Skip to content

පටුනට යන්න

ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක්

බයිබලයේ තියෙන්නේ මොනවාද?

බයිබලයේ තියෙන්නේ මොනවාද?

පහත සඳහන් වෙන්නේ රොමේෂ් කියන පුද්ගලයා හා බ්‍රයන් කියන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවා අතර ඇති වුණු සංවාදයක්.

බයිබලය ඉතිහාසය ගැන අකුරටම ලියවුණු පොතක්

රොමේෂ්: මං ආගමට ළැදි කෙනෙක් නෙමෙයි. ඉතින් මං හිතන්නේ නෑ අපිට එච්චර කතා කරන්න දෙයක් තියෙනවා කියලා.

බ්‍රයන්: අවංකවම ඔයාගේ අදහස කිව්ව එක ගැන මම අගය කරනවා. මගේ නම කියන්නත් බැරි වුණානේ. මම බ්‍රයන්. ඔයා?

රොමේෂ්: රොමේෂ්.

බ්‍රයන්: අඳුරගන්න ලැබුණ එක සතුටක්.

රොමේෂ්: මටත් එහෙමයි.

බ්‍රයන්: ඔයා පොඩි කාලෙදී ආගමට ළැදි කෙනෙක්ද?

රොමේෂ්: ඔව්, ඒත් විශ්වවිද්‍යාලෙට ගියාට පස්සේ ආගම අදහන එක නැවැත්තුවා.

බ්‍රයන්: ඇත්තද? විශ්වවිද්‍යාලෙදී මොනවාද ඉගෙනගත්තේ?

රොමේෂ්: සමාජ අධ්‍යයනයයි, ඉතිහාසයයි. මං ඉතිහාසය ගැන දැනගන්න හරි කැමතියි.

බ්‍රයන්: ඉතිහාසය ආසාවෙන් ඉගෙනගන්න පුළුවන් විෂයක් තමයි. ඔයා දන්නවාද බයිබලයත් ඉතිහාස පොතක්. ඉතිහාසය ගැන ඉගෙනගද්දී බයිබලයේ තියෙන ඉතිහාසය ගැනත් ඔයා හොයලා තියෙනවාද?

රොමේෂ්: නැහැ, ඒක හොඳ පොතක් කියලා නම් අහලා තියෙනවා. ඒකේ ඉතිහාසය ගැන තියෙනවා කියලා නම් අහලා නෑ.

බ්‍රයන්: ඔයා හැම දෙයක් ගැනම දැනගන්න කැමතියි වගේ. විනාඩි කීපයක් දෙන්න පුළුවන් නම් බයිබලයේ ඉතිහාසය ගැන අකුරටම ලියලා තියෙනවා කියන එකට උදාහරණ දෙක තුනක් පෙන්නන්න පුළුවන්.

රොමේෂ්: කමක් නෑ. හැබැයි මං ළඟ බයිබලයක් නම් නෑ.

බ්‍රයන්: මගේ එකෙන් පෙන්නන්නම්. අපි 1 ලේකම් 29වෙනි පරිච්ඡේදයේ 26යි 27යි කියවමු. “යෙස්සේගේ පුත් දාවිත්ගේ ජීවිත කතාව මෙසේ සාරාංශ කළ හැකිය. ඔහු මුළු ඊශ්‍රායෙල් සෙනඟ කෙරෙහිම රජකම් කළේය. ඊශ්‍රායෙල් සෙනඟව ඔහු අවුරුදු හතළිහක් පාලනය කළේය. ඔහු හෙබ්‍රොන් නුවරේ සිට අවුරුදු හතක්ද යෙරුසලමේ සිට අවුරුදු තිස්තුනක්ද පාලනය කළේය.”

රොමේෂ්: ඒකෙන් කොහොමද ඉතිහාසය අකුරටම ලියවුණා කියලා කියන්නේ?

බ්‍රයන්: එක කාලෙකදී විවේචකයෝ කිව්වා දාවිත් කියලා රජ කෙනෙක් හිටියේ නැහැ කියලා.

