Skip to content

පටුනට යන්න

මේ කුහකකම් කවදාද නැති වෙන්නේ?

මේ කුහකකම් කවදාද නැති වෙන්නේ?

පානායෝටා හැදී වැඩුණේ මධ්‍යධරණී මුහුද අවට තියෙන දූපතක. යොවුන් වියේදී එයා දේශපාලනය ගැන උනන්දු වුණා. ඊටපස්සේ ගමේ දේශපාලන පක්ෂයක ලේකම්වරිය හැටියට වැඩ කෙරුවා. පක්ෂය වෙනුවෙන් අරමුදල් එකතු කරන්න ගෙවල් ගානෙත් ගියා. කාලයක් යද්දී එයාට පක්ෂය ගැන තිබුණ විශ්වාසය නැති වුණා. මොකද පක්ෂයට වැඩ කරන අය එකිනෙකාට සහෝදරයා කියලා කතා කෙරුවත් නෑදෑයන්ට යාළුවන්ට අදින, බලයට කෑදර, ගැටුම් ඇති කරගන්න, ඊර්ෂ්‍යාවෙන් වැඩ කරන අය කියලා එයා දැක්කා.

අයර්ලන්තයේ ඩැනියෙල් ආගම දහමට ළැදි පවුලක හැදී වැඩුණ කෙනෙක්. ඒත් පූජකයන්ගේ කුහකකම් ඔහු පැහැදිලිව දැක්කා. වැරදි කෙරුවොත් නරකාදියේ පිච්චි පිච්චි ඉන්න වෙයි කියලා අනිත් අයට දේශනා කෙරුවත් ඒ පූජකයන් හොඳටම බිව්වා, සූදු ගැහුවා, සම්මාදම් සල්ලි හොරකම් කෙරුවා.

ජෙෆ්රි කෙරුවේ එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ තිබුණු ජාත්‍යන්තර නැව් සමාගම්වලට සම්බන්ධ රැකියාවක්. හුඟක් අවස්ථාවලදී ව්‍යාපාරිකයන් වගේම පාරිභෝගිකයන් ගනුදෙනුවක් ගැන රජයේ බලධාරීන් එක්ක සාකච්ඡා කරද්දී වංචාවෙන්, කුහකකමින් ක්‍රියා කරපු විදිහ ඔහුට මතකයි. ඒ අය බිස්නස් එක තමන්ට ලබාගන්න ඕනම බොරුවක් කරන්න ලෑස්ති වෙලා හිටියා.

කුහකකම නැති තැනක් නැහැ. දේශපාලනික, ආගමික, වාණිජ කියන හැම ක්ෂේත්‍රයකම කුහකකම පැතිරිලා. “කුහකකම” කියන වචනයට තියෙන ග්‍රීක වචනය පාවිච්චි කෙරුවේ වෙස් මූණක් පැළඳගෙන ඉන්න වේදිකා නළුවෙක්ව විස්තර කරන්නයි. ඔහුගේ සැබෑ ස්වරූපය පේන්නේ නැහැ. ඒ වගේ කුහක අයගෙත් සැබෑ ස්වරූපය දකින්න බැහැ. ඒ අය අනිත් අයව රවට්ටන්න, තමන්ගේම ආශාවන් ඉටු කරගන්න බොරු මවාපෑම් කරනවා.

වංචාවකට, රැවටීමකට අහු වුණ කෙනෙක්ට වංචාව කරපු අය ගැන ලොකු කේන්තියක්, කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට හිතෙයි “මේ කුහකකම් කවදාද නැති වෙන්නේ” කියලා. කුහකකම් නැති වෙනවා කියලා බයිබලයේ කියලා තියෙනවා.

