ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
දේශනා සේවෙට උදව් වෙන ගොඩනැඟිලි
2023 ඔක්තෝබර් 20
දේශනා සේවේ දිගටම කරගෙන යන්න උදව් වෙන ගොඩනැඟිලි වෙනුවෙන් සම්මාදම් පාවිච්චි කරන්න පාලක මණ්ඩලය හරිම ආසාවෙන් ඉන්නවා. උදාහරණෙකට 2023 සේවා වසර ඇතුළත නමස්කාර මධ්‍යස්ථාන සහ සමුළු ශාලා මිල දීලා ගන්න, හදන්න, අලුත්වැඩියා කරන්න සහ නඩත්තු කරන්න ඩොලර් මිලියන 500කට වඩා සාක්ෂිකරුවන් වියදම් කරලා තියෙනවා. a ඒ ගාණට ලෝකේ පුරාම තියෙන සභාවල් එයාලාගේ නමස්කාර මධ්‍යස්ථාන නඩත්තු කරන්න වියදම් කරන ගාණ ඇතුළත් වෙන්නේ නැහැ.
ඊට අමතරව ශාඛා කාර්යාල ඉදි කරන්නත් නඩත්තු කරන්නත් සම්මාදම් පාවිච්චි කරනවා. මොකද දේශනා සේවේ සංවිධානය කරන්නෙත් ඒක දිගටම කරගෙන යන්න උදව් කරන්නෙත් ශාඛා කාර්යාලවලින්. දැන් ගොඩක් දුරට ශාඛා කාර්යාලවල සිද්ධ වෙන වැඩ සරල කරලා තියෙනවා. මොකද එතකොට පුළුවන් ඒ ලැබෙන සම්මාදම් නමස්කාර මධ්‍යස්ථාන, සමුළු ශාලා වෙනුවෙන් පාවිච්චි කරන්න. ඒත් තාමත් ශාඛා කාර්යාල අලුත්වැඩියා කරන්න, ඒ ගොඩනැඟිලිවල වෙනස්කම් කරන්න සහ කාර්යාල වෙන තැන්වලට ගෙනියන්න ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. ඒත් ඒ වගේ දේවල් කරන එක වැදගත් ඇයි? එහෙම කරන එක දේශනා සේවේ හොඳින් කරන්න උදව්වක් වෙන්නේ කොහොමද? අපි ඒ ගැන බලමු.
“කල් පැවැත්මට උදව්වක්”
ගොඩක් ශාඛා කාර්යාල අවුරුදු 30කට, 40කට වඩා පරණයි. ලෝක ව්‍යාප්ත නිර්මාණ/ඉදිකිරීම් අංශයේ සේවේ කරන සහෝදර නිකලස් කියන දේ බලන්න. “කොච්චර හොඳට නඩත්තු කරපු බිල්ඩිං එකක වුණත් එකපාරටම ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. ඒ නිසයි අලුත්වැඩියා කරන එක වැදගත් වෙන්නේ. ඒක මේ බිල්ඩිංවල කල් පැවැත්මට උදව්වක්.”
සංවිධානයේ අවශ්‍යතා වැඩි වෙද්දී බෙතෙල් ගොඩනැඟිලිවලත් වෙනස්කම් කරන්න සිද්ධ වෙනවා. ලෝකේ පුරා හුඟක් ශාඛා කාර්යාල ඉදි කරලා කාලයක් ගියාට පස්සේ ප්‍රචාරකයන්ගේ ගාණ සෑහෙන වර්ධනය වෙලා තියෙනවා. එයාලට උදව් කරන්න ඕන නිසා ශාඛා කාර්යාලවල සේවේ කරන ස්වේච්ඡා සේවකයන්ගේ අවශ්‍යතාවත් වැඩි වුණා. ඒ නිසා ගොඩක් ශාඛා කාර්යාල අතුරු සිදුරු නැතුව පිරිලා.