රොමේෂ්: ඇත්තද? ඇයි එයාලා එහෙම කිව්වේ?

බ්‍රයන්: දාවිත් කියන්නේ ඇත්තටම හිටිය කෙනෙක් කියලා ඔප්පු කරන්න වෙන සාක්ෂි තිබුණේ නැති හින්දා. ඒත් 1993දී පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් පුරාණ ගල් පුවරුවක් හොයාගත්තා. ඒකේ කොටලා තියෙන වචනේ තේරුම “දාවිත්ගේ පෙළපත” කියන එකයි.

රොමේෂ්: ඇත්තද?

බ්‍රයන්: හිටියා කියලා සැක කරන තවත් කෙනෙක් තමයි පොන්තියුස් පිලාත්. ලූක් 3වෙනි පරිච්ඡේදයේ 1වෙනි පදයේ එයා ගැන සඳහන් කරලා තියෙනවා. එයා යේසුස්ගේ කාලේ හිටපු පාලකයෙක්. ඒකේ, එයා ගැන පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා.

රොමේෂ්: ඔව්, ඒකේ කියන්නේ “ඒ වන විට යුදයෙහි ආණ්ඩුකාරයා වූයේ පොන්තියුස් පිලාත්ය. ගලීලයේ දේශාධිපති ලෙස කටයුතු කළේ හෙරොද්ය” කියලා.

බ්‍රයන්: සමහර උගතුන් අවුරුදු ගාණක් තිස්සේ කිව්වේ, පොන්තියුස් පිලාත් කියලා කෙනෙක් හිටියේ නැහැ කියලා. හැබැයි මීට අවුරුදු 50කට විතර ඉස්සෙල්ලා මැදපෙරදිගින් හොයාගත්ත ගල් පුවරුවක ඒ නම පැහැදිලිව කොටලා තිබුණා.

රොමේෂ්: මම ඒ ගැන අහලා තිබුණේ නෑනේ.

බ්‍රයන්: කොච්චර දෙයක්ද ඔයාත් එක්ක මේ දේවල් කතා කරන්න ලැබුණ එක!

රොමේෂ්: ඇත්තම කියනවා නම් මම බයිබලයට ගොඩක් ගරු කරනවා. ඉතිහාසය ගැන ඒකේ හරියටම කියලා ඇති. ඒත් ඒකේ අපේ ජීවිතවලට වැදගත් වෙන දෙයක් තියෙයි කියලා නම් මට හිතෙන්නේ නැහැ.

පරණ වුණත් තාමත් අලුත්

බ්‍රයන්: හුඟදෙනෙක්ට හිතෙන්නේ එහෙම තමයි. ඒත් මං හිතන්නේ ඊට වඩා වෙනස් විදිහට. උදාහරණෙකට කෑම බීම, ඇඳුම් පැළඳුම්, ඉඳුම්හිටුම් වගේ දේවල් එදා වගේම අදටත් අවශ්‍යයි නේද? පවුලේ අය සතුටෙන් ඉන්න නම් අදහස් හුවමාරු කරන එකත් අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයිද?

රොමේෂ්: ඒවා නැතුව බෑනේ.

බ්‍රයන්: ඒ හැම දෙයක් ගැනම බයිබලයේ මඟ පෙන්වීම් දීලා තියෙනවා. ඒ නිසයි ඒක පරණ වුණත් තාමත් අලුත් කියලා කියන්නේ.

රොමේෂ්: ඒ කිව්වේ?

බ්‍රයන්: සියවස් ගණනාවකට කලින් ඒකේ ලියලා තිබුණ ප්‍රතිපත්ති අදටත් ගැළපෙනවා.

සියවස් ගණනාවකට කලින් ඒකේ ලියලා තිබුණ ප්‍රතිපත්ති අදටත් ගැළපෙනවා

රොමේෂ්: ඒ කොයි වගේ ඒවාද?

