Skip to content

පටුනට යන්න

අතීතයෙන් බිඳක්

යෙහෝවාට සේවේ කරන්න දුප්පත්කම බාධාවක් නෙමෙයි

යෙහෝවාට සේවේ කරන්න දුප්පත්කම බාධාවක් නෙමෙයි

 දැන් ගොඩක් රටවල්වල ජීවන වියදම එන්න එන්නම ඉහළ යන නිසා මිනිස්සුන්ට ජීවත් වෙන එක හරිම අමාරුයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ටත් ඒකේ වෙනසක් නැහැ. හැබැයි එයාලා ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතහිත මානසිකව වැටෙන්නේ නැහැ. මොකද එයාලට හොඳටම විශ්වාසයි යෙහෝවා කවදාවත් ඔහුගේ සෙනඟව අත්හරින්නේ නැහැ කියලා. (හෙබ්‍රෙව් 13:5) දීලා තියෙන ඒ පොරොන්දුවට එකඟව තමන් වැඩ කරනවා කියලා යෙහෝවා අනන්ත වාරයක් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. පිලිපීනයේ ජීවත් වෙන සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඔහු ඒක කරලා තියෙන විදිහ අපි දැන් බලමු. ඒ රටේ මිනිස්සු දැන් කාලයක් තිස්සේ ගොඩක් ආර්ථික ප්‍රශ්නවලට මූණ දෙනවා. 1970ගණන්වල සහ 1980ගණන්වල තමයි එයාලා ගොඩක් අමාරුකම්වලට මූණ දුන්නේ.

 විකි a කියන සහෝදරිය මෙහෙම කියනවා. “බඩගින්න දරාගන්න බැරුව මං අඬපු දවසුත් තිබුණා. සමහර දවස්වල අපි ගාව තිබුණේ හාලුයි, ලුණුයි, වතුරයි විතරයි.” රස්සාවක් හොයාගන්න බැරුව හිටපු ෆ්ලොරෙන්සියෝ මෙහෙම කියනවා. “ඒ කාලේ මං ගාව තිබ්බේ ෂර්ට් තුනකුයි, කලිසම් තුනකුයි විතරයි. රැස්වීම්වලට, සමුළුවලට යද්දී ඒවා තමයි මං මාරු කරකර ඇන්දේ.” යෙහෝවාගේ සෙනඟ කොහොමද ඒ දේවල් දරාගෙන හිටියේ? යෙහෝවාට දිගටම විශ්වාසවන්තව ඉන්න එයාලට උදව් වුණේ මොනවාද? ඉස්සරහට ආර්ථික ප්‍රශ්වනවලට මූණ දෙන්න වුණොත් එයාලාගේ ආදර්ශය ඔයාට උදව් වෙන්නේ කොහොමද?

එයාලා යෙහෝවාව විශ්වාස කළා

 ඒ අමාරු කාලේ එයාලව යෙහෝවා බලාගනියි කියලා පිලිපීනයේ සහෝදරයන්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. (හෙබ්‍රෙව් 13:6) ඇත්තටම යෙහෝවා එයාලව බලාගත්තේ හිතාගන්නවත් බැරි විදිහට. බලන්න සෙසිල් කියන සහෝදරිය කියන දේ. “දවසක් උදේ කෑමට අපි අපේ අන්තිම හාල් හුණ්ඩුව ලිපේ තිබ්බා. ඒක කෑවාට පස්සේ අපිට ආයෙත් කන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබ්බේ නැහැ. ඉතින් උදේ කෑම කන්න කලින් පවුලේ හතරදෙනාම එකතු වෙලා යාච්ඤා කළා. අපි ඉල්ලුවේ අද දවසට ඕන කරන කෑම ටික අපිට දෙන්න කියලා විතරයි. අපි කෑම කන්න පටන්ගත්තා විතරයි, සහෝදරයෙක් අපිව බලන්න ආවා. එයා අපිව බලන්න ආවේ හාල් කිලෝ පහකුත් අරගෙනයි. යෙහෝවා අපේ යාච්ඤාවට උත්තර දුන්න විදිහ දැක්කාම අපිට ඇඬුණා. ඒ වගේ අද්දැකීම් ගොඩක් අපිට තියෙනවා.”

