ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
කොරෝනාවලින් නමස්කාර මධ්‍යස්ථාන ආරක්ෂා කරයි!
2022 ඔක්තෝබර් 1
“එකට රැස් වෙන්න ආණ්ඩුවෙන් තහනමක් දාලා නැති රටවල්වල අප්‍රියෙල් 1වෙනිදා ඉඳලා නමස්කාර මධ්‍යස්ථානවල එකට එකතු වෙලා රැස්වීම් පවත්වන්න පාලක මණ්ඩලය තීරණය කරලා තියෙනවා.” 2022 මාර්තු මාසේ මුල jw.org වෙබ් අඩවියේ පළ වුණ ඒ නිවේදනය දැකලා ලෝකේ පුරාම ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගොඩක් සතුටු වුණා. හැබැයි ඒ වෙද්දීත් අපි හිටියේ වසංගතේ මැද්දේ. a ඉතින් රැස්වීම්වලට එන අයගේ ආරක්ෂාව වෙනුවෙන් සංවිධානයෙන් කළේ මොන වගේ දේවල්ද? ඒ වගේම අවුරුදු දෙකක් විතර රැස්වීම් පවත්වපු නැති නමස්කාර මධ්‍යස්ථාන ආයෙත් රැස්වීම් තියන්න සූදානම් කළේ කොහොමද?
ඇත්තම කිව්වොත් ඒ නිවේදනය එන්න මාස ගාණකට කලින් ඉඳන්ම අපේ සහෝදරයෝ රැස්වීම් තියන්න නමස්කාර මධ්‍යස්ථාන ලෑස්ති කරමිනුයි හිටියේ.
තැනට ගැළපෙන විසඳුම
අපි දන්නවා 2020 මුල කොරෝනා වසංගතේ නිසා නමස්කාර මධ්‍යස්ථානවල එකට එකතු වෙලා රැස්වීම් පවත්වන එක අපිට නවත්තන්න වුණා. ඒ දේ වෙලා මාස දෙකක් යන්නත් කලින් වොර්වික්වල ඉන්න ලෝක ව්‍යාප්ත නිර්මාණ/ඉදි කිරීම් අංශයේ (WDC) සහෝදරයන් මේ අලුත් තත්වය ගැන සාකච්ඡා කළා. වසංගතේ මැද්දේ ආපහු නමස්කාර මධ්‍යස්ථානවල රැස්වීම් තියන්නේ කොහොමද, ආරක්ෂාව වෙනුවෙන් ගන්න ඕනෙ මොන වගේ පියවරද කියලා එයාලා සලකලා බැලුවා.
ලෝකේ එක තැනකට ගැළපෙන විසඳුමක් තව තැනකට ඒ විදිහටම හරියන්නේ නැහැ. බලන්න ඒ ගැන WDC එකේ සේවේ කරන සහෝදර මැතිව් ඩිසැන්ක්ටිස් කියන දේ. “සමහර රටවල්වල තියෙන ප්‍රශ්නේ තමයි අත් හෝදන පහසුකම් නැති එක. නමස්කාර මධ්‍යස්ථානයක ටැප් ලයින් එකක් නැත්නම් වතුර සල්ලිවලට ගන්න වෙනවා. එහෙම නැත්නම් ළඟපාත තියෙන ගඟකින් හරි ළිඳකින් හරි වතුර ඇදගන්න වෙනවා. තවත් රටවල්වල බලධාරීන් වායු සමීකරණ පාවිච්චි කරන විදිහ ගැන, ගොඩනැඟිල්ලක වාතය පිටතට අදින ෆෑන් පාවිච්චි කරන විදිහ ගැන තිබුණ නීති සංශෝධනය කළා. ඒ වගේම සනීපාරක්ෂාව ගැන සංඥා පුවරු ප්‍රදර්ශනය කරන්න කියලත් අලුතින් නීති දාලා තිබුණා.”