අපි ජීවත් වෙන්නේ අන්තිම කාලේ නිසා හුඟක් ස්වාභාවික විපත් වෙනවා. (ලූක් 21:11) ඒ නිසා ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන එකත් වැදගත්. මේ ගොඩනැඟිලි අලුත්වැඩියා කරද්දී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අලුත්ම ක්‍රම පාවිච්චි කරන නිසා ඒවාවල ඉඳන් වැඩ කරන අයට ආරක්ෂාව ලැබෙනවා. ඉතින් ස්වාභාවික විපතකදී සහන සේවා වැඩ සංවිධානය කරන්න, විපතකට පස්සේ දේශනා සේවේ වැඩවලට උදව් කරන්න ශාඛා කාර්යාලවලට පුළුවන් වෙලා තියෙනවා.
“මේ තීරණේට යෙහෝවාගේ ආශීර්වාදය තිබුණා”
පාලක මණ්ඩලයේ මඟ පෙන්වීමට අනුව 2023 සේවා වසර ඇතුළත ශාඛා කාර්යාල 43ක විතර අලුත්වැඩියා කටයුතු සිද්ධ වුණා. ඒ කියන්නේ ලෝකේ පුරාම තියෙන ශාඛා කාර්යාලවලින් භාගෙට භාගයකම වගේ මොකක් හරි අලුත්වැඩියා කටයුත්තක් සිද්ධ වුණා. ඒ වැඩ කොච්චර වැදගත්ද කියලා තේරුම්ගන්න අපි උදාහරණ කීපයක් බලමු.
ඇංගෝලාව. ඇංගෝලාවේ ශාඛා කමිටුවේ සේවේ කරන මැට් මෙහෙම කියනවා. “හග්ගයි 2:7 තියෙන වචන විශේෂ විදිහකින් ඉටු වෙනවා අපි ඇස් දෙකෙන්ම දැක්කා. අවුරුදු දහයක් ඇතුළත මෙහේ ප්‍රචාරකයන්ගේ ගාණ 60%කින් වැඩි වුණා. එයාලට උදව් කරන්න නම් බෙතෙල් පවුල තුන් ගුණයකින් වැඩි වෙන්න ඕනේ. හැබැයි එච්චර ගාණකට ඉන්න මෙහේ ශාඛා කාර්යාලයේ ඉඩ තිබුණේ නැහැ. ඒ නිසා බෙතෙල් සාමාජිකයන්ට සිද්ධ වුණා වැඩි බරක් කරට ගන්න. හුඟක් අයට වැඩවලින් පස්සෙත් තව පැය ගාණක් වැඩ කරන්න වුණා.”
මේ ගොඩනැඟිලිවල ඉඩ තව වැඩි කරන්න පුළුවන් කොහොමද කියලා හොයලා බලන්න සහෝදරයන් කීපදෙනෙක්ව පත් කළා. මේ තියෙන ගොඩනැඟිල්ලම අලුත්වැඩියා කරන එක තමයි ඉක්මන්ම සහ හොඳම විදිහ කියලා එයාලා මුලින් හිතුවා. හැබැයි ඒ ගැන තවත් හොඳට හොයලා බැලුවාට පස්සේ ඒගොල්ලන්ට තේරුණා සම්මාදම් පාවිච්චි කරන්න ඕන හොඳම විදිහ ඒක නෙවෙයි කියලා. ඒ වෙනුවට ළඟ තියෙන ගොඩනැඟිල්ලක් සල්ලිවලට අරගෙන ඒක අලුත්වැඩියා කරන එක තමයි හොඳම විදිහ කියලා එයාලා යෝජනා කළා. බලන්න ඒ ගැන සහෝදර මැට් කියන දේ. “ඒ යෝජනාව ශාඛා කමිටුවට ආවාම අපි හිතුවා ඒක නම් එච්චර හොඳ අදහසක් නෙවෙයි කියලා. මොකද අපිට හිතුණේ අපිම හදනවා වගේ ඒක හොඳට එන එකක් නෑ කියලා. හැබැයි මේ අලුත්වැඩියා කරපු ගොඩනැඟිල්ල දිහා බැලුවාම පේනවා ඒක තමයි අපේ අවශ්‍යතාවලට හොඳටම ගැළපෙන්නේ කියලා. ඇත්තටම ඒකෙන් පැහැදිලියි මේ තීරණේට යෙහෝවාගේ ආශීර්වාදය තිබුණා කියලා.”
