Skip to content

පටුනට යන්න

1924දී WBBR ගුවන්විදුලි මධ්‍යස්ථානය

අතීතයෙන් බිඳක්

ගුවන්විදුලියෙන් ශුභාරංචිය

ගුවන්විදුලියෙන් ශුභාරංචිය

 1924 පෙබරවාරි 24වෙනි ඉරිදා හවස අලුත්ම ගුවන්විදුලි සේවාවක් පටන්ගත්තා. ඒක තමයි බයිබල් ශිෂ්‍යයන්ට a අයිති WBBR කියන ගුවන්විදුලි සේවාව. ඒ සේවාව හරහා විකාශනය වුණ මුල්ම වැඩසටහනේ මොන වගේ අංගද තිබුණේ? ඒ වැඩසටහනට ඇහුම්කන් දෙන්න පුළුවන් වුණේ කාටද? මේ වෙන කල් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ‘මුළු පොළොව පුරාම රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය’ පතුරුවන්න අලුත්ම තාක්ෂණය පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද?—මතෙව් 24:14.

WBBR පාලක මැදිරියේ වැඩ කරන කෙනෙක්

“අපි වැඩසටහන පටන්ගත්තා”

 ඒ මුල්ම වැඩසටහන පටන්ගත්තේ රෑ 8.30ට. ඒක පැය දෙකක වැඩසටහනක්. නිව් යෝර්ක්වල තියෙන ස්ටැටන් අයිලන්ඩ්වල අලුතින්ම හදපු ගුවන්විදුලි මධ්‍යස්ථානයක ඉඳන් තමයි ඒ වැඩසටහන විකාශනය වුණේ. ශබ්ද විකාශන අංශය භාරව හිටපු සහෝදර රැල්ෆ් ලෙෆ්ලර් මෙහෙම කියනවා. “එදා අපේ හිත්වල ලොකු සතුටක් වගේම පොඩි බයකුත් තිබුණා. අපි කියන දේවල් කට්ටියට ඇහෙයිද කියලත් මං කල්පනා කළා. ඒත් හැම දේම හොඳින් වෙන්න ඕන කියලා හිතලා අපි වැඩසටහන පටන්ගත්තා.”

 ඒ විශේෂ වැඩසටහනේ නිවේදකයා වුණේ ගුවන්විදුලි මධ්‍යස්ථානය භාරව හිටපු සහෝදර වික්ටර් ෂ්මිට්. එයා වැඩසටහන පටන්ගත්තේ දක්ෂ සංගීත වාදකයන් සහ ගායකයන් කීපදෙනෙක්ව හඳුන්වලා දීලයි. ඒ හැමෝම බයිබල් ශිෂ්‍යයන්. මුලින්ම එක් කෙනෙක් තනියෙන් පියානෝව වාදනය කළා. ඊටපස්සේ සහෝදරි කෝරා වෙල්මන් “අනූ නමදෙනා” කියන ගීතිකාව ගායනා කළා. ඒක නැති වුණ බැටළුවා ගැන යේසුස් කියපු උපමාව මත පදනම් ගීතිකාවක්. (ලූක් 15:4-7) ෆ්‍රෙඩ්රික් ඩබ්ලිව්. ෆ්‍රාන්ස් කියන සහෝදරයාත් ගීතිකාවක් ගායනා කළා. අකීකරු පුතාගේ කතාව ගැන කියවුණු ඒ ගීතිකාවේ තේමාව “පසුතැවිල්ල.”—ලූක් 15:11-25.