දෙවියන් සහ ඔහුගේ පුතා කුහකකම සලකන විදිහ

බයිබලයේ කියන විදිහට මුලින්ම කුහකකමක් කෙරුවේ මිනිසෙක් නෙවෙයි දේවදූතයෙක්. සාතන් බවට පත් වුණ ඒ දේවදූතයා තමන්ගේ සැබෑ රූපය වසං කරන්න මුල් ස්ත්‍රිය වන ඒවට කතා කෙරුවේ සර්පයෙක්ව යොදාගෙනයි. ඔහු ඇයට ඇඟෙව්වේ යහපතක් කරනවා කියලයි. (උත්පත්ති 3:1-5) එදා ඉඳන් මිනිසුන් කරලා තියෙන්නෙත් ඒකමයි. මිනිස්සු අනිත් අයව නොමඟ යවන්න, ආශාවන් ඉටු කරගන්න තමන්ගේ සැබෑ තත්වය වසං කරනවා.

පුරාණයේ හිටිය ඊශ්‍රායෙල් ජාතිය දෙවියන්ට නමස්කාර කරනවා කියලා කිව්වත් බොරු නමස්කාරයේ උගුලට අහු වෙලයි හිටියේ. ඒ අයට විඳින්න වෙන ප්‍රතිඵල ගැන යෙහෝවා දෙවියන් නිතර නිතර අවවාද කෙරුවා. ඔහු තම සේවකයෙක් මාර්ගයෙන් මෙහෙම කිව්වා. “මේ ජනයා මා වෙතට ළං වන්නේ තමන්ගේ තොල්වලින් පමණි. ඔවුන් තමන්ගේ මුඛයෙන් මට ප්‍රශංසා කළත් ඔවුන්ගේ සිත් මා වෙතින් බොහෝ ඈත් වී තිබේ.” (යෙසායා 29:13) ඊශ්‍රායෙල්වරුන් දෙවියන් වෙතට හැරුණේ නැති නිසා ඔවුන්ගේ නමස්කාර මධ්‍යස්ථානය වන යෙරුසලමයි, දේවමාලිගාවයි විනාශ කරන්න වෙනත් ජාතීන්ට ඔහු ඉඩහැරියා. මුලින්ම ක්‍රි.පූ. 607දී බැබිලෝනිවරු අතිනුත් ඊටපස්සේ ක්‍රි.ව. 70දී රෝම හමුදාව අතිනුත් ඒවා විනාශ වුණා. ඒකෙන් පේන්නේ දෙවියන් හැමදාම කුහකකම පවතින්න ඉඩ දෙන්නේ නැහැ කියලයි.

ඒත් දෙවියන් සහ ඔහුගේ පුතා වන යේසුස් අවංක මිනිසුන්ව ගොඩක් අගය කරනවා. උදාහරණෙකට නතානියෙල් කියන කෙනා දැක්කාම යේසුස් මෙහෙම කිව්වා. “මෙන්න, සැබෑ ඊශ්‍රායෙල් ජාතිකයෙක්. ඔහු තුළ කිසි වංචාවක් නැහැ.” (යොහන් 1:47) බාතොලමෙව් කියලත් හඳුන්වන නතානියෙල් පස්සේ කාලෙකදී යේසුස්ගේ ගෝලයන් 12දෙනාගෙන් කෙනෙක් වුණා.—ලූක් 6:13-16.

යේසුස්, දෙවියන් හිතන විදිහට හිතන්න ඔහුගේ අනුගාමිකයන්ට උගන්වන්න කාලය වැය කෙරුවා. යේසුස් ආගමික නායකයන්ගේ කුහකකම් තදින්ම හෙළාදැකීමෙන් කිසිම කුහකකමක් කරන්න හොඳ නැහැ කියලා ඔවුන්ට පෙන්වලා දුන්නා. ඒ අයගේ කුහක ක්‍රියා කීපයක් බලන්න.