 ඒ කාලේ අපේ සහෝදරයන්ට උදව් වුණ තවත් දෙයක් තියෙනවා. ඒ තමයි බයිබලේ තියෙන වටිනා මඟ පෙන්වීම් අදාළ කරගන්න එයාලා මහන්සි වුණ එක. (හිතෝපදේශ 2:6, 7) අලුතින් බව්තීස්ම වුණ, ඒ කාලේ තනිකඩව හිටපු ආසලීටාගේ අද්දැකීම බලන්න. එයා ජීවත් වුණේ ගොඩක් අමාරුවෙන්. ඉතින් එයාගේ හිතේ තිබුණ හැම දුකක්ම එයා යෙහෝවාට කිව්වා. ඊටපස්සේ එයාට හිතෝපදේශ 10:4 කියන දේ මතක් වුණා. එතන කියන්නේ “කම්මැළියා දුප්පත්කමට වැටෙයි. ඒත් උත්සාහවන්තයා පොහොසතෙක් වෙයි” කියලා. ඒ ගැන හොඳට හිතුවාට පස්සේ එයා තීරණය කළා එළවළු වගාවක් පටන්ගන්න. එයා කියනවා “යෙහෝවා ඇත්තටම මගේ මහන්සියට ප්‍රතිඵල දුන්නා. කෑමට විතරක් නෙමෙයි මගේ ගමන්බිමන්වලට ඕන කරන සල්ලිත් මං ඒකෙන් හොයාගත්තා” කියලා.

එයාලා රැස්වීම් අතපසු කළේ නැහැ

 ඉඩම් අරගෙන නමස්කාර මධ්‍යස්ථාන හදන්නත් සහෝදරයන්ට සල්ලි තිබුණේ නැහැ. හැබැයි එකට රැස් වෙලා එකිනෙකාව දිරිගන්වන්න කියලා බයිබලේ කියන දේට කීකරු වෙන්න එයාලා අමතක කළේ නැහැ. (හෙබ්‍රෙව් 10:24, 25) එයාලට තියෙන දේවල් පාවිච්චි කරලා එයාලා දිගටම රැස්වීම් පැවැත්තුවා. ඩෙබොරා කියන සහෝදරිය මෙහෙම කියනවා. “මායි, මාත් එක්ක පුරෝගාමි සේවේ කරපු සහෝදරියයි එකතු වෙලා පොඩි මඩුවක් හැදුවා. අපි ඒකේ වහල හැදුවේ ගිං පොල් කියන ගස්වල අතුවලින්. එකේ බිත්ති හැදුවේ පොල් අතුවලින්. පාම් ගස්වල කඳන් පාවිච්චි කරලා අපිට ඉඳගන්න අපි බංකු හදාගත්තා. ඒ පුංචි මඩුවේ පවත්තපු රැස්වීම්වලට හයදෙනෙක් විතර ආවා.”

 ගොඩක් රැස්වීම් පැවැත්තුවේ සහෝදරයන්ගේ ගෙවල්වල. වර්ජිනියා කියන සහෝදරිය මෙහෙම කියනවා. “අපේ ගේ හරිම පොඩියි. ඒක හදලා තිබුණේ උණබටයි, පිදුරුයි පාවිච්චි කරලා. ඉරිදා රැස්වීමට ලෑස්ති වෙන්න අපි හැම සෙනසුරාදාවකම අපේ ගෙදර තිබුණ ඔක්කොම බඩු මුට්ටු ටික අයිනකට දැම්මා.” රැස්වීම් පවත්තපු තවත් ගෙයක් ගැන සහෝදර නොයෙල් මෙහෙම කියනවා. “ඒ ගෙදර වහල තෙමෙනවා. ඉතින් වහිද්දී අපි කළේ තෙමෙන තැන්වලට බාල්දි තියලා වතුර ටික එකතු කරගත්ත එක. හැබැයි අපේ සහෝදර සහෝදරියන් එක්ක එකතු වුණාම අපිට ඒ වගේ දේවල් ගාණක්වත් වුණේ නැහැ.”

සේවේ කරන්න තිබුණ උනන්දුව එයාලා නැති කරගත්තේ නැහැ

 සහෝදර සහෝදරියන්ට කොච්චර අඩුපාඩු තිබුණත් එයාලට සේවේ කරන්න තිබුණ උද්‍යෝගය පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ. නීග්‍රොස් දූපතේ ඉන්න ලින්ඩීනා කියන සහෝදරිය මෙහෙම කියනවා. “අපේ පවුලේ එකොළොස්දෙනෙක් හිටියා. රස්සාවක් කළේ අපේ තාත්තා විතරයි. ඉතින් සමහර දවස්වලට ගමන්බිමන් යන්න අපේ අතේ සල්ලි තිබුණේ නැහැ. ඒ නිසා ගොඩක් දවස්වල සේවේ යන පැත්තට අපි ගියේ ඇවිදගෙන. ලොකු කට්ටියක් එක්ක ගිය නිසා ඒක එච්චර දැනුණේ නැහැ. ඒකෙන් අපිට ලොකු සතුටකුත් දැනුණා. මොකද යෙහෝවාත් අපේ මහන්සිය දැකලා සතුටු වෙනවා කියලා අපි දැනගෙන හිටියා.”