WBBR පටන්ගත්ත දවසේ වැඩසටහන

 සහෝදර ජෝසෆ් එෆ්. රදෆර්ඩ් ඒ ගුවන්විදුලි මධස්ථානය කැප කරලා දේශනයක් දුන්නා. සහෝදර රදෆර්ඩ් තමයි ඒ කාලේ බයිබල් ශිෂ්‍යයන්ගේ වැඩ අධීක්ෂණය කළේ. ඒ ගුවන්විදුලි මධස්ථානය පටන්ගත්තේ “ශුභාරංචිය පතුරුවන්න ඕන නිසයි” කියලා සහෝදර රදෆර්ඩ් කිව්වා. එයා මෙහෙමත් කිව්වා. “මිනිස්සුන්ට ගුවන්විදුලිය හදන්න අපේ ස්වාමීන් ඉඩහැරලා තියෙනවා. ඉතින් අපි ගුවන්විදුලිය පාවිච්චි කරලා ඔහු කියපු අනාවැකි ඉටු වෙන විදිහ ගැන මිනිස්සුන්ව දැනුවත් කරද්දී ඔහු ඒ ගැන සතුටු වෙනවා කියලා අපිට විශ්වාසයි.”

“හැම වචනයක්ම හොඳටම ඇහුණා”

 ඇමරිකාවේ ඊසානදිග ප්‍රදේශයේ හිටපු හුඟදෙනෙක්ට ඒ වැඩසටහන අහන්න ලැබුණා. කිලෝමීටර් 320කට (සැ. 200කට) වඩා ඈතින් තිබුණ මොරිස්විල් වර්මොන්ට්වල හිටපු කෙනෙක් ඒ වැඩසටහන ගැන මෙහෙම කියලා තිබුණා. “මටත් ඒ වැඩසටහන හොඳට ඇහුණා. විශේෂයෙන්ම රදෆර්ඩ්ගේ කටහඬ පැහැදිලිව ඇහෙන්න තිබුණා. එයා කියපු හැම වචනයක්ම හොඳටම ඇහුණා.” ෆ්ලොරිඩාවේ මොන්ටිචෙලෝවල හිටපු කෙනෙක්ටත් ඒ වැඩසටහනට ඇහුම්කන් දෙන්න පුළුවන් වුණා. ඒ ගුවන්විදුලි සේවාව හුඟක් සාර්ථක වුණා. ගොඩක් අය ඒක අගය කරලා ලියුමුත් එව්වා.

WBBR ගුවන්විදුලි මධ්‍යස්ථානයේ මයික්‍රොෆෝනයක් ළඟ ඉන්න ජෝසෆ් රදෆර්ඩ්. නිවේදකයා, වික්ටර් ෂ්මිට්

 අවුරුදු 33ක්ම b ඒ ගුවන්විදුලි මධ්‍යස්ථානයෙන් දේවරාජ්‍යයයේ පණිවිඩය දැනුම් දුන්නා. ඒ වැඩසටහන් විශේෂයෙන්ම විකාශනය වුණේ ඇමරිකාවේ ඊසානදිග ප්‍රදේශයේ ඉන්න අයට. ඒත් සමහර අවස්ථාවලදී WBBR කියන ගුවන්විදුලි සේවාව වෙනත් ගුවන්විදුලි මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් එක්ක සම්බන්ධ කළා. ඒ නිසා ඇමරිකාවේ, කැනඩාවේ සහ වෙනත් රටවල ඉන්න මිලියන ගාණක් දෙනෙක්ට ඒ වැඩසටහන් අහන්න ලැබුණා. ‘1975 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ’ මෙහෙම කියලා තිබුණා. “1933දී තමයි මේ වැඩසටහන් වැඩිම පිරිසකට විකාශනය වුණේ. ගුවන්විදුලි මධ්‍යස්ථාන 408ක ඉඳන් මහාද්වීප හයක ඉන්න අයට පණිවිඩය දැනුම් දුන්නා. ඊට අමතරව බයිබල් දේශන 23,783ක් විකාශනය වුණා. ඒ දවස්වලදී බයිබල් ශිෂ්‍යයන්ගේ දේශන එකම වෙලාවේ විකාශනය කරපු ගුවන්විදුලි මධ්‍යස්ථාන ගොඩක් තිබුණා. ගුවන්විදුලියට සවන් දුන්න ඕනම කෙනෙක්ට දෙවියන්ට ගෞරවයක් ගේන සත්‍ය වචන නිතරම අහන්න ලැබුණා.”