ධර්මිෂ්ඨ ක්‍රියා කෙරුවේ අනිත් අයට පේන්න. යේසුස් මෙහෙම කිව්වා. “ඔබ යම් ධර්මිෂ්ඨ ක්‍රියාවක් කරනවා නම් එය කළ යුත්තේ මිනිසුන්ට පෙන්වීමේ අදහසින් නොවෙයි. . . . කුහකයන් මෙන් කටයුතු කරන්න එපා.” යහපතක් කරද්දී අනුන්ට “නොපෙනෙන සේ” ඒක කරන්න කියලත් ඔහු කිව්වා. යාච්ඤා කළ යුතු වුණෙත් එහෙමයි. ඔවුන්ගේ නමස්කාරය දෙවි පියාණන් පිළිගන්න, අවංක එකක් වෙන්නේ එතකොටයි.—මතෙව් 6:1-6.

අනිත් අයව විවේචනය කරන්නමයි බලාගෙන හිටියේ. යේසුස් මෙහෙම කිව්වා. “මුලින්ම ඔබේ ඇසේ තිබෙන පරාලය ඉවතට ගන්න. එවිට ඔබේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ ඉවතට ගන්න පුළුවන් කෙසේද කියා ඔබට පැහැදිලිව පෙනෙයි.” (මතෙව් 7:5) තමන්ගේ ලොකු වැරදි වහගෙන අනිත් අයගේ පොඩි පොඩි වැරදි හොයන එක කුහකකමක්. මොකද පව් නොකරන කිසිම කෙනෙක් නැහැ කියලා බයිබලයේ කියනවා. (රෝම 3:23) ඇත්තටම වැරදි තියාගෙන තමන් ධර්මිෂ්ඨයි කියලා පෙන්නන එක මවාපෑමක්.

ඔවුන්ට තිබුණේ වැරදි චේතනා. එක අවස්ථාවකදී පරිසිවරුන්ගේ ගෝලයන් සහ හෙරොද්ට පක්ෂව හිටිය අය යේසුස්ගෙන් බදු ගෙවීම ගැන ප්‍රශ්නයක් අහන්න ඇවිත් මෙහෙම කිව්වා. “ගුරුතුමනි, ඔබ සත්‍යය කතා කරන බවත් දෙවි පෙන්වා දෙන මාර්ගය උගන්වන්නේ සත්‍ය කාරණා පදනම් කරගෙන බවත් අපි දන්නවා.” ඒ විදිහට මුලින් ඔවුන් යේසුස්ව බොරුවට වර්ණනා කෙරුවා. ඊටපස්සේ ඔහුව අහු කරගන්න අදහසින් මෙහෙම ඇහුවා. “සීසර්ට බදු ගෙවිය යුතුද නැද්ද?” එතකොට යේසුස් “ඔබ මොන තරම් කුහකයෝද? ඔබ මගේ වරදක් අල්ලාගන්න උත්සාහ කරන්නේ ඇයි” කියලා ඇහුවා. යේසුස් ඔවුන්ට කුහකයන් කියලා කිව්වේ ඔවුන් පිළිතුරක් ලබාගන්න අදහසින් ප්‍රශ්නේ අහන්නේ නැතුව ‘ඔහුව අසු කරගන්න’ අදහසින් ප්‍රශ්නයක් අහපු නිසයි.—මතෙව් 22:15-22.

සැබෑ ක්‍රිස්තියානීන් ‘ප්‍රේමය පවිත්‍ර හදවතකින්ද දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියකින්ද කිසිම කුහකකමක් නැති විශ්වාසයකින්ද පෙන්විය යුතුයි.’—1 තිමෝති 1:5