ඉස්සරහට ඇංගෝලාවේ ශාඛා කාර්යාලයට තවත් ඉඩ ඕන වෙයි. හැබැයි අලුත් ගොඩනැඟිල්ලයි, වෙනස් කරන්න පුළුවන් විදිහට බෙතෙල් එකේම හදපු කාමරයි, කුලියට ගත්ත කාමරයි එකතු කළාම ඒ තියෙන ඉඩ දේශනා සේවෙට උදව් කරන්න දැනට හොඳටම ඇති.
ජපානය. මෙහේ ගොඩනැඟිලි අවුරුදු 40ක් විතර පරණයි. හැබැයි මීට කලින් කවදාවත් ඒ ගොඩනැඟිලිවල ලොකු ලොකු අලුත්වැඩියා කටයුතු කරලා නැහැ. ඒත් ඒවායේ පොඩි පොඩි නඩත්තු කටයුතු කරලා ඒවා හොඳට බලාගත්ත නිසා ඇස්තමේන්තු කළාටත් වඩා සෑහෙන කාලයක් මේවා හොඳට පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි කාලේ පැනලා තියෙන නිසා දැන් ඒවායේ මහා පරිමාණයෙන් අලුත්වැඩියා කටයුතු කරගෙන යනවා.
පහුගිය අවුරුදු ගාණ පුරා බෙතෙල් ජීවිතෙත් වෙනස් වෙලා තියෙනවා. 2015 වෙන කල් බෙතෙල් පවුලට හැම කෑම වේලක්ම සැපයුවේ බෙතෙල් එකෙන්. ඒ නිසා ජපානයේ බෙතෙල් එකේ හුඟක් කාමරවල කුස්සිය හරිම පොඩියි. ඒත් දැන් බෙතෙල් එකේ අය එයාලාගේ කෑම එයාලම හදාගන්න ඕනේ. ඒ නිසා මේ කාමර අලුත්වැඩියා කරද්දී කෑම හදන්න ලේසි වෙන විදිහට කුස්සිය ටිකක් ලොකු කරලා තියෙනවා. බලන්න ඒ ගැන ජපානයේ බෙතෙල් එකේ සේවේ කරන සහෝදරි කුමිකෝ කියන දේ. “මේ අලුත් කුස්සියේ කෑම හදන්න හරි ලේසියි. ඒක මට උදව් වෙලා තියෙනවා මේ අලුත් සැලැස්මට මගේ උපරිම සහයෝගය දෙන්න.”
ලෝකේ පුරාම සිද්ධ වෙන දේශනා කිරීමේ වැඩේට ලොකු දායකත්වයක් දරන තැනක් තමයි ජපානයේ ශාඛා කාර්යාලය. (මතෙව් 28:19, 20) මොකද ජපානය කියන්නේ බයිබලේ සම්පූර්ණෙන්ම මුද්‍රණය කරන ශාඛා කාර්යාල දෙකෙන් එකක්. ඒ නිසා මෙහේ කරන අලුත්වැඩියා කටයුතුවලට මුද්‍රණාලයේ කඩදාසි කපද්දී එන දූවිලි ඇදගන්න පද්ධතියක් හයි කරන එකත් ඇතුළත් වුණා. ඒ වගේ දෙයක් හයි කරන්න හිතුවේ මුද්‍රණාලයේ වැඩ කරන සහෝදරයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ පද්ධතිය මිල දීලා ගන්න සහ ඒක හයි කරන්න ඩොලර් මිලියනයක් විතර යනවා. ඒත් ඒක නිසා බයිබලේ ඇතුළු අපේ ප්‍රකාශන දිගටම මුද්‍රණය කරලා බෙදාහරින්න අපිට පුළුවන් වෙනවා.
