ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක්
යේසුස්ගේ මරණය සිහි කරන්නේ ඇයි?
පහත සඳහන් වෙන්නේ ටාෂා කියන කාන්තාව හා එමිලි කියන යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරිය අතර ඇති වුණු සංවාදයක්. මේ සංවාදය සිදු වෙන්නේ ටාෂාගේ නිවසෙදියි.
“මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න”
එමිලි: කොහොමද ටාෂා? ගිය සතියේ ඔයා යේසුස්ගේ මරණය සිහි කිරීමට ආපු එක ගැන මට හරි සතුටුයි. * කොහොමද ඒ රැස්වීම?
ටාෂා: මං ආසාවෙන් අහගෙන හිටියේ. හැබැයි සමහර දේවල් තේරුණේ නැහැ. සාමාන්‍යයෙන් කවුරුත් නත්තල් උත්සවය, පාස්කු ඉරිදා නම් සමරනවා. ඒත් යේසුස්ගේ මරණය ලොකුවට සමරන්නේ නැහැනේ.
එමිලි: ඒක ඇත්ත. ලෝකේ පුරාම නත්තලයි, පාස්කුවයි ලොකුවට පවත්වනවා. ඒත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට නම් යේසුස්ගේ මරණය සිහි කරන එක තමයි වැදගත්. ඔයාට ටික වෙලාවක් තියෙනවා නම් ඒකට හේතුව පැහැදිලි කරන්න මට පුළුවන්.
ටාෂා: හා, කමක් නෑ.
එමිලි: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස්ගේ මරණය සිහි කරන්නේ යේසුස් එහෙම කරන්න කියලා කිව්ව නිසයි. යේසුස් මැරෙන්න කලින් දවසේ රෑ ඔහුගේ ගෝලයන් එක්ක විශේෂ භෝජනයක් ගත්තා මතකද?
ටාෂා: ඔව්, රාත්‍රී භෝජනයනේ.
එමිලි: අන්න හරි. ඒකට ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය කියලත් කියනවා. ඒ වෙලාවේ යේසුස් ඔහුගේ ගෝලයන්ට පැහැදිලි මඟ පෙන්වීම් කීපයක් දුන්නා. ඔයාට පුළුවන්ද ලූක් 22:19 කියවන්න?
ටාෂා: හරි. “ඉන්පසුව යේසුස් රොටියක් ගෙන දෙවිට ස්තුති කර, එය කඩා ඔවුන්ට දෙමින් මෙසේ කීවේය. ‘මෙයින් නියෝජනය වන්නේ ඔබ වෙනුවෙන් මා පූජා කරන්න යන මගේ ශරීරයයි. මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න.’”
එමිලි: බලන්න ඒ පදේ අන්තිම වාක්‍යයේ යේසුස් කිව්ව දේ. “මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න.” එහෙම කියන්න ඉස්සෙල්ලා යේසුස් පැහැදිලිව කිව්වා සිහි කරන්න ඕන මොකක්ද කියලා. යේසුස් කිව්වා එයාගේ අනුගාමිකයන් වෙනුවෙන් ජීවිතය දෙනවා කියලා. ඒ වගේම අදහසක් යේසුස් මතෙව් 20:28ත් කියලා තියෙනවා. ඒකේ කියන්නේ “මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබන්න නොවෙයි. ඔහු පැමිණියේ සේවය කරන්න හා බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්න” කියලයි. කොටින්ම කියනවා නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැම අවුරුද්දෙම රැස් වෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව සිහි කරන්නයි. මොකද යේසුස්ගේ මරණය නිසා කීකරු මිනිසුන්ට ජීවනය ලැබෙනවා.
ජීවිත පූජාවක් අවශ්‍ය වුණේ ඇයි?
ටාෂා: මං අහලා තියෙනවා යේසුස් මැරුණ හින්දා අපිට ජීවනය ලැබෙනවා කියලා. ඒත් ඇත්තම කියනවා නම් ඒක වෙන්නේ කොහොමද කියලා මට තේරුම්ගන්න බැහැ.
එමිලි: ඔව්, හුඟක් අයට ඒක තේරුම්ගන්න අමාරුයි. යේසුස්ගේ ජීවිත පූජාව කියන්නේ ගැඹුරු විෂයක්. ඒක වචනෙන් දෙකෙන් විස්තර කරන්න බැහැ තමයි. ඒ වුණාට ඒක අපි දැනගන්නම ඕන කාරණයක්. ඔයාට තව චුට්ටක් වෙලා තියෙනවාද?