බ්‍රයන්: මුදල් ගැන හරි ආකල්පයක් තියාගන්න එක, ප්‍රීතියෙන් පවුල් ජීවිතය ගත කරන එක, එතකොට හොඳ යාළුවෙක් වෙන එක වගේ දේවල් ගැන බයිබලයේ මඟ පෙන්වීම් තියෙනවා. ඒක අපේ ජීවිතයට පාර පෙන්නන සිතියමක් වගෙයි. ඒක නෙමෙයි, හොඳ ස්වාමිපුරුෂයෙක් වෙන එක, පවුලේ මූලිකයා විදිහට හොඳින් කටයුතු කරන එක අද ලේසි නෑ නේද?

රොමේෂ්: ඒක නම් ඇත්ත. අපි දැන් බැඳලා අවුරුද්දක් වෙනවා. ඒත් සමහර වෙලාවලදී අදහස් ගැටෙනවා.

බ්‍රයන්: ඔව්, එහෙම වෙන අවස්ථා තියෙනවා තමයි. ඒත් බයිබලයේ තියෙන ප්‍රතිපත්ති කීපයක් ගැන අපි බලමු. ඔයා කැමතිද කියවන්න එෆීස 5වෙනි පරිච්ඡේදයේ 22යි, 23යි, 28යි?

රොමේෂ්: හරි, ඒකේ කියන්නේ “භාර්යාවන් ස්වාමීන්ට යටත්ව සිටින්නා සේම තම ස්වාමිපුරුෂයන්ටත් යටත්ව සිටිය යුතුයි. මන්ද ක්‍රිස්තුස් සභාව නමැති ශරීරයේ ගැලවුම්කාරයා සහ හිස වන්නා සේම ස්වාමිපුරුෂයාද තම භාර්යාවගේ හිස ලෙස කටයුතු කරයි.” 28 කියනවා, “එයාකාරයෙන්ම ස්වාමිපුරුෂයන්ද තම ශරීර ගැන සැලකිලිමත් වෙනවා වගේ තම භාර්යාවන්ට ප්‍රේම කළ යුතුයි. තම භාර්යාවට ප්‍රේම කරන තැනැත්තා තමාටම ප්‍රේම කරන බව කිව හැකියි.”

බ්‍රයන්: හොඳයි. ඔයා මොකක්ද හිතන්නේ? දෙන්නම මේ ප්‍රතිපත්තිය අදාළ කරගත්තොත් පවුල් ජීවිතය සාර්ථක කරගන්න බැරි වෙයිද?

රොමේෂ්: බැරි වෙන එකක් නෑ. හැබැයි ඒක කියන තරම් ලේසිත් නෑ.

බ්‍රයන්: අපි කවුරුත් සීයට සීයක් හරියට දේවල් කරන්නේ නැහැ තමයි. බයිබලයේ ඒ පරිච්ඡේදයේම අපිට සාධාරණ වෙන්න කියලත් දිරිගන්වලා තියෙනවා. * ඕනම සම්බන්ධයක් ශක්තිමත් වෙන්න නම් සාධාරණ වෙන්නත් අනිත් කෙනා කැමති දේවල් කරන්නත් ඕනේ. මගේ භාර්යාවටයි මටයි ඒ විදිහට කටයුතු කරන්න බයිබලයේ මඟ පෙන්වීම් උදව් වෙලා තියෙනවා.

රොමේෂ්: ඒක නම් හොඳ උපදෙසක්.

බ්‍රයන්: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වෙබ් අඩවියේ “විවාහය හා පවුල් ජීවිතය” ගැන තොරතුරු තියෙනවා. ඔයාට ටික වෙලාවක් දෙන්න පුළුවන් නම් මට ඒකේ තියෙන දෙයක් පෙන්නන්න පුළුවන්.

රොමේෂ්: හරි, මට වෙලාව තියෙනවා.

බ්‍රයන්: වෙබ් අඩවියේ ලිපිනය www.pr418.com/si. මේ තියෙන්නේ මුල් පිටුව.

රොමේෂ්: ෂා! නියම පින්තූර ටිකක්නේ.