අපේ සහෝදරයෝ ඒ අභියෝග ජය ගත්තේ කොහොමද? සහෝදර මැතිව් ඒ ගැන මෙහෙම කියනවා. “එයාලා තේරුම්ගත්තා හුඟක් නමස්කාර මධ්‍යස්ථානවලට ඕනෙ වැඩි වියදමක් යන්නේ නැති සරල විසඳුමක් කියලා.” උදාහරණෙකට පැපුවා නිව් ගිනියාවේ අත් හෝදන තැන් හදපු විදිහ බලන්න. එයාලා ලීටර් 20ක ප්ලාස්ටික් කෑන් එකක් අරගෙන ඒකට ටැප් එකක් හයි කළා. දුර ඈත පැතිවල තියෙන එක නමස්කාර මධ්‍යස්ථානයක ඒ වගේ අත් හෝදන තැන් හරිගස්සන්න වියදම් වුණේ ඇමරිකානු ඩොලර් 40ක (රුපියල් 15,000ක) විතර මුදලක්. අප්‍රිකාවේ ඒ ප්‍රශ්නේ විසඳුවේ කොහොමද? එහෙට ආසියාවේ සැපයුම්කරුවෙක්ගෙන් කල් පවතින, හොඳම තත්වයේ අත් සෝදන උපාංග 6,000කට වඩා මිලදී ගත්තා.
සහෝදරයෝ කරපු තවත් දෙයක් තමයි සාමාන්‍ය ෆෑන් වගේම ගොඩනැඟිල්ලේ තියෙන වාතය එළියට ඇදලා ගන්න ෆෑන් නමස්කාර මධ්‍යස්ථානවලට සවි කරන්න පියවර ගත්ත එක. ඒ වගේම හුඟක් සභාවන් මයික් අතින් අත යවනවා වෙනුවට ඒ වෙනුවෙන්ම හදලා තියෙන මයික් රඳවන පොලු මිල දී ගන්නත් පියවර ගත්තා. ඒ විතරක් නෙවෙයි දොරවල්වල හැන්ඩ්ල්, ස්විච්, ටැප් වගේ තැන් අල්ලන එකෙන් වයිරසය ලේසියෙන්ම පැතිරෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ තැන් අල්ලන්න වෙන එක අඩු කරන්නත් ඒ තැන් නිතරම සැනිටයිස් කරන්නත් සහෝදරයන් පියවර ගත්තා. තවත් සභාවන් කරපු දෙයක් තමයි එයාලාගේ ටොයිලට්වල ස්වයංක්‍රීයව වැඩ කරන ටැප් හයි කරපු එක. මේ හැම දේකින්ම වයිරසය පැතිරෙන එක වළක්වන්න පුළුවන් වුණා. ඉතින් චිලී රටේ මේ අවශ්‍ය පහසුකම් ටික එක නමස්කාර මධ්‍යස්ථානයකට ලබා දෙන්න ඇමරිකානු ඩොලර් 1,400ක (රුපියල් 5,02,000ක) විතර මුදලක් වියදම් වෙලා තියෙනවා.
නමස්කාර මධ්‍යස්ථාන කොරෝනාවලින් ආරක්ෂා කරන එකට මුල් තැන දෙන අතරතුරේදී සහෝදරයන් සම්මාදම් ඥානවන්තව පාවිච්චි කරන්නත් වගබලා ගත්තා. උදාහරණෙකට සමහර රටවල්වල අත් හෝදන උපාංග සහ මයික් රඳවන පොලු මිල දී ගද්දී සහෝදරයෝ රජයෙන් දීලා තියෙන බදු සහන ලබාගත්තා. ඒ වගේම එක එක ශාඛා කාර්යාල වෙන වෙනම භාණ්ඩ ඇණවුම් කරනවා වෙනුවට ශාඛා කාර්යාල කීපයක් එකට එකතු වෙලා එක සැරේ විශාල ප්‍රමාණයක් ඇණවුම් කළා. ඒ විතරක් නෙවෙයි ලෝක ව්‍යාප්ත භාණ්ඩ හා සේවා සැපයුම් අංශය හුඟක් වෙලාවට අතරමැදියන්ගෙන් භාණ්ඩ මිල දී ගන්නේ නැතුව කෙළින්ම නිෂ්පාදකයාගෙන්ම ඒවා මිල දී ගත්තා. ඒ නිසා අඩු මුදලකට ඉක්මනින්ම අවශ්‍ය දේවල් ලබාගන්න පුළුවන් වුණා.