ටාෂා: ඔව්, මට තව ටික වෙලාවක් දෙන්න පුළුවන්.
එමිලි: ආ, හරි. මං මේ ළඟදී යේසුස්ගේ ජීවිත පූජාව ගැන විස්තරයක් කියෙව්වා. මං ඒක ඔයාට තේරුම්ගන්න පුළුවන් විදිහට පැහැදිලි කරන්න බලන්නම්.
ටාෂා: හොඳයි.
එමිලි: ඉස්සෙල්ලාම අපි බලමු, ආදම් සහ ඒව ඒදන් උයනෙදී පව් කරපු නිසා ඇති වුණ තත්වය ගැන. දැන් අපි කියවමු රෝම 6:23. ඔයා කැමතිද ඒක කියවන්න?
ටාෂා: එතන කියනවා “අපේ පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි. නමුත් අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවි අපට ලබා දෙන තෑග්ග නම් සදාකාල ජීවනයයි.”
එමිලි: හරි. ඒ පදය අපි කොටසෙන් කොටස බලමු. මුලින්ම කියන්නේ “පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි” කියලා. දෙවියන් මුල ඉඳන්ම නීතියක් පිහිටුවලා තිබුණා. ඒ කියන්නේ පාපයේ කුලිය නැත්නම් වන්දිය හැටියට මරණය විඳින්න වෙනවා කියන එක. ආදම් සහ ඒව කියන්නේ මුල්ම මිනිස් යුවළ. දෙවියන් ඒ දෙන්නාව නිර්මාණය කළේ පරිපූර්ණවයි. ඒ කියන්නේ ඒ දෙන්නාට පාපය උරුම වෙලා තිබුණේ නැහැ කියන එකයි. ඒ නිසා ඒ දෙන්නා වගේම ඒගොල්ලන්ගෙන් බිහි වෙන දරුවන්ටත් පරිපූර්ණව ඉන්න පුළුවන්කම තිබුණා. ඒ කියන්නේ ආදම්ටයි ඒවටයි ඒගොල්ලන්ගේ දරුවන්ටයි සදහටම සතුටින් ජීවත් වීමේ අවස්ථාව තිබුණා. හැබැයි ඒක ඒ විදිහටම වුණාද?
ටාෂා: නැහැ. ආදම් සහ ඒව තහනම් ගහේ ගෙඩි කෑවානේ.
එමිලි: ඔව්. ඒ දෙන්නා දෙවියන්ට අකීකරු වෙලා පව්කාර තත්වයකට වැටුණා. ඒගොල්ලන් විහින්ම ඒගොල්ලන්ගේ පරිපූර්ණ තත්වය නැති කරගත්තා. ඒ අකීකරුකම නිසා ඒ දෙන්නාට විතරක් නෙමෙයි ඒ දෙන්නාගෙන් බිහි වෙන අයටත් හානිකර ප්‍රතිඵල විඳින්න සිද්ධ වුණා.
ටාෂා: ඒ කිව්වේ?
එමිලි: මං ඒක ඔයාට උදාහරණයකින් පැහැදිලි කරන්නම්. ඔයා ආසද කේක් හදන්න?
ටාෂා: ඔව්, මං ආසයි.
එමිලි: හිතන්න ඔයා ළඟ හරි හතරැස් කේක් තැටියක් තියෙනවා කියලා. හැබැයි හදිස්සියේම ඒක බිම වැටෙනවා. එතකොට ඒක ඇද වෙනවා. ඉතින් ඒකෙන් පුච්චන කේක් එක හරි හතරැස් එකක් වෙයිද? ඇද වෙච්ච තැටියේ හැඩයටම කේක් එක හැදෙන්නේ නැද්ද?
ටාෂා: ඔව්, ඒක නම් ඇත්ත තමයි.