අලුත්වැඩියා කටයුතු කරගෙන යන කාලෙත් බයිබලේ දිගටම මුද්‍රණය කළා. ඒ ගැන ජපානයේ ශාඛා කමිටුවේ සේවේ කරන සහෝදර ට්‍රේ මෙහෙම කියනවා. “මේ අලුත්වැඩියා කටයුතු වෙන කාලෙම සංවිධානයේ ගොඩක් බයිබල් පරිවර්තන මුදාහැරියා. ඒ වගේම ලෝකේ පුරාම බයිබල්වලට තියෙන ඉල්ලුමත් වැඩි වුණා. ඒ නිසා අලුත්වැඩියා වැඩයි, බයිබල් මුද්‍රණ වැඩයි දෙකම එකට කරගෙන යන්න හුඟක් අංශ එකතු වෙලා වැඩ කළා.” මොන අභියෝග තිබ්බත් 2023 මාර්තු ඉඳන් අගෝස්තු වෙන කල් හැම මාසෙම බයිබල් 2,20,000ක් විතර මුද්‍රණය කළා. ඒ කාලේ තමයි මුද්‍රණාලයේ අලුත්වැඩියා වැඩ වැඩියෙන්ම තිබුණේ. හැබැයි ඒ හැම වැඩක්ම කිසිම අමතර වියදමක් නැතුව සාර්ථකව කරගන්න පුළුවන් වුණා.
මේ අලුත්වැඩියා වැඩවලදී අපි අවධානය දෙන තව පැත්තක් තමයි බලශක්ති සංරක්ෂණය. ජපානයේ ශාඛා කාර්යාලයට අපි සෝලා පැනල් හයි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අවුරුද්දකට ඩොලර් 1,20,000ක් විතර ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම මේ ශාඛා කාර්යාලයට වීදුරු තුනක් තියෙන ජනෙල් හයි කරන්නත් යනවා. ඒ ජනෙල් නිසා බලශක්තිය හරිම අඩුවෙන් පාවිච්චි වෙන්නේ. ඒකෙන් අවුරුද්දකට ඩොලර් 10,000ක් විතර ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් හයි කරන්න ලොකු වියදමක් දරන්න වෙනවා තමයි. හැබැයි ගණන් බලලා තියෙන විදිහට ඒ පැනල් සහ ජනෙල් නිසා ඩොලර් මිලියන 3.5කට වඩා ඉතුරු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ විදිහට ගොඩනැඟිලි හදද්දී ඒවාවලින් පරිසරයට වෙන හානියත් අඩුයි.
“තව කරන්න හුඟක් දේවල් තියෙනවා”
ක්ෂේත්‍රයේ වැඩවලට උදව් කරන්න නම් ශාඛා කාර්යාලවල කොච්චර ලොකු වෙනස්කම් වෙන්න ඕනෙද කියලා ඒ ව්‍යාපෘතිවලින් පැහැදිලි වෙනවා. ඒත් වැඩ තාම ඉවර නැහැ. ඒ ගැන ලෝක ව්‍යාප්ත නිර්මාණ/ඉදිකිරීම් අංශයේ සේවේ කරන ඒරන් කියන දේ බලන්න. “මේ වෙද්දීත් හුඟක් වැඩ ඉවරයි. හැබැයි කරන්න තව වැඩ ගොඩක් තියෙනවා.” ඒ ව්‍යාපෘති සාර්ථකව කරන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? බලන්න එයා කියන දේ. “ඒ, සහෝදරයන්ගේ සම්මාදම් නිසයි. ඒ විතරක් නෙවෙයි හුඟක් සහෝදරයෝ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා මේ ව්‍යාපෘතිවලට එයාලාගේ වෙහෙස මහන්සිය එකතු කරලා තියෙනවා. තව හුඟදෙනෙක් ජීවිත වෙනස් කරගෙන මේ ව්‍යාපෘතිවලට හවුල් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. සහෝදරයන්ගේ දහඩිය මහන්සිය සහ එයාලා දෙන සම්මාදම් දිහා බලද්දී අපිට හොඳටම පැහැදිලි වෙනවා මේ හැම දෙයක්ම පිටිපස්සේ යෙහෝවාගේ ආශීර්වාදය තියෙනවා කියලා.”—ගීතාවලිය 110:3.
මේ ඉදිකිරීම් සහ අලුත්වැඩියා කටයුතු කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ donate.pr418.com හරහා ඔයාලා දෙන සම්මාදම් නිසයි. ඔයාලා මුළු හදවතින්ම දෙන ඒ සම්මාදම්වලට ගොඩක් ස්තුතියි.
a මේ ලිපියේ ඩොලර් කියලා කියන්නේ ඇමරිකානු ඩොලර්වලටයි.