“මගේ හිතේ තිබ්බ බය එහෙම්මම නැති වෙලා ගියා”
නමස්කාර මධ්‍යස්ථාන කොරෝනාවලින් ආරක්ෂා කරන්න පියවර ගත්ත නිසා රැස්වීම්වලට එන අයට දැනුණේ ලොකු ආරක්ෂාවක්. වසංගතයෙන් පස්සේ මුල්ම වතාවට රැස්වීමකට එද්දී හැඟුණ විදිහ ගැන පේරුවල ඉන්න සහෝදරි ඩල්සීන් මෙහෙම කියනවා. “වසංගතේ පටන්ගත්ත මුල් කාලේම මට කොරෝනා හැදුණා. ඒ නිසා රැස්වීම් ශාලාවට යනවා කියලා හිතද්දී ආපහු කොරෝනා හැදෙයිද කියලා මට ලොකු බයක් දැනුණා. හැබැයි මං එතනට ගියාම දැක්කා වැඩිමහල්ලෝ ආරක්ෂාව වෙනුවෙන් ගොඩක් දේවල් සැලසුම් කරලා තියෙනවා. එයාලා අත් හෝදන්න වෙනම තැන් ලෑස්ති කරලා තිබුණා. මයික් අතින් අත යවන්නේ නැතුව ඒවාට පොලු හයි කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි රැස්වීම් පටන්ගන්න කලිනුයි, ඉවර වුණාට පස්සෙයි ශාලාව හොඳට පිරිසිදු කරන්න සැලසුම් කරලත් තිබුණා. ඒ දේවල් නිසා මගේ හිතේ තිබ්බ බය එහෙම්මම නැති වෙලා ගියා.” b
සැම්බියාවේ ඉන්න සහෝදරි සේරාට මුහුණ දෙන්න වුණේ වෙනස්ම අභියෝගයකට. එයා මෙහෙම කියනවා. “මාස කීපයකට කලින් මගේ මහත්තයා කොරෝනා හැදිලා මැරුණා. එයා නැතුව රැස්වීම් ශාලාවට යන්නේ කොහොමද කියලා හිතද්දීත් මට ලොකු දුකක් දැනුණා.” හැබැයි දැන් එයාට ඒ ගැන හැඟෙන්නේ කොහොමද? එයා මෙහෙම කියනවා. “රැස්වීම්වලට ගියාට පස්සේ තමයි මට තේරුණේ මේ අන්තිම කාලේ පුරාම යෙහෝවා දෙවියන් අපි එක්කම ඉන්නවා කියලා. වැඩිමහල්ලන්ගෙයි, සහෝදර සහෝදරියන්ගෙයි ආදරේ, උදව්, දිරිගැන්වීම් මට වෙනදාටත් වඩා ලොකු ශක්තියක් වුණා.”
ආයෙත් රැස්වීම් ශාලාවට ගිහිල්ලා නමස්කාර කරන්න ලැබුණ අවස්ථාව ගැන ලෝකේ පුරාම ඉන්න අපේ සහෝදර සහෝදරියන් ගොඩක් සතුටු වෙනවා. අපිට කලින් වගේම එකට රැස් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ සැබෑ නමස්කාරය වෙනුවෙන් පාවිච්චි කරන ගොඩනැඟිලි අවශ්‍ය පහසුකම් ඇතුව ආරක්ෂිතව තියෙන නිසයි. ඒ හැම දෙයක්ම ඒ විදිහට හොඳින් කරන්න පුළුවන් වුණේ donate.pr418.com හරහා සහ තවත් විදිවලින් ඔයාලා සතුටු සිතින් දෙන සම්මාදම් නිසයි. ඒ සම්මාදම්වලට ඔයාලට ගොඩක් ස්තුතියි!