ගෙයින් ගෙට සේවයෙන් වැඩි ප්‍රතිඵල

 බයිබල් ශිෂ්‍යයන් ගුවන්විදුලි වැඩසටහන් පටන්ගත්ත කාලේ සමස්තයක් විදිහට ඇමරිකාවේ හිටියේ ප්‍රචාරකයන් 1,064ක් විතරයි. ඉතින් හුඟදෙනෙක්ට පණිවිඩය දැනුම් දෙන්න මේ පොඩි කණ්ඩායමට ඒ වැඩසටහන් ගොඩක් උදව් වුණා. ඒත් 1957 වෙද්දී ඇමෙරිකාවේ ප්‍රචාරකයන් සමස්තයක් විදිහට 1,87,762ක් හිටියා. ලෝකේ පුරාම ප්‍රචාරකයන් 6,53,273ක් හිටියා. ඒ විතරක් නෙමෙයි, රැස්වීම්වලින් ලැබුණු පුහුණුව නිසා ඒ උද්‍යෝගිමත් සහෝදර සහෝදරියන්ට තවත් දක්ෂ විදිහට ගෙයින් ගෙට සේවය කරන්නත් සේවයේ වෙනත් අංගවල හවුල් වෙන්නත් පුළුවන් වුණා.

 සහෝදර සහෝදරියන් සේවය හොඳින් කරගෙන යනවා දැක්කාම වගකීම් දරන සහෝදරයන් කල්පනා කළා වඩා හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ ගුවන්විදුලිය හරහා පණිවිඩය කියද්දීද, නැත්නම් ගෙයින් ගෙට ගිහිල්ලා මිනිස්සුන්ව හම්බ වෙලාම පණිවිඩය කියද්දීද කියලා. ඒ ගැන හිතලා බැලුවාට පස්සේ එයාලා ගත්තේ මොන වගේ තීරණයක්ද? WBBR ගුවන්විදුලි මධ්‍යස්ථානය විකුණන්න එයාලා තීරණය කළා. ඒ වෙද්දී වොච් ටවර් සමිතියට අයිති වෙලා තිබුණු එකම ගුවන්විදුලි මධ්‍යස්ථානය ඒකයි. ඉතින් ඒක 1957 අප්‍රියෙල් 15වෙනිදා වික්කා. ඊට කලින් දවසේදී අන්තිම වතාවට බයිබල් ශිෂ්‍යයන් වැඩසටහනක් පැවැත්තුවා. ඒකෙදී නේතන් එච්. නෝර්ගෙන් ඇහුවා ඒ ගුවන්විදුලි මධ්‍යස්ථානය විකුණන්නේ ඇයි කියලා. එයා කිව්වා මෑත කාලවලදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ගාණ වැඩි වෙන්න උදව් වුණු ප්‍රධානම දේ ගෙයින් ගෙට සේවය කියලා. “ඇත්ත, WBBR වැඩසටහන් නිසා ගොඩක් අය අතරට පණිවිඩය ගියා. ඒත් ඒ වැඩසටහන් අහන්න ලැබෙන්නේ නැති පැතිවලත් ඒ තරම්ම ලොකු වර්ධනයක් තියෙනවා” කියලා එයා කිව්වා. ඉතින් සහෝදරයන් තීරණය කළා ගුවන්විදුලි වැඩසටහන් නතර කරලා ගෙයින් ගෙට සේවයට වැඩි අවධානයක් දුන්නොත් ඊට වඩා ලොකු වර්ධනයක් අද්දකින්න පුළුවන් කියලා. එක මාධ්‍යයක් හරහා ශුභාරංචිය විකාශනය කරන එක නතර වුණත් දශක ගාණකට පස්සේ වෙනත් මාධ්‍යයකින් ශුභාරංචිය විකාශනය කරන්න පටන්ගත්තා.