ක්‍රි.ව. 33දී ක්‍රිස්තියානි සභාව පිහිටෙව්ව කාලයේ සෙනඟ සත්‍යය ඉගැන්වීම් අදාළ කරගෙන අවංකව කටයුතු කෙරුවා. සැබෑ ක්‍රිස්තියානීන් තමන් තුළ තියෙන කුහකකම් අයින් කරගන්න ලොකු වෑයමක් දැරුවා. යේසුස්ගේ ගෝලයන් 12දෙනාගෙන් කෙනෙක් වුණ පේතෘස් සැබෑ ක්‍රිස්තියානීන්ට උනන්දු කෙරුවේ ‘සත්‍ය ඉගැන්වීම්වලට කීකරු වෙන්න. අවංක මෙන්ම අව්‍යාජ සහෝදර ස්නේහයක්’ ඇතුව ඉන්න කියලයි. (1 පේතෘස් 1:22) පාවුල් කිව්වෙත් මෙහෙමයි. ‘ප්‍රේමය පවිත්‍ර හදවතකින්ද දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියකින්ද කිසිම කුහකකමක් නැති විශ්වාසයකින්ද පෙන්විය යුතුයි.’—1 තිමෝති 1:5.

දේවවචනයට තියෙන බලය

යේසුස්ගේ සහ ඔහුගේ නියෝජිතයන්ගේ ඉගැන්වීම් මුල් සියවසේ හිටිය අයට වගේම අපිටත් ප්‍රයෝජනවත්. බයිබලයේ තියෙන ඒ ඉගැන්වීම් ගැන පාවුල් මෙහෙම කිව්වා. “දෙවිගේ වදන් ජීවමානය, බලවත්ය. ඕනෑම දෙමුවහත් කඩුවකට වඩා තියුණුය. එය කොතරම් ගැඹුරට පසාරු කරගෙන යනවාද කිවහොත් යමෙකුගේ බාහිර ස්වභාවය ඔහුගේ සැබෑ ඇතුළාන්ත ස්වභාවයට වඩා කොතරම් වෙනස්ද කියා පෙන්වීමටත් සන්ධිවලින් ඇටමිදුලු වෙන් කර දැක්වීමටත් එයට පුළුවන. එමගින් යමෙකුට තම සිතේ සිතුවිලිද චේතනාද වටහාගත හැක.” (හෙබ්‍රෙව් 4:12) බයිබලයේ ඉගැන්වීම් දැනගෙන ඒ අනුව ජීවත් වෙන්න උත්සාහ කරන අයට කුහකකම් අත්හැරලා අවංකව ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. බයිබලය නිසා මුලින්ම සඳහන් කරපු තුන්දෙනාගේ ජීවිත වෙනස් වුණ විදිහ බලන්න.

“ඒ අය අනිත් අයට අවංක ආදරයක්, සැලකිල්ලක් පෙන්වනවා මම දැක්කා.”—පානායෝටා

පානායෝටාට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානයේ රැස්වීමකට යන්න අවස්ථාව ලැබුණා. එතන හිටපු අය අනිත් අයට පේන්න ධර්මිෂ්ඨ ක්‍රියා කරනවා එයා දැක්කේ නැහැ. එයා කිව්වේ මෙහෙමයි. “ඒ අය අනිත් අයට අවංක ආදරයක්, සැලකිල්ලක් පෙන්වනවා මම දැක්කා. මම දේශපාලනයට බැහැලා වැඩ කරපු කාලේ ඒ වගේ දෙයක් නම් කවදාවත් දැක්කේ නෑ.”

පානායෝටා බයිබලය පාඩම් කරලා බව්තීස්ම වුණා. ඒ මීට අවුරුදු 30කට කලින්. දැන් එයා මෙහෙම කියනවා. “මගේ ජීවිතේට සැබෑ අරමුණක් ලැබුණේ දේශපාලනය කෙරුව කාලේ නෙමෙයි දේවරාජ්‍යය ගැන දේශනා කරන්න ගත්තට පස්සේ. යුක්තිය, සාධාරණය රජයන ලෝකයක් බිහි වෙන්නේ දේවරාජ්‍යයෙන් විතරයි.”

