Skip to content

පටුනට යන්න

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

නිවැරදි වගේම විශ්වාසය ශක්තිමත් කරන පුවත්

නිවැරදි වගේම විශ්වාසය ශක්තිමත් කරන පුවත්

2021 දෙසැම්බර් 1

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලගේ සහෝදර සහෝදරියන්ට ගොඩක් ආදරෙයි. (1 පේතෘස් 2:17) ඇත්තම කිව්වොත් අපෙන් හුඟදෙනෙක්ට දැනෙන්නෙත් කෙන්යාවේ ඉන්න සහෝදරි ටානිස්ට දැනෙන විදිහටමයි. එයා මෙහෙම කියනවා. “ලෝකේ පුරා ඉන්න අපේ සහෝදරයන් මුහුණ දෙන දේවල් ගැන දැනගන්න මං හරිම ආසයි.” ඒත් අපි කොහොමද අපේ සහෝදරයන් ගැන විස්තර දැනගන්නේ? 2013 ඉඳලා jw.org වෙබ් අඩවියේ “පුවත්” කියන කොටසේ ඒ විස්තර පළ වෙනවා.

 බයිබල් පරිවර්තන මුදාහැරීම්, සහන සේවා කටයුතු, ඉදි කිරීම් ව්‍යාපෘති සහ තවත් විශේෂ අවස්ථා ගැන තොරතුරු වෙබ් අඩවියේ “පුවත්” කියන කොටසේ තියෙනවා. ඒ වගේම විශ්වාසය නිසා සිරගත වෙලා ඉන්න අපේ සහෝදර සහෝදරියන් ගැන විස්තරත් ඒකේ පළ වෙනවා. ඒ විතරක් නෙවෙයි දේශනා කිරීමේ විශේෂ ව්‍යාපෘතිවලදී සහ යේසුස්ගේ මරණය සිහි කිරීමේදී ලැබුණ දිරිගැන්වෙන අද්දැකීම් ගