Skip to content

පටුනට යන්න

අතීතයෙන් බිඳක්

බයිබලය ගැන උගන්නපු සංස්කෘතික සංගමයක්

බයිබලය ගැන උගන්නපු සංස්කෘතික සංගමයක්

 දැන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා හඳුන්වන බයිබල් ශිෂ්‍යයන් තමයි මුලින්ම මෙක්සිකෝවට බයිබල් සත්‍යයන් අරගෙන ගියේ. ඒ 1917දී. එදා ඉඳලා ගෙවුණු දශක ගණනාව පුරා සිය ගාණක් සැබෑ නමස්කාරයට ඇදිලා ආවා. ඒත් දෙවෙනි ලෝක යුද්ධ කාලේදී ආණ්ඩුවෙන් දාපු නීතියක් නිසා අපේ රැස්වීම් පවත්වපු තැන් සහ සේවේ රැස්වෙන තැන් ගැන ප්‍රශ්නයක් මතු වුණා.

 ඒ නීතියට අනුව නමස්කාරයට සම්බන්ධ හැම දෙයක්ම රජයට අයිති ගොඩනැඟිලිවල විතරයි කරන්න අවසර ලැබුණේ. ඒත් අපේ සමුළු තිබුණේ ඒ වගේ තැන්වල නෙමෙයි. ඒවා තිබුණේ පොදු තැන්වල. අපේ රැස්වීම් තිබුණේ සහෝදරයන්ගේ ගෙවල්වල. ඒ වගේම අපි ගෙයින් ගෙට ගියා, වීදී සේවය කළා.

 ඒ නිසා ආණ්ඩුවෙන් දාපු නීතිය අපිට ප්‍රශ්නයක් වුණා. ඉතින් ඒ නීතියට කීකරු වෙන්න ඕනෙ නිසා 1943දී අපි මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් එයාලට උගන්වන, ලාභ නොලබන, සිවිල් සහ සංස්කෘතික සංගමයක් විදිහට ලියාපදිංචි කළා. අපි ආගමක් විදිහට ලියාපදිංචි කරනවා වෙනුවට සංස්කෘතික සංගමයක් විදිහට ලියාපදිංචි කරපු නිසා අපේ වැඩකටයුතු රජයේ ගොඩනැඟිලිවලට විතරක් සීමා කරන්න ඕනෙ වුණේ නැහැ.

 මෙක්සිකෝවේ අපේ වැඩකටයුතුවලට අපි අධ්‍යාපනයට සහ සංස්කෘතියට සම්බන්ධ දේවල් ඇතුළත් කළා. එහෙම කරපු නිසා මේ වගේ සංගමයකින් රජය බලාපොරොත්තු වුණ දේ ඉටු කරන්න අපිට පුළුවන් වුණා. (රෝම 13:1) ඒත් බයිබල් සත්‍යයන් මිනිස්සුන්ට උගන්වන්න අපිට තිබුණ අරමුණ වෙනස් වුණේ නැහැ. (යෙසායා 48:17, 18) වැඩි කල් යන්න කලින් මේ අලුත් සැලැස්මට යෙහෝවා ආශීර්වාද කරපු විදිහ අපි දැක්කා. ඒ අලුත් සැලැස්ම විශාල වර්ධනයකට හේතු වුණ විදිහ අදටත් හුඟදෙනෙක්ගේ මතකයේ තියෙනවා.

දේශනා කරපු විදිහේ වෙනසක්

 මෙක්සිකෝවේ අපි කරපු හැම දේකම මූලික ඉලක්කය වුණේ දේවරාජ්‍යය ගැන ශුභාරංචිය මිනිස්සුන්ට කියන එක. ඉතින් අපි පාවුල් වගේ තත්වයන්ට අනුව මිනිස්සුන්ට කතා කරන විදිහ වෙනස් කළා. (1 කොරින්ති 9:20-23) පාවුල් ඇතන්ස්වල දේශනා කරද්දී කෙළින්ම බයිබලය පාවිච්චි කරලා කතා කරන්න ගියේ නැහැ. (ක්‍රියා 17:22-31) ඒ වගේ අපිත් සේවේ යද්දී බයිබලය අරන් ගියේවත් මිනිස්සු එක්ක කතා කරද්දී බයිබල් පද පාවිච්චි කළේවත් නැහැ.

1945දී සාක්ෂිකරුවන් බයිබලය අරන් යන්නේ නැතුව සේවේ හවුල් වෙමින්

 “සේවයේදී අපි, අපිව හඳුන්වලා දුන්නේ අධ්‍යාපනික සේවයක් කරන කට්ටියක් කියලා. ගොඩක් වෙලාවට අපි කතා කළේ ‘පිබිදෙව්!’ සඟරා පාවිච්චි කරලා. මොකද ඒවයේ කෙළින්ම බයිබලය ගැන කතා කරලා නැහැනේ” කියලා ඉසබෙල් කියනවා. ඒත් ගේහිමියෙක් බයිබලයේ තියෙන දේවල් දැනගන්න ආසයි කියල තේරෙනවා නම් ඒ වගේ අය එක්ක බයිබලයේ තියෙන දේවල් කතා කළා. අවුරෝරා මෙහෙම කියනවා. “අපි සේවේ යද්දී බයිබලය අරන් ගියේ නැති නිසා ගොඩක් බයිබල් පද මතක තියාගන්න අපිට සිද්ධ වුණා. උනන්දුවක් පෙන්නන අය එක්ක එයාලාගෙම බයිබලයෙන් අපි තොරතුරු කතා කරද්දී එයාලා හොඳ ප්‍රතිචාරයක් දැක්කුවා.”

ගෙයින් ගෙට යන්න තියෙන අයිතිය රැකගත්තා

 අපි කරන සේවය නීත්‍යනුකූලද කියලා ප්‍රශ්න කරන අයට උත්තර දෙන්න අපි හොඳට සූදානම් වෙලා හිටියා. (ෆිලිප්පි 1:7) රජයෙන් අනුමත කරපු හැඳුනුම්පත අපිට ඒකට ගොඩක් උදව් වුණා. a ඒ කාලේ ගැන මරියා මෙහෙම මතක් කරනවා. “විදේශ කටයුතු ලේකම් අත්සන් කරපු හැඳුනුම්පත් අපි හැම වෙලේම අපි ළඟ තියාගත්තා.” “නිලධාරීන් අපිව නවත්තලා අපෙන් ප්‍රශ්න කරද්දී අපි ඒ කාඩ් එක එයාලට පෙන්නුවා” කියලා සැමුවෙල් කියනවා.

 විරුද්ධවාදිකම් ආපු වෙලාවලදී හැඳුනුම්පත අපි ළඟ තිබ්බ එක අපිට ලොකු උදව්වක් වුණා. උදාහරණෙකට හාලිස්කෝවල සේවය කරපු හේසුස් මෙහෙම දෙයක් කිව්වා. “1974දී පූජකයෙක් උසිගන්නපු නිසා මැර කල්ලියක් ඇවිල්ලා තව යුවළක්වයි, මාවයි නිලධාරීන් ඉස්සරහට අරගෙන ගියා. එයාලට ඕනෙ වුණේ අපේ සේවය නවත්තන්න. අපි අපේ හැඳුනුම්පත පෙන්නුව ගමන්ම ඒගොල්ලන්ගේ කටවල් වැහුණා. නීතියෙන් ලැබුණු සහය නිසා අපිට පුළුවන් වුණා ඒ පැත්තේ හිටපු උනන්දුව දක්වන අයට දිගටම උදව් කරන්න. දැන් එහේ සභා කීපයක්ම තියෙනවා.”

බයිබල් පන්ති සහ ලියන්න කියවන්න උගන්වන පන්ති

 අධ්‍යාපනික සංගමයක් විදිහට අපි මිනිස්සුන්ට ලියන්න කියවන්න උගන්වන පන්ති නොමිලේ පැවැත්තුවා. b ඇරියෙල් ඒ ගැන මෙහෙම දෙයක් කිව්වා. “ඒක නම් නියම වෙලාවට ආපු සැලැස්මක්. ඒ කාලේ මිනිස්සු ඉස්කෝලේ ගිහිල්ලා තිබුණේ නැහැ. එයාලට බයිබලේ ගැන ඉගෙනගන්න පුදුම ආසාවක් තිබුණේ. අපි එයාලට අකුරු උගන්නලා වැඩි කල් යන්න කලින් එයාලා බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තා.”

 රූත් කියනවා “එයාලා ලියන්න කියවන්න ඉගෙනගත්තාට පස්සේ එයාලා බයිබලේ ඉගෙනගෙන ඉක්මනින් දියුණු වුණා” කියලා. එයා මෙහෙමත් කිව්වා. “අකුරු ඉගෙනගත්ත නිසා එයාලා ලොකු දෙයක් කළා කියන හැඟීම එයාලට ඇති වුණා. ඒක එයාලට ලොකු සතුටක් වුණා. එයාලා යෙහෝවාට ළං වුණ විදිහ අපි අපේ ඇස් දෙකෙන්ම දැක්කා.”

 1943 ඉඳලා 1993 වෙන කල් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව ලියාපදිංචි කරලා තිබුණේ සිවිල් සහ සංස්කෘතික සංගමයක් විදිහට. ඒ කාලය අතරතුර 1,27,000කට වඩා වැඩි පිරිසකට ලියන්න කියවන්න අපි උගන්වලා තියෙනවා. 37,000කට වඩා වැඩිදෙනෙක් ඒ හැකියාවන් තවත් දියුණු කරගෙන තියෙනවා. ඉතින් රජයේ නිලධාරීන් ඒ ගැන අපිව ගොඩක් අගය කළා. (රෝම 13:3) “මෙක්සිකෝවේ ඉන්න මිනිස්සුන්ට ලියන්න කියවන්න උගන්නන්න, ඒගොල්ලන්ට තවත් හොඳින් ජීවත් වෙන්න උදව් කරන්න අපි දරපු මහන්සිය අගය කරලා” 2010දී රජයෙන් අපිට සම්මානයක් ලබා දුන්නා.

අපේ රැස්වීම්

 අපිව ලියාපදිංචි කරලා තිබුණු විදිහ නිසා අපේ රැස්වීම් ශාලා හදලා තිබුණේ හරියට පන්ති කාමර වගේ. අපි ඒවාට කිව්වේ අධ්‍යාපනික මධ්‍යස්ථාන කියලා. එතනදී අපි අපේ රැස්වීම් පැවැත්තුවා වගේම ලියන්න කියවන්න උගන්වන පන්තිත් පැවැත්තුවා.

 “සහෝදරයන්ගේ ගෙවල් තමයි අපි අපේ අධ්‍යාපනික මධ්‍යස්ථාන විදිහට පාවිච්චි කළේ. ඒ සහෝදරයන්ට ගොඩක් දේවල් තිබුණේ නැහැ. ඒත් එයාලා පුංචි කෑල්ලක ජීවත් වෙලා අනිත් ඔක්කොම ටික රැස්වීම් පවත්වන්න ලබා දුන්නා. මං ඒක ගොඩාක් අගය කරනවා” කියලා ඒන්ජල් කියනවා.

 ඒ වෙලාවේ ඒ වගේ කැපකිරීම් ගොඩක් ඕනෙ වෙලයි තිබුණේ. මොකද “අපේ රැස්වීම්වලට ගොඩක්දෙනෙක් ආවා. සමහරක් වෙලාවට කට්ටිය එළියේ හිටියේ. ඉතින් උත්තර දෙන්න ඕනෙ වුණාම අපි ජනේලෙන් එබිලා තමයි උත්තර දුන්නේ. ඒත් ඒ රැස්වීම්වලින් අපි ලොකු සතුටක් අද්දැක්කා” කියලත් ඒන්ජල් කිව්වා.

 ප්‍රශ්න ඇති වෙන එක වළක්වගන්න අපි හයියෙන් ගීතිකා කිව්වෙවත් යාච්ඤා කළේවත් නැහැ. එඩ්මෙන්ඩෝ මෙහෙම කියනවා. “අධ්‍යාපනික මධ්‍යස්ථානවල දුන්න දේශනවලදී (බයිබල් දේශන) ඒවා දෙන කථිකයා බයිබලේ තියෙන දේවල් අපේ ජීවිතයට ප්‍රයෝජනවත් වෙන විදිහ ගැන පැහැදිලි කළා.” රැස්වීම්වලදී අපි බයිබල් පොත්වල නම් පාවිච්චි කරන එක නැවැත්තුවා. එතකොට කොහොමද බයිබල් පද බැලුවේ? ඒ ගැන මැනුවෙල් මෙහෙම කියනවා. “එළිදරව් 21:3, 4 කියනවා වෙනුවට අපි කිව්වේ 66වෙනි පොතේ 21:3, 4 කියලා.” “ඉතින් ඒ හින්දා බයිබලයේ පොත් තියෙන පිළිවෙළ අපිට හොඳට මතක තියාගන්න වුණා” කියලා මොයිසෙස් කියනවා.

මෙක්සිකෝවේ ඉතිහාසයෙන් පාඩම්

 ලෝකේ අනිත් රටවල්වල වෙන විදිහටම තමයි මෙක්සිකෝවේත් අපේ වැඩකටයුතු වුණේ. නමස්කාර වැඩවලට සීමා තහංචි තිබුණත් දෙවියන්ගේ ආශීර්වාදය නම් අඩුවක් නැතුව ලැබුණා. 1943 සිවිල් සංගමයක් විදිහට ලියාපදිංචි වෙද්දී ප්‍රචාරකයන් හිටියේ 1,565ක් විතරයි. 1993 ආගමක් විදිහට අපිව නීත්‍යනුකූලව පිළිගද්දී ප්‍රචාරකයන්ගේ ගණන 3,66,177ක් වුණා. ඉතින් මේ ප්‍රචාරකයන්ගේ මහන්සිය නිසා ඊටත් වඩා ලොකු වර්ධනයක් ඇති වුණා. 2021 වෙද්දී මෙක්සිකෝවේ ප්‍රචාරකයන්ගේ ගණන 8,64,633ක් දක්වා වැඩි වුණා. මේ ඉතිහාස කතාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

 බාධක එද්දී ඒවාට අනුව වෙනස් වෙන්න. එහෙම කරපු නිසා අවුරුදු 50ක් තිස්සේ මෙක්සිකෝවේ අපේ වැඩකටයුතුවලට නීතික පිළිගැනීමක් ලැබුණා. “සමහර වෙලාවට මටත් හිතිලා තියෙනවා ඇයි අපිට බැරි අනිත් රටවල්වල වගේ වැඩකටයුතු කරගෙන යන්න කියලා. ඒත් කවුරුත් සංවිධානයෙන් දුන්න මඟ පෙන්වීම් ප්‍රශ්න කරනවා මට ඇහිලා නැහැ. අපි හැම වෙලේම විශ්වාස කළා යෙහෝවා ඔහුගේ සෙනඟට මඟ පෙන්වනවා කියලා. ඒ නිසා අපි ඕනෙම මඟ පෙන්වීමකට කැමැත්තෙන්ම කීකරු වුණා” කියලා මාරියෝ කියනවා.

 යෙහෝවාට සේවය කරන එකට අවධානය දෙන්න. “අපි අනිත් අයට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න ගොඩක් මහන්සි වුණා. ඉතිං අපි අනිත් දේවල් ගැන එච්චර කරදර වුණේ නැහැ. මොනවා නැති වුණත් අපිට යෙහෝවාට සේවය කරන්න අවස්ථාව තිබුණා. අපිට ඒක හොඳටම ඇති. ඒක තමයි අපිට තිබුණු වටිනාම දේ” කියලා ග්වාඩාලූප් කියනවා.