එමිලි: ආදම් සහ ඒව දෙවියන්ට අකීකරු වුණ අවස්ථාවේ සිද්ධ වුණෙත් ඒ වගේ දෙයක්. ඒගොල්ලන් අකීකරු වුණාම හරියට කේක් තැටිය ඇද වුණා වගේ ඒගොල්ලන්ට තිබුණ පරිපූර්ණත්වය නැති වෙලා පව්කාර තත්වයකට වැටුණා. ඒගොල්ලන්ගේ දරුවන්ටත් උරුම වුණේ ඒ පව්කාර තත්වයමයි. බයිබලයේ “පාපය” කියන වචනයෙන් අදහස් වෙන්නේ පාපයක් කරන එක විතරක් නෙමෙයි. අපිට උරුම වෙලා තියෙන පව්කාර තත්වයත් ඒකෙන් අදහස් වෙනවා. ඒ නිසා අපි ඉපදෙද්දී පව් කරලා තිබුණේ නැති වුණත් අපි පව්කාරයන් වුණා. ඇත්තටම ආදම් සහ ඒව කළේ අපිව පාපයට ඇදලා දාපු එකයි. රෝම 6:23 කියන විදිහට පාපයේ කුලිය මරණයයි. ඒගොල්ලන් නිසයි අපිටත් මරණය උරුම වුණේ.
ටාෂා: ඒක හරිම අසාධාරණයිනේ. ආදම් සහ ඒව පව් කළා කියලා අපි දුක් විඳින්න ඕන ඇයි?
එමිලි: ඒ නිසා තමයි දෙවියන් සාධාරණය ඉටු කරන්න පියවර ගත්තේ. ආදම් සහ ඒව කරපු පාපය නිසා ඒ දෙන්නාට මරණය නියම කළත් ඒ දෙන්නාගෙන් පැවතෙන අපිට බලාපොරොත්තුවක් දීලා තියෙනවා. පව්කාර තත්වයෙන් අපිව මුදවගන්න දෙවියන් මාර්ගයක් පෑදුවා. යේසුස්ගේ ජීවිත පූජාව අවශ්‍ය වුණේ ඒකටයි. බලන්න ආපහු රෝම 6:23 කියන දේ. “පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි” කියලා කිව්වාට පස්සේ “අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවි අපට ලබා දෙන තෑග්ග නම් සදාකාල ජීවනයයි” කියලත් කියනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ අපිට පාපයෙන් හා මරණයෙන් ගැලවෙන්න මාර්ගය විවෘත කළේ යේසුස්ගේ මරණය කියලයි. *
ජීවිත පූජාව දෙවිගෙන් ලැබුණු වටිනා තෑග්ගක්
එමිලි: මේ පදයේ තියෙන තවත් දෙයක් ඔයාට පෙන්නන්නද?
ටාෂා: ඒ මොකක්ද?
එමිලි: ඒකේ කියන්නේ “අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවි අපට ලබා දෙන තෑග්ග නම් සදාකාල ජීවනය” කියලයි. ඒත් අපි වෙනුවෙන් දුක් විඳලා මැරුණේ යේසුස්නේ. එහෙනම් “යේසුස් අපට ලබා දෙන තෑග්ග” කියන්නේ නැතුව “දෙවි අපට ලබා දෙන තෑග්ග” කියලා කියන්නේ ඇයි? *
ටාෂා: ඔව්, ඒක නේන්නම්.
එමිලි: ආදම් සහ ඒවව නිර්මාණය කෙරුවේ දෙවියන්. ඒදන් උයනෙදී ඒගොල්ලෝ අකීකරු වුණේ දෙවියන්ටයි. ඒ වෙලාවේ තමන්ගේ මුල්ම දරුවන් දෙන්නා තමන්ට විරුද්ධව කැරලිගැහුව එක ගැන දෙවියන්ට කොච්චර දුක හිතෙන්න ඇද්ද? ඒත් යෙහෝවා දෙවියන් ඒ මොහොතෙම සැලැස්මක් යෙදුවා. * ස්වර්ගයේ ඔහු එක්ක හිටිය දේවදූතයෙක්ව පරිපූර්ණ මනුෂ්‍යයෙක් හැටියට මේ පොළොවට එවන්නත් ඊටපස්සේ ඒ කෙනා මේ පොළොවේ ජීවත් වෙලා ඔහුගේ ජීවිතය පූජා කරන්නත් සැලැස්සුවේ දෙවියන්. ඒ නිසා ඒ පූජාව දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්. ජීවිත පූජාව දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් කියලා කියන්න තවත් හේතුවක් තියෙනවා. යේසුස්ව මරණයට පත් කරපු අවස්ථාවේ දෙවියන්ට කොච්චර වේදනාවක් දැනෙන්න ඇද්ද? ඒ ගැන ඔයා හිතලා තියෙනවාද?
