ද? ඔබත් අසාධාරණකම්වලට මුහුණ දෙනවාද? යෙහෝවා දෙවියන් යුක්තිය ඉටු කරන තුරු ඔබත් ආශාවෙන් බලා සිටිනවාද? එසේනම් එලියාගේ විශ්වාසය ඔබත් ආදර්ශයට ගන්න. මොන තරම් අසාධාරණකම්වලට මුහුණ දීමට සිදු වුණත් එලිෂා හා එක්ව ඔහු දිගටම දෙවියන්ගේ පණිවිඩය මිනිසුන්ට ප්‍රකාශ කළා.
^ 3 ඡේ. බාල්ව හැඳින්වුවේ වර්ෂාව සහ සශ්‍රීකත්වය ගෙනෙන දෙවියන් ලෙසයි. නමුත් යෙහෝවා දෙවියන් අවුරුදු තුනහමාරක් පුරා නියඟයක් ඇති කිරීමෙන් බාල් දෙවියාට කිසිම බලයක් නැහැ කියා පෙන්වුවා. (1 රාජාවලිය 18වෙනි පරිච්ඡේදය) 2008 ජනවාරි 1 සහ අප්‍රියෙල් 1 ‘මුරටැඹ’ සඟරාවල “ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරන්න” යන ලිපි බලන්න.
^ 13 ඡේ. නාබොත්ගේ පුතුන්වත් යෙසබෙල් මරා දමන්න ඇත්තේ නාබොත්ගෙන් පසු ඔවුන්ට ඒ මිදිවත්ත අයිති වෙයි කියා ඇය සිතූ නිසා විය හැකියි. එවැනි දේකට දෙවියන් ඉඩහැරියේ ඇයි කියා දැනගන්න මේ සඟරාවේ “පාඨකයන් අසයි” යන ලිපිය බලන්න.