“මවාපෑමක් කරලා සහෝදරයන්ව රවට්ටන්න මට ඕන වුණේ නෑ.”—ඩැනියෙල්

ඩැනියෙල් කාලයක් යද්දී ක්‍රිස්තියානි සභාවේ වගකීම් දරන්නත් පටන්ගත්තා. ඒත් අවුරුදු කීපයකට පස්සේ ඔහු අතින් වරදක් සිද්ධ වුණා. එයාගේ හිත වධ දෙන්න පටන්ගත්තා. එයා මෙහෙම කියනවා. “පල්ලියේ අය වැරදි කරකර වගකීම් දැරුව විදිහ මට මතක් වුණා. ඒත් මවාපෑමක් කරලා සහෝදරයන්ව රවට්ටන්න මට ඕන වුණේ නෑ. ඒ නිසා වගකීම්වලින් අයින් වුණා.”

කාලයක් ගියාට පස්සේ ඩැනියෙල්ට තේරුණා හොඳ හෘදය සාක්ෂියක් ඇතුව වගකීම් දරන්න පුළුවන් කියලා. ආයෙත් ඔහු සභාවේ වගකීම් දරන්න පටන්ගත්තා. කුහකකමින් තොරව දෙවියන්ට සේවය කරන අය තුළ තමයි මේ වගේ අවංකකමක් දකින්න තියෙන්නේ. ඔවුන් සහෝදරයාගේ ඇහෙන් “රොඩ්ඩ ඉවතට ගන්න” කියලා කියන්න කලින් තමන්ගේ ඇහේ තියෙන “පරාලය ඉවතට ගන්න” ඉගෙනගෙන තියෙනවා.

“මං තේරුම්ගත්තා ඕන බොරුවක් කියලා බිස්නස් කරන ව්‍යාපාරිකයෙක් වෙන්න මට බැහැ කියලා. . . . මගේ හිත වධ දුන්නා.”—ජෙෆ්රි

ව්‍යාපාර ක්ෂේත්‍රයේ වැඩි කාලයක් රැකියාව කරපු ජෙෆ්රි මෙහෙම කියනවා. “බයිබලේ ඉගෙනගද්දී මං තේරුම්ගත්තා ඕන බොරුවක් කියලා බිස්නස් කරන ව්‍යාපාරිකයෙක් වෙන්න මට බැහැ කියලා. මොකද හිතෝපදේශ 11:1 කියන්නේ ‘හොර තරාදිය යෙහෝවා දෙවිට පිළිකුලක්’ කියලයි. ඒ නිසා මගේ හිත වධ දුන්නා.” බදු ගැන යේසුස්ගෙන් ප්‍රශ්න කරපු අය වගේ වැරදි චේතනාවක් ඇතුව කා එක්කත් ගනු දෙනු කරන්න සුදුසු නැහැ කියලා ජෙෆ්රි තේරුම්ගත්තා.

ලෝකේ පුරා ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මිලියන ගණන් දෙනෙක් තමන් බයිබලයෙන් ඉගෙනගන්න දේවල් අදාළ කරගන්න උත්සාහ කරනවා. ඔවුන් ලොකු වෑයමක් දරන්නේ අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්නයි. “එම පෞද්ගලිකත්වය හැඩගසා ඇත්තේ දෙවිගේ කැමැත්තට එකඟවය. එවැනි පෞද්ගලිකත්වයක් ඇති කෙනෙක් ක්‍රියා කරන්නේ සැබෑ ධර්මිෂ්ඨකමින් සහ පක්ෂපාතකමින්ය.” (එෆීස 4:24) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කවුද, ඔවුන් විශ්වාස කරන්නේ මොනවාද, පාරාදීසය ගැන දෙවියන්ගේ පොරොන්දුව ගැන දැනගන්න ඔයාට උදව් කරන්න ඒ අයට පුළුවන් කොහොමද කියලා හොයලා බලන්න. “ධර්මිෂ්ඨකම රජයන” ඒ පාරාදීසයේදී කිසිම කුහකකමක් සිද්ධ වෙන්නේ නැහැ.—2 පේතෘස් 3:13.