ටාෂා: නෑ, ඒ ගැන හිතලා නෑ.
එමිලි: ඔයාගේ මිදුලේ සෙල්ලම් බඩු ටිකක් තියෙනවා දැක්කා. ඔයාට දරුවෝ ඉන්නවාද?
ටාෂා: ඔව්, පුතෙකුයි දුවෙකුයි ඉන්නවා.
එමිලි: ඔයා අම්මා කෙනෙක්නේ. හිතන්න යේසුස්ව මරණයට පත් කරපු අවස්ථාවේ ස්වර්ගයේ ඉන්න පියාණන්ට මොන වගේ හැඟෙන්න ඇද්ද කියලා. තමන්ගේ ආදරණීය පුතාව අත්අඩංගුවට ගත්ත වෙලාවෙත් පුතාට මිනිස්සු සමච්චල් කරපු වෙලාවෙත් එයාට ගැහුව වෙලාවෙත් යෙහෝවා දෙවියන්ට කොහොම හැඟෙන්න ඇද්ද? කණුවක ඇණ ගහලා ඉන්න තමන්ගේ පුතා වේදනා විඳ විඳ මැරිලා යනවා දකිද්දී තාත්තාට මොන තරම් වේදනාවක් දැනෙන්න ඇද්ද?
ටාෂා: ඒ ගැන නම් මං හිතලම නෑ. කියාගන්න බැරි දුකක් දැනෙන්න ඇති.
එමිලි: ඇත්ත, දෙවියන්ට හැඟුණ විදිහ තේරුම්ගන්න අපි කාටවත් බෑ. ඒත් දෙවියන්ට හැඟීම් දැනීම් තියෙනවා කියලා නම් අපි දන්නවා. ඒ වගේම ඒ දේ සිද්ධ වෙන්න ඉඩහැරියේ ඇයි කියලත් අපි දන්නවා. යොහන් 3:16 ඒ ගැන පැහැදිලිව කියලා තියෙනවා. ඔයාට පුළුවන්ද ඒක කියවන්න.
ටාෂා: “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.”
ජීවිත පූජාව දෙවියන්ගේ අතිමහත් ප්‍රේමය පෙන්නුම් කිරීමක්
එමිලි: ඒකේ මුලින්ම කියන්නේ “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද” කියලයි. ඒකෙන් දෙවියන් කොච්චර ප්‍රේමණීය කෙනෙක්ද කියලා පැහැදිලි වෙනවා. අපි වෙනුවෙන් මැරෙන්න ඔහුගේ පුතාව මේ ලෝකෙට එව්වේ දෙවියන්ගේ ප්‍රේමය හින්දයි. ඇත්තෙන්ම කියනවා නම් ජීවිත පූජාව දෙවියන්ගේ අතිමහත් ප්‍රේමය පෙන්නුම් කිරීමක්. ඒ නිසයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස්ගේ මරණය සිහි කරන්න හැම අවුරුද්දෙම රැස් වෙන්නේ. අපි බැලුව කරුණු ටික ඔයාට ප්‍රයෝජනවත් වුණාද?
ටාෂා: ඔව්, ඔයාට ගොඩක් ස්තුතියි ඒ ගැන මට කියලා දුන්නාට.
බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන ඔයාට යම් ප්‍රශ්නයක් තියෙනවාද? නැත්නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ආගමික විශ්වාසයන් ගැන ඔයාට ප්‍රශ්න තියෙනවාද? එහෙමනම් සාක්ෂිකරුවන්ගෙන් ඒ ගැන අහන්න. ඒ ගැන ඔයාට පැහැදිලි කරලා දෙන්න එයාලා කැමතියි.
^ 5 ඡේ. අවුරුද්දකට වතාවක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස්ගේ ජීවිත පූජාව සිහි කරනවා.
^ 32 ඡේ. මේ ලිපි මාලාවේ තවත් ලිපියක යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපිට පාපයෙන් මිදෙන්න පුළුවන් විදිහත් ඔහුගේ පූජාවෙන් ප්‍රයෝජන ගන්න නම් අපි කරන්න ඕන දේත් සලකා බලනවා.
^ 36 ඡේ. බයිබලයේ කියන්නේ දෙවියන් හා යේසුස් පුද්ගලයන් දෙන්නෙක් කියලයි. වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 4වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක්.
^ 38 ඡේ. උත්පත්ති 3:15 බලන්න.