Skip to content

පටුනට යන්න

අතීතයෙන් බිඳක්

නවසීලන්තයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් - දෙවියන්ට ළැදි, සාමකාමී පිරිසක්ද?

නවසීලන්තයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් - දෙවියන්ට ළැදි, සාමකාමී පිරිසක්ද?

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය ආණ්ඩුවටත් මහජනයාගේ ආරක්ෂාවටත් තර්ජනයක් කියලා 1940 ඔක්තෝබර් 21වෙනිදා නවසීලන්ත ආණ්ඩුව ප්‍රකාශයට පත් කළා. ඒ ප්‍රකාශයත් එක්කම එහෙ හිටපු සාක්ෂිකරුවන්ට ගොඩක් විරුද්ධවාදිකම් එල්ල වුණත් එයාලා අධෛර්යය වුණේ නැහැ. උදාහරණෙකට එයාලා එකතු වෙලා නමස්කාර කරන තැන්වලට බලධාරීන් කඩා පැනලා එයාලව අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා එයාලා දැනගෙන හිටියත් එයාලා බය නැතුව දිගටම එකතු වෙලා දෙවියන්ට නමස්කාර කළා.

 මේරි කියන සහෝදරියගේ සැමියා වුණ ඇන්ඩි ක්ලාර්ක් සාක්ෂිකරුවෙක් නෙමෙයි. අනතුරුදායක වාතාවරණයක් තිබුණත් දිගටම රැස්වීම්වලට යන්න මේරිට ලොකු වුවමනාවක් තිබුණා කියලා ඇන්ඩි දැක්කා. රැස්වීම්වලට ගියාම මේරිව අත්අඩංගුවට ගනියි කියන බය ඇන්ඩිට තිබුණා. ඒ නිසා එයා මේරිත් එක්ක රැස්වීම්වලට යන්න තීරණය කළා. එයා කලින් රැස්වීම්වලට ගිය කෙනෙක් නෙමෙයි. එයා මේරිට මෙහෙම කිව්වා. “දැන් ඉතිං එයාලට ඔයාව විතරක් නෙමෙයි මාවත් අත්අඩංගුවට ගන්න වෙනවා.” එදා ඉඳන් එයා මේරිත් එක්ක හැම රැස්වීමකටම සහභාගි වුණා. කාලෙකට පස්සේ එයා බව්තීස්ම වුණා. 2වෙනි ලෝක යුද්ධ කාලේ මොන තරම් විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වුණත් මේරි වගේ නවසීලන්තයේ හිටපු සාක්ෂිකරුවන් හුඟදෙනෙක් දිගටම දෙවියන්ට ළැදිව ඉන්න ලොකු සටනක් කළා.

රැඳවුම් කඳවුරුවල ඉද්දීත් දෙවියන්ට ළැදිව හිටියා

 දවසක් වයස 78ක සහෝදරයෙක් වුණ ජෝන් මරේ ගෙයින් ගෙට දේශනා කරමින් ඉද්දී පොලීසියෙන් එයාව අත්අඩංගුවට ගත්තා. ආණ්ඩුවට තර්ජනයක් විදිහට සලකපු සංවිධානයක වැඩකටයුතුවලට හවුල් වීමේ චෝදනාවට එයා වැරදිකරුවෙක් කියලා උසාවියෙන් තීන්දු කළා. එයාට විතරක් නෙමෙයි තවත් සාක්ෂිකරුවන් හුඟදෙනෙක්ට විරුද්ධව බලධාරීන් නඩු දැම්මා. ඒ අයගෙන් සමහරුන්ට දඩ නියම වුණා. තවත් අයට මාස තුනක් විතර සිරදඬුවම් විඳින්න වුණා.

 යුද්ධය පැවති කාලේ අනිත් අයව වගේම සාක්ෂිකරුවන්වත් හමුදාවට බඳවගන්න උත්සාහ කළා. ඒත් හමුදා සේවය තමන්ගේ හෘදය සාක්ෂියට විරුද්ධ නිසා හමුදාවට බැඳෙන එක සාක්ෂිකරුවන් ප්‍රතික්ෂේප කළා. (යෙසායා 2:4) ඒ නිසා එයාලට දරුණු පීඩාවලට මුහුණ දෙන්න වුණා. බලධාරීන් සාක්ෂිකරුවන් 80දෙනෙක්ව විතර රැඳවුම් කඳවුරුවලට යවලා යුද්ධය අවසන් වෙන කල්ම එයාලව එහෙ තියාගත්තා. එහෙදී බලධාරීන් ඒ සාක්ෂිකරුවන්ට සැලකුවේ හරිම නපුරු විදිහට. ඒ විතරක් නෙමෙයි එයාලට ඉන්න වුණේ තද සීතලේ. ඒ වුණත් සහෝදරයන් හරිම සතුටින් යෙහෝවා දෙවියන්ට නමස්කාර කළා.

 එයාලා රැඳවුම් කඳවුරුවලට ගිය ගමන්ම වගේ එයාලගේ නමස්කාර වැඩ පටන්ගත්තා. එයාලා නිතිපතා රැස්වීම් පැවැත්තුවා. අනිත් සිරකරුවන්ට දේශනා කළා. සමහර කඳවුරුවල හිටපු සාක්ෂිකරුවන්ට ආරක්ෂක භටයෙක්ගේ අධීක්ෂණය යටතේ සමුළු පවත්වන්නත් ඉඩ ලැබිලා තිබුණා. එයාලා දේශනා කරපු සමහර හිරකරුවන් බයිබලේ ඉගෙනගෙන එහෙදීම බව්තීස්ම වුණා.

රැඳවුම් කඳවුරක ඉන්න සාක්ෂිකරුවන් පිරිසක් සේවා පාසැල පවත්වමින්

 කලින් සඳහන් කරපු මේරි සහ ඇන්ඩිගේ බාලම පුතා වන බෘස්වත් රැඳවුම් කඳවුරකට යවලා තිබුණා. එහෙ හිටපු කාලය එයා සැලකුවේ දෙවියන් ගැන තව ඉගෙනගන්න එයාට ලැබුණ අවස්ථාවක් විදිහට. එයා මෙහෙම කියනවා. “මට දැනුණේ මං හරියට ඉස්කෝලේ ගියා වගේ. මොකද එහෙ හිටපු අද්දැකීම් තියෙන සහෝදරයන් එක්ක බයිබලේ තිබුණ කාරණා ගැන ගොඩක් වෙලා කතා කරන්න මට අවස්ථාව ලැබුණා. ඒකෙන් මං හුඟක් දේවල් ඉගෙනගත්තා.”

 1944දී නවසීලන්ත රජය රැඳවුම් කඳවුරුවල හිටපු සමහර සාක්ෂිකරුවන්ව නිදහස් කරන එක ගැන සලකලා බැලුවා. ඒත් හමුදාවේ උසස් නිලධාරීන් ඒකට විරුද්ධ වුණා. මොකද ඒ නිලධාරීන් හොඳටම දැනන් හිටියා සාක්ෂිකරුවන්ව නිදහස් කළොත් එයාලා එයාලගේ විශ්වාසයන් ගැන අනිත් අයත් එක්ක දිගටම කතා කරනවා කියලා. ඒ සම්බන්ධයෙන් එයාලා යවපු වාර්තාවක මෙහෙම සඳහන් වුණා. “සාක්ෂිකරුවන්ව දිගටම රැඳවුම් කඳවුරුවල තියන එකෙන් අපිට යම් දුරකට එයාලගේ වැඩ පාලනය කරන්න පුළුවන්. ඒත් එයාලා අන්තවාදියෝනේ! ඒ නිසා එයාලගේ වැඩ සම්පූර්ණයෙන්ම නවත්තන්න අපිට බැහැ.”

මහජනයාගේ ආරක්ෂාවට තර්ජනයක් නෙමෙයි

 සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කරපු නිසා හුඟක් අයට එයාලා ගැන දැනගන්න ලැබුණා. ඒ නිසා එයාලා ගැන හොයලා බලන්න මිනිසුන් පෙලඹුණා. කාලයක් යද්දී හුඟක් අය තේරුම්ගත්තා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මහජනයාගේ ආරක්ෂාවට තර්ජනයක් නෙමෙයි කියලා. එයාලා හරිම සාමකාමීව දෙවියන්ට නමස්කාර කරන පිරිසක් කියලා එයාලා දැනගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 1939දී නවසීලන්තයේ සාක්ෂිකරුවන්ගේ ගාණ 320ක් වුණත් 1945 වෙද්දී එයාලගේ ගාණ 536ක් දක්වා වැඩි වුණා.

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට දාලා තිබුණ තහනම අසාධාරණ එකක් කියලා සමහර නිලධාරීන් තේරුම් අරන් හිටියා. එක අවස්ථාවකදී දේශනා සේවයේ හවුල් වුණ නිසා සහෝදරයෙක්ට උසාවියේ නඩුවක් ගොනු කරලා තිබුණා. ඒ නඩුව අහපු විනිසුරුවරයා ඒ නඩුව අවලංගු කරලා මෙහෙම කිව්වා. “බයිබල් බෙදාහරින එක අපරාධයක් විදිහට සලකන එක මට නම් හිතාගන්නවත් බැහැ. මං විශ්වාස කරන දේට සහ නීතිය ගැන මට තියෙන දැනුමට ඒක සම්පූර්ණයෙන්ම පටහැනියි.”

 යුද්ධය ඉවර වුණාට පස්සේ සාක්ෂිකරුවන්ට දාලා තිබුණ තහනමත් ඉවත් කළා. ඊටපස්සේ එයාලා කලින්ටත් වඩා ලොකු උද්‍යෝගයකින් අනිත් අයට දේවරාජ්‍යය ගැන දැනගන්න උදව් කළා. 1945දී ශාඛා කාර්යාලය නවසීලන්තයේ තිබුණ හැම සභාවකටම ලිපියක් යැව්වා. ඒකේ මෙහෙම සඳහන් වුණා. “අපි හැම කෙනෙක්ම අනිත් අය එක්ක මිත්‍රශීලී වෙලා එයාලට කාරුණිකව සලකන්න ඕනේ. අපි ඥානවන්ත වෙන්නත් ඕනේ. මිනිසුන් එක්ක වාදවිවාදවලට පැටලෙන්න යන්න එපා. අපි මතක තියාගන්න ඕනෙ සේවේදී අපිට මුණගැහෙන අය එයාලගේ ආගමට ළැදියි කියන දේ. එයාලා ඒ ඉගැන්වීම්වලට අනුව ජීවත් වෙන්න උත්සාහ කරනවා. . . . එයාලගෙන් වැඩිදෙනෙක් ස්වාමීන්ට අයිති බැටළුවන්. එයාලව අපි දෙවියන්ට ළං කරන්න උත්සාහ කරන්න ඕනේ.”

 අදත් නවසීලන්තයේ ඉන්න සාක්ෂිකරුවන් ඒ රටේ අය එක්කත් සංචාරය කරන්න ඒ රටට ආපු අය එක්කත් උද්‍යෝගයෙන් ශුභාරංචිය බෙදාගන්නවා. දවසක් පැය කිහිපයක් ඇතුළත ටුරන්ගි නගරයේ හිටපු සාක්ෂිකරුවන් හතරදෙනෙක් රටවල් 17කින් ආපු සංචාරකයන් 67දෙනෙක්ට ශුභාරංචිය දේශනා කළා.

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ හරිම සාමකාමී, දෙවියන්ට ළැදි, බයිබලේ කියලා තියෙන විදිහට ජීවත් වෙන්න ලොකු උත්සාහයක් ගන්න පිරිසක් කියලා නවසීලන්තයේ ඉන්න මිනිසුන් තේරුම් අරන් තියෙනවා. හැම අවුරුද්දකම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරන සිය ගාණක් අය බව්තීස්ම වෙනවා. 2019 වෙද්දී නවසීලන්තයේ සාක්ෂිකරුවන් 14,000කට වැඩිදෙනෙක් හිටියා.

1940දී සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කළාට පස්සේ බයිබලේ අධ්‍යයනය කරන්න සාක්ෂිකරුවන් රැස් වුණ අවස්ථාවක්

නවසීලන්තයේ උතුරු දූපතේ රැඳවුම් කඳවුරක එක් කෙනෙක්ට විතරක් ඉන්න පුළුවන් සිරකුටි

නවසීලන්තයේ උතුරු දූපතේ තිබුණ හවුටු රැඳවුම් කඳවුර

හමුදා සේවය ප්‍රතික්ෂේප කරපු නිසා සිරගත කරපු සාක්ෂිකරුවන් පිරිසක් 1949දී එකතු වුණ අවස්ථාවක්