Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | යුද්ධ ගැන දෙවියන්ගේ අදහස මොකක්ද?

යුද්ධ ගැන දෙවියන්ගේ අදහස අතීතයේදී

යුද්ධ ගැන දෙවියන්ගේ අදහස අතීතයේදී

සෙනඟ පීඩා විඳිමින් හිටියා. ඔවුන් දිගින් දිගටම උදව් ඉල්ලලා දෙවියන්ට යාච්ඤා කෙරුවා. ඒත් බලාපොරොත්තු වුණ වෙලාවේ උදව් ලැබුණේ නැහැ. ඒ සෙනඟ වෙන කවුරුත් නෙමෙයි ඊශ්‍රායෙල්වරු. එදා දෙවියන්ගේ සෙනඟට පීඩා කෙරුවේ බලවත් ඊජිප්තු අධිරාජ්‍යයයි. (නික්මයාම 1:13, 14) ඊජිප්තුවේ කුරිරු පාලනයෙන් දෙවියන් තමන්ව නිදහස් කරගන්න කල් ඊශ්‍රායෙල්වරුන්ට අවුරුදු ගාණක් බලාගෙන ඉන්න වුණා. අන්තිමේදී දෙවියන් ඔවුන් වෙනුවෙන් පියවර ගත්තා. (නික්මයාම 3:7-10) බයිබලයේ කියන්නේ දෙවියන්ම ඊජිප්තුවරුන්ට විරුද්ධව සටන් කෙරුවා කියලයි. පීඩා 10කින් ඔවුන්ට පහර දුන්නා. ඊජිප්තුවේ රජුවයි ඔහුගේ හමුදාවයි රතු මුහුදෙදී විනාශ කෙරුවා. (ගීතාවලිය 136:15) ඒ විදිහට යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟ වෙනුවෙන් සටන් කරන ‘යුධ දක්ෂයෙක්’ කියලා පෙන්නුවා.—නික්මයාම 15:3, 4.

ඒකෙන් පේන්නේ දෙවියන් හැම යුද්ධයකටම විරුද්ධ නැහැ කියලයි. තවත් අවස්ථාවල ඊශ්‍රායෙල්වරුන්ට යුද්ධ කරන්න අවසර දුන්නා. උදාහරණෙකට දුෂ්ටකමේ අන්තයට ගිය කානානිවරුන්ට විරුද්ධව යුද්ධ කරන්න දෙවියන් ඔවුන්ට අණ කෙරුවා. (ද්විතීය කතාව 9:5; 20:17, 18) ඊශ්‍රායෙල් රජෙක් වුණ දාවිත්ට අණ කෙරුවේ සෙනඟට විරුද්ධව පීඩා කරපු පිලිස්තිවරුන්ට විරුද්ධව සටන් කරන්න කියලයි. ඒ විතරක් නෙමෙයි දිනුම ලබා දෙන්න යුධෝපායකුත් ඔහුට කියලා දුන්නා.—2 සාමුවෙල් 5:17-25.

ඒ බයිබල් වාර්තාවලින් පේන්නේ ඊශ්‍රායෙල්වරු දුෂ්ටකම් සහ දුක් පීඩාවලට මුහුණ දෙද්දී ඔවුන්ව ආරක්ෂා කරගන්නත් සැබෑ නමස්කාරය රැකගන්නත් දෙවියන් යුද්ධවලට අනුමැතිය දුන්නා කියලයි. හැබැයි දෙවියන්ගේ මූලිකත්වයෙන් යුද්ධයක් වෙන්නේ මේ කරුණු තුන මතයි.

  1. සටනට යන්නේ කවුද කියලා තීරණය කරන්නේ දෙවියන්. එක අවස්ථාවකදී දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට කිව්වේ “එහිදී ඔබට සටන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ” කියලයි. හේතුව මොකක්ද? ඔවුන් වෙනුවෙන් සටන් කරන්නේ දෙවියන්මයි. (2 ලේකම් 20:17; 32:7, 8) මේ ලිපියේ මුලින්ම සඳහන් කරපු අවස්ථාව වගේ අවස්ථා ගණනාවකදීම දෙවියන් ඔවුන් වෙනුවෙන් සටන් කෙරුවා. ඔවුන්ටම යුද්ධ කරන්න කියලා දෙවියන් අණ කෙරුව අවස්ථාවනුත් තිබුණා. පොරොන්දු දේශය අත් කරගන්නයි ඒක රැකගන්නයි කරපු යුද්ධවලට දෙවියන්ගේ අනුමැතිය තිබුණා.—ද්විතීය කතාව 7:1, 2; යොෂුවා 10:40.