අමාරුකම් මැද සාක්ෂිකරුවන් දිගටම ශුභාරංචිය දේශනා කළා

 නගරෙන් ඈතට වෙන්න තිබුණ කඳුකර පැතිවල සේවේ යන එක නම් එච්චර ලේසි වුණේ නැහැ. මොකද ඒ වගේ පැතිවලට ඉඳලා හිටලා තමයි බස් එකක් හරි කෝච්චියක් හරි ගියේ. ලූෂොං දුපතේ ඉන්න එස්තර් එයාගේ අද්දැකීම ගැන මෙහෙම කියනවා. “අපේ කණ්ඩායමේ සහෝදර සහෝදරියන් 6ත් 12ත් අතර ගාණක් හිටියා. අපි සාමාන්‍යයෙන් උදේ පාන්දරින්ම පිටත් වුණා. මොකද කිලෝමීටර් ගාණක්ම අපිට ඇවිදින්න තිබුණා. අපි මුළු දවසම ඒ පැතිවල සේවේ කළා. අපි ගහක් යටට ගිහින් තමයි දවල්ට කෑවේ. පුළුවන් පුළුවන් අය කෑම හදාගෙන ආවා. කෑම නැති අයට අපි කිව්වා ‘තියෙන ටික ඇති වෙයි. අපි හැමෝම බෙදාගෙන කමු’ කියලා.”

 අපේ සහෝදර සහෝදරියන් කරපු ඒ වගේ කැප කිරීම්වලට යෙහෝවා පුදුම විදිහට ආශීර්වාද කළා. 1970 පිලිපීනයේ ප්‍රචාරකයන් හිටියේ 54,789ක් විතරයි. හැබැයි 1989 වෙද්දී ඒ ගාණ දෙගුණයකින් විතර වැඩි වෙලා තිබුණා. ඒ කියන්නේ ඒ අවුරුද්දේ ප්‍රචාරකයන් 1,02,487දෙනෙක් හිටියා. 2023 වෙද්දී පිලිපීනයේ ප්‍රචාරකයන්ගේ ගාණ 2,53,876 දක්වා වැඩි වුණා.

‘දුප්පත් වුණත් අපිට යෙහෝවා ගැන තිබුණ ආදරේ අඩු වුණේ නැහැ’

 රටේ ආර්ථිකය ගොඩක් දරුණු අතට හැරුණත් සාක්ෂිකරුවන් දිගටම හරිම සතුටින් යෙහෝවාට සේවේ කළා. සහෝදර ඇන්ටෝනියෝ මෙහෙම කියනවා. “දුප්පත් වුණත් අපිට යෙහෝවා ගැන තිබුණ ආදරේ පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ.” සහෝදරි ෆේ අබාද් මෙහෙම කියනවා. “සල්ලි ප්‍රශ්න ආවාම අපි දිගටම යෙහෝවාට ළං වෙලා සරල ජීවිතයක් ගත කරන්න මහන්සි වුණා. ඒ නිසා අපි ලොකු සතුටක් අද්දැක්කා. හැම දේකදීම යෙහෝවා ගැන විශ්වාසය තියලා වැඩ කරන්න අපේ දරුවනුත් ඉගෙනගත්තා.”

 සාමාර් දූපතේ ජීවත් වෙන ලුසීලා කියන දේ බලන්න. “යෙහෝවාට සේවේ කරන අය දුප්පත්කම දකින්නේ ලොකු ප්‍රශ්නයක් විදිහට නෙමෙයි. අපි යෙහෝවාට මුල් තැන දීලා වැඩ කරද්දී ඒක අපිට උදව් වෙනවා තියෙන දෙයින් සෑහීමට පත් වෙලා සතුටින් ඉන්න. ඇත්තටම කියනවා නම් මාත් එක්ක බයිබලේ පාඩම් කරපු සමහර අය යෙහෝවාට එයාලාගේ ජීවිතේ කැප කරලා පස්සේ කාලෙක මාත් එක්ක එකතු වෙලා පුරෝගාමි සේවෙත් කළා. ඒක දැක්කාම මට දැනුණේ පුදුම සතුටක්.”

 ඉස්සරහට අපිට ගොඩක් අමාරු කාලෙකට මූණ දෙන්න වෙනවා කියලා අපි දන්නවා. ඉතින් වැඩිමහල්ලෙක් වෙන රොඩොල්ෆෝ කියපු මේ දේ හිතට අරන් වැඩ කරමු. “1970ගණන්වල, 80ගණන්වල තිබ්බ ඒ අමාරු කාලේ මට හොඳට මතකයි. ඒ කාලේ පුරාම යෙහෝවා මට උදව් කරපු විදිහ මං දැක්කා. ඔහුගේ ආදරේ මට දැනුණා. මට තිබ්බේ ටිකයි. ඒත් මට කවදාවත් අඩුවක් දැනුණේ නැහැ. මොකද යෙහෝවා මාව හොඳින් බලාගත්තා. මට ඇත්තටම කියන්න පුළුවන් අද වෙන කල් මං ගත කරලා තියෙන්නේ හොඳම ජීවිතය කියලා. ඉස්සරහටත් පාරාදීසයේ ‘සැබෑ ජීවිතය’ ගත කරන්න මං ආසාවෙන් බලාගෙන ඉන්නවා.”—1 තිමෝති 6:19.

a සමහර නම් වෙනස් කරලා තියෙනවා.