JW බ්‍රෝඩ්කාස්ටිං

 2014 ඔක්තෝම්බර් 6, යෙහෝවාගේ සංවිධානයට හරිම විශේෂ දවසක්. එදා තමයි ඉන්ටනෙට් එක හරහා JW බ්‍රෝඩ්කාස්ටිං කියන රූපවාහිනි වැඩසටහන් විකාශනය කරන්න පටන්ගත්තේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සහ වෙනත් අය හැම මාසෙකම වෙබ් බ්‍රව්සර් එකක්, JW Library ඇප් එක, ස්ට්‍රීමිං උපකරණයක් සහ සැටලයිට් නාලිකාවක් c හරහා බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහන් බලනවා. සමහර රටවල සාක්ෂිකරුවන් තාමත් ඒ රටේ තියෙන ගුවන්විදුලි සේවාවන් සහ රූපවාහිනි නාලිකාවන් සංවිධානයේ වැඩවලට පාවිච්චි කරනවා.

2014 ඔක්තෝම්බර් මාසයේ පළවෙනි JW බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහන

 උදාහරණෙකට මෑත අවුරුදුවලදී සාක්ෂිකරුවන් ඉන්ටනෙට් පහසුකම් අඩු පැතිවල රැස්වීම් සහ සමුළු විකාශනය කරන්න වෙනත් ගුවන්විදුලි සේවාවන් සහ රූපවාහිනි නාලිකාවන් පාවිච්චි කරලා තියෙනවා. ඒ වැඩසටහන් සාක්ෂිකරුවන් නොවන විශාල පිරිසකටත් අහන්න ලැබිලා තියෙනවා. ඒ අය අතරේ පණිවිඩය දැනගන්න ලොකු උනන්දුවක් තියෙන අයත් ඉන්නවා. උදාහරණෙකට 2021ත් 2022ත් අතර කාලයේදී ගුවන්විදුලි මධ්‍යස්ථානවල අයිතිකරුවන් නැඟෙනහිර අප්‍රිකාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට කියලා තිබුණා සාක්ෂිකරුවන් නොවන අයත් එයාලාගේ වැඩසටහන් ගොඩක් අගය කරනවා කියලා. කෙන්යාවේ, දකුණු සුඩානයේ සහ ටැන්සානියාවේ ඉන්න සමහරදෙනෙක් බයිබලේ ගැන දැනගන්න කැමතියි කියලත් එයාලට කියලා තියෙනවා.

 සාක්ෂිකරුවන් ලෝකේ පුරාම ඉන්න අයට පණිවිඩය දේශනා කරන්න පාවිච්චි කරන ප්‍රධානම ක්‍රම කීපයක් තියෙනවා. ඒවා තමයි ගෙයින් ගෙට සේවය, පොදු සේවය සහ jw.org වෙබ් අඩවිය. අපේ වෙබ් අඩවියට යන අයට පුළුවන් හරිම ලේසියෙන් බයිබලේ සහ භාෂා 1,080කින් තියෙන බයිබලේ මත පදනම් ප්‍රකාශන කියවන්න. ඒකට කිසිම මුදලක් අය කරන්නේ නැහැ. විවිධ ප්‍රශ්නවලට බයිබලෙන්ම උත්තර දැනගන්නත් අපේ රැස්වීම් පවත්වන තැන් දැනගන්නත් ඒ වෙබ් අඩවිය උදව් වෙනවා. ඒ දේවල් නිසා වෙන කවරදාකටත් වඩා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පුළුවන් වෙලා තියෙනවා දේවරාජ්‍යයේ පණිවිඩය ලෝකේ පුරාම ඉන්න අයට දැනුම් දෙන්න. බයිබලේ කියපු විදිහටම දේවරාජ්‍යයේ පණිවිඩය “ජනාවාස වූ මුළු පොළොව පුරාම” දේශනා කරනවා කියලා කියන්න පුළුවන්.—මතෙව් 24:14.

a 1931දී බයිබල් ශිෂ්‍යයන්ව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට හඳුන්වන්න පටන්ගත්තා.

b යම් කාලෙකට ඕස්ට්‍රේලියාව, කැනඩාව ඇතුළු වෙනත් රටවලත් සාක්ෂිකරුවන්ට ගුවන්විදුලි මධ්‍යස්ථාන තිබුණා.

c “JW සැටලයිට් නාලිකාවක්” කියන ලිපිය බලන්න.