 සහෝදර සහෝදරියන්ට ළං වෙලා ඉන්න. “අධ්‍යාපනික මධ්‍යස්ථානවල කරන්න බැරි වුණ දේවල් අපි අපේ ගෙවල්වලදී කළා. ගෙදරදී අපි හයියෙන් ගීතිකා කිව්වා. අපි නිතරම වගේ අනිත් අය එක්ක එකට එකතු වුණා. ඒ වගේ වෙලාවලදී අපි අපේ නමස්කාරයට සම්බන්ධ, දිරිගැන්වෙන දේවල් නිතරම වගේ කතා කළා.” එහෙම කියන්නේ ඇනීටා.

 ඒ කාලේ ගැන ෆොලොරෙන්ටිනෝ මේ වගේ දෙයක් කිව්වා. “ආපසු හැරිලා බලද්දී මට හොඳටම විශ්වාසයි හැම දෙයක්ම සිද්ධ වුණේ නියම වෙලාවට කියලා. ඒ හැම දෙයක්ම පිටිපස්සේ අරමුණක් තිබුණා. ඒ දේවලින් අපිත් වැදගත් පාඩම් ඉගෙනගත්තා. මොන බාධක ආවත් ඒ හැම දෙයක්ම හැසිරෙව්වේ යෙහෝවා කියලා මට පැහැදිලි වුණා.”

a ඒ වගේ හැඳුනුම්පත් පාවිච්චි කළේ අපිව හඳුන්වලා දෙන අරමුණින් විතරයි. බයිබල් සත්‍යයන් අනිත් අය එක්ක කතා කරන්න ක්‍රිස්තියානීන්ට නීත්‍යනුකූල අවසර පතක් ගන්න ඕනෙ කියලා බයිබලයේ කොහෙවත් කියන්නේ නැහැ. මෑත කාලේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ වගේ හැඳුනුම්පතක් ලබාගන්නවත් ඒ විදිහට ලියාපදිංචි වෙන්නවත් උත්සාහ කරන්නේ නැහැ.

b වාර්තාවලට අනුව 1940ත් 1950ත් අතර කාලේදී මෙක්සිකෝවේ හිටපු ජනගහනයෙන් භාගයක් විතර ලියන්න කියවන්න ඉගෙනගෙන තියෙනවා.

1952දී මෙක්සිකෝවේ චිහාහුවාවල එයාලා රැස්වීම් පවත්වන තැන ඉස්සරහා ඉන්න පවුල් කීපයක්. “අධ්‍යාපනික මධ්‍යස්ථානය” කියලා සඳහන් වෙන පුවරුව එයාලට උඩින් තියෙනවා

1947 මෙක්සිකෝ සිටිවල තියෙන ශාඛා කාර්යාලය ඉස්සරහා ඉන්න සහෝදරයන් පිරිසක්. ස්පාඤ්ඤ භාෂාවෙන් තියෙන පුවරුවේ සඳහන් වෙන්නේ “මුරටැඹ සිවිල් සංගමය” කියලා

1959දී මෙක්සිකෝවේ ඉඩල්ගෝවල පිටිසර පළාතක සාක්ෂිකරුවන් දෙන්නෙක් ස්පාඤ්ඤ භාෂාවෙන් තියෙන ‘මුරටැඹ’ සඟරාවක් ඉදිරිපත් කරමින්

රජයෙන් සාක්ෂිකරුවන්ට දුන්න හැඳුනුම්පත

මිනිස්සුන්ට ලියන්න සහ කියවන්න උගන්වන්න ගත්ත මහන්සිය වෙනුවෙන් මෙක්සිකෝවේ ඉන්න සාක්ෂිකරුවන්ට 2010දී අධ්‍යාපන ලේකම්ගෙන් සම්මානයක් ලැබුණා

සිවිල් සහ සංස්කෘතික සංගමයක් විදිහට ලියාපදිංචි කරපු නිසා 1969දී සංස්කෘතික සහ අධ්‍යාපනික සමුළු පවත්වන්න අපිට අවස්ථාව ලැබුණා