  2. සටන් කරන්නේ කවදාද කියලා තීරණය කරන්නේ දෙවියන්. දුෂ්ටකම් සහ දුක් පීඩාවලට නිමාවක් ගේන්න දෙවියන් තීරණය කරපු කාලය එන කල් ඔහුගේ සෙනඟට ඉවසීමෙන් බලාගෙන ඉන්න වුණා. ඒ කාලය එන්න කලින් තමන්ගේ අතට බලය අරගෙන යුද්ධ කරන්න ඔවුන්ට අවසර තිබුණේ නැහැ. එහෙම කෙරුවොත් දෙවියන්ගේ අනුමැතිය ඔවුන්ට නැති වුණා. බයිබල් වාර්තාවලට අනුව දෙවියන්ගේ අනුමැතිය නැතුව යුද්ධ කරපු ගොඩක් අවස්ථාවල ඊශ්‍රායෙල්වරුන්ට සිද්ධ වුණේ ලොකු හානියක්. *

  3. දුෂ්ටයෙක් වුණත් මැරෙනවාට දෙවියන් කැමති නැහැ. ජීවිතයේ උල්පත වන යෙහෝවා දෙවියන් හැමෝගෙම නිර්මාතෘයි. (ගීතාවලිය 36:9) ඒ නිසා කිසි කෙනෙක් මැරෙනවාට ඔහු කැමති නැහැ. ඒත් අනිත් අයට පීඩා කරන, මිනී මරන දුෂ්ට මිනිසුන් මේ ලෝකේ ඉන්නවා. (ගීතාවලිය 37:12, 14) ඒ දුෂ්ටකම්වලට නිමාවක් ගේන්න දෙවියන් යුද්ධ කරලා තියෙනවා කියන එක ඇත්ත. ඒත් ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කරපු සතුරන් එක්ක කටයුතු කරද්දී පවා දෙවියන් ‘දයාන්විත,’ ‘කෝප වීමට ඉක්මන් නොවන’ කෙනෙක් කියලා පෙන්නුවා. (ගීතාවලිය 86:15) උදාහරණෙකට නුවරකට විරුද්ධව සටනකට යන්න කලින් නුවරේ වැසියන්ට “ඔබ සමඟ සමාදාන වීමට ආරාධනා කරන්න” කියලා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා. එහෙම කෙරුවේ ඒ වැසියන්ට වැරදි මාර්ගයෙන් හැරෙන්න අවස්ථාවක් දීලා යුද්ධයක් වෙන එක වළක්වන්නයි. (ද්විතීය කතාව 20:10-13) ඒ විදිහට ක්‍රියා කරපු නිසා දෙවියන්ට මෙහෙම කියන්න පුළුවන් වුණා. “දුෂ්ටයෙකු වැරදි මාර්ගයෙන් හැරී දිගටම ජීවත් වෙනවාට මිස ඔහු මිය යනවාට මම කිසිසේත් කැමති නැත.”—එසකියෙල් 33:11, 14-16. *

අපි බලපු කරුණුවලින් පැහැදිලි වෙන්නේ අතීතයේදී යුද්ධයක් මාර්ගයෙන් දුෂ්ටකම් සහ දුක් පීඩාවලට නිමාවක් ගේන්න දෙවියන්ගේ අනුමැතිය තිබුණා කියන එකයි. හැබැයි ඒ යුද්ධවලට හවුල් වෙන්නේ කවුද කියලත් යුද්ධ කරන්නේ කවදාද කියලත් තීරණය කරන්න අයිතිය තිබුණේ මිනිසුන්ට නෙමෙයි දෙවියන්ට. යුද්ධ කරද්දී දෙවියන් ලේ පිපාසිත කෙනෙක් වගේ කටයුතු කෙරුවාද? කොහෙත්ම නැහැ. දෙවියන් සැහැසියාවට ද්වේෂ කරනවා. (ගීතාවලිය 11:5) ඒත් දෙවියන්ගේ පුතා වන යේසුස් පොළොවේ දේවසේවය පටන්ගත්ත කාලේ, ඒ කියන්නේ 1වෙනි සියවසේදී යුද්ධ ගැන දෙවියන්ගේ අදහස වෙනස් වුණාද?

^ 7 ඡේ. උදාහරණෙකට එක අවස්ථාවකදී දෙවියන් එපා කියද්දී අමලෙක්වරුන්ටයි කානානිවරුන්ටයි විරුද්ධව යුද්ධ කෙරුවාම ඊශ්‍රායෙල්වරු පරාජය වුණා. (ගණන් කතාව 14:41-45) ඊට අවුරුදු ගාණකට පස්සේ දෙවියන්ගේ අනුමැතිය නැතුව කරපු යුද්ධයක් නිසා දෙවියන්ට විශ්වාසවන්තව හිටිය යොෂියා රජුගේ ජීවිතයත් නැති වුණා.—2 ලේකම් 35:20-24.

^ 8 ඡේ. කානානිවරුන්ට විරුද්ධව ඊශ්‍රායෙල්වරු යුද්ධ කරද්දී සමාදාන වෙන්න කියලා ඔවුන්ට ආරාධනා කෙරුවේ නැහැ. ඒ ඇයි? දුෂ්ටකම් අත්හරින්න කානානිවරුන්ට අවුරුදු 400ක් දීලා තිබුණා. ඒත් ඊශ්‍රායෙල්වරු ඔවුන්ට විරුද්ධව යුද්ධ කරන්න ආපු කාලයේදී ඔවුන් හිටියේ දුෂ්ටකමේ පහත්ම අඩියට වැටිලා. (උත්පත්ති 15:13-16) ඒ නිසා ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරන්න ඊශ්‍රායෙල්වරුන්ට සිද්ධ වුණා. හැබැයි ජීවිතය වෙනස් කෙරුව සමහර කානානිවරුන්ව විනාශ කෙරුවේ නැහැ.—යොෂුවා 6:25; 9:3-27.