බ්‍රයන්: මේ පින්තූරවල තියෙන්නේ අපි ලෝකේ පුරාම දේශනා සේවය කරන විදිහයි. ආ! මේ තියෙන්නේ අපිට ඕන එක. “විවාහක යුවළට සහ දෙමාපියන්ට.” මේකේ ලිපි කීපයක්ම තියෙනවා. ඔයා කැමති එකක් තියෙනවාද?

රොමේෂ්: ඔව්, “ගැටලු විසඳාගැනීම.” මේක හොඳයි.

බ්‍රයන්: මේකේ ගැටලු විසඳගන්න උදව් වෙන පියවර හතරක් තියෙනවා. රොමේෂ්, ඔයා කැමතිද මේ ඡේදේ කියවන්න?

රොමේෂ්: හරි මං කියවන්නම්. “විවාහයක් තුළ හොඳින් අදහස් හුවමාරු කිරීමට නම් ප්‍රේමය සහ ගෞරවය පෙන්වීම අවශ්‍යයි.” ඔව්, එහෙම කරන එක අවශ්‍යයිනේ.

බ්‍රයන්: එතන බයිබල් පදයක් තියෙනවානේ. ඒක ක්ලික් කළොත් ඔයාට ඒක බලන්න පුළුවන්.

රොමේෂ්: හරි මේ තියෙන්නේ. එෆීස 5:33. “ඔබ එකිනෙකා තමාට ප්‍රේම කරන ආකාරයටම තම භාර්යාවටද ප්‍රේම කළ යුතුයි. එලෙසම භාර්යාව තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දැක්විය යුතුයි.”

බ්‍රයන්: ඔයා දැක්කද එතන කියන දේ? එතන කියන්නේ අනිත් කෙනා ලබාගන්න කැමති දේ දෙන්න කියලා.

රොමේෂ්: ඒ කිව්වේ?

බ්‍රයන්: ස්වාමිපුරුෂයෙක් කැමතියි නේද භාර්යාව එයාට ගරු කරනවාට? භාර්යාවටත් දැනෙන්න ඕන නේද ස්වාමිපුරුෂයා එයාට ඇත්තටම ආදරෙයි කියලා?

රොමේෂ්: ඔව්, ඒක ඇත්ත.

බ්‍රයන්: ස්වාමිපුරුෂයා භාර්යාවට ආදරෙයි කියලා නිතරම දැනෙන්න සලස්වනවා නම් ස්වාමිපුරුෂයාට ගරු කරන්න භාර්යාවට ලේසි වෙන්නේ නැද්ද?

රොමේෂ්: එහෙමනම් ලේසි වෙයි.

බ්‍රයන්: මේ බයිබල් පදේ ලිව්වේ අවුරුදු 2,000කට විතර ඉස්සර වුණත් දෙන්නාටම ඒ උපදෙස් ප්‍රයෝජනවත් වෙනවා. ඒ උපදෙස් පිළිපැද්දොත් පවුල් ජීවිතයත් සතුටින් ගෙනියන්න පුළුවන්.

රොමේෂ්: මං හිතුවාට වඩා දෙයක් බයිබලයේ තියෙනවා කියලා දැන් නම් මට පිළිගන්නම වෙනවා.

බ්‍රයන්: අහන්නත් සතුටුයි රොමේෂ්. මං කැමතියි ආපහු ඇවිත්, වෙබ් අඩවියේ තියෙන ඒ ලිපියෙම “ගැටලු විසඳාගැනීමට පියවර හතරක්” කියන කොටස ගැන ඔයාගේ අදහස් දැනගන්න. *

රොමේෂ්: හරි, මං නෝනත් එක්කම ඒක බලන්නම්.

බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන ඔයාට යම් ප්‍රශ්නයක් තියෙනවද? නැත්නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ආගමික විශ්වාසයන් ගැන ඔයාට ප්‍රශ්න තියෙනවද? එහෙමනම් සාක්ෂිකරුවන්ගෙන් ඒ ගැන අහන්න. ඒ ගැන ඔයාට පැහැදිලි කරලා දෙන්න එයාලා කැමතියි.

^ 63 ඡේ. වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 14වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.