Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්

යුද්ධ ගැන දෙවියන්ගේ අදහස මොකක්ද?

යුද්ධ ගැන දෙවියන්ගේ අදහස මොකක්ද?

ඔයා ඒ ගැන හිතන්නේ මොකක්ද? දෙවියන් යුද්ධවලට අනුබල දෙනවා කියලා හුඟක් අය හිතනවා. ඒ අය එහෙම කියන්නේ අතීතයේදී දෙවියන් ඔහුගේ සෙනඟට යුද්ධ කරන්න කියලා සමහර අවස්ථාවලදී අණ කරපු නිසයි. බයිබලයෙත් ඒකට සාක්ෂි සපයනවා. ඒත් දෙවියන්ගේ පුතා වන යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ඉගැන්නුවේ සතුරන්ටත් ප්‍රේම කරන්න කියලයි. (මතෙව් 5:43, 44) ඒ නිසා කාලයත් එක්ක යුද්ධ ගැන දෙවියන්ගේ අදහස වෙනස් වුණා කියලත් අද දින දෙවියන් යුද්ධවලට අනුබල දෙන්නේ නැහැ කියලත් සමහරු නිගමනය කරනවා.

දෙවියන් යුද්ධවලට අනුබල දෙනවා කියලා ඔයා හිතනවාද? එහෙමනම් අද දින කෙරෙන යුද්ධවලදී දෙවියන් ගන්නේ කාගේ පැත්තද? ඒකට උත්තරේ දැනගන්න එක ඔයා යුද්ධ ගැන දරන අදහසට බලපායි. උදාහරණෙකට යුද්ධයකදී ඔයා සහයෝගය දෙන පැත්තටම දෙවියන්ගේ සහයෝගය ලැබෙනවා කියලා ඔයාට ස්ථිර නම් ඒ ගැන ඔයා සතුටු වෙයි. මොකද ඔයාට විශ්වාසයි ඔයා ඉන්න පැත්ත දිනනවා කියලා. හැබැයි දෙවියන් සහයෝගය දෙන්නේ විරුද්ධ පැත්තට කියලා දැනගත්තොත් ඔයා මොනවා කරයිද? ගන්නේ කාගේ පැත්තද කියලා ඔයා දෙපාරක් හිතලා බලයි.

යුද්ධ ගැන දෙවියන්ගේ අදහස දැනගෙන ඉන්න එක ඔයා දෙවියන් ගැන හිතන විදිහටත් බලපානවා. අද කීදාහක් නම් යුද්ධ හින්දා දුක් විඳිනවාද? සමහරු හිතන්නේ දෙවියන් යුද්ධවලට දිරි දෙන ලේ පිපාසිත කෙනෙක් කියලා. එහෙම නැත්නම් දුක් විඳින අය ගැන කිසිම සැලකිල්ලක් නැති ඔහේ ඕන දෙයක් වෙන්න කියලා බලන් ඉන්න කෙනෙක් කියලා. ඒක ඇත්තද? ඔයාත් එහෙම හිතන කෙනෙක් නම් ඒ ප්‍රශ්නයට උත්තර දැනගන්න ඔයාටත් ලොකු වුවමනාවක් තියෙයි.

බයිබලයේ දෙන උත්තරේ ඊට වඩා වෙනස්. ඇත්තෙන්ම කියනවා නම් අතීතයේ ඉඳලා මේ වෙන කල් යුද්ධ ගැන දෙවියන්ගේ අදහස වෙනස් වෙලා නැහැ. අතීතයේදී වගේම පළවෙනි සියවසේදී, ඒ කියන්නේ යේසුස් පොළොවේ හිටපු කාලේ දෙවියන් යුද්ධ ගැන දරපු අදහස පෙන්වන බයිබල් වාර්තා කීපයක් බලමු. ඒවා සලකලා බලන එකෙන් දෙවියන් අද දින යුද්ධ ගැන දරන අදහස මොකක්ද කියන එක ගැනත් ඉදිරියේදී මිනිසුන්ට යුද්ධවලට මුහුණ දෙන්න වෙයිද කියන එක ගැනත් දැනගන්න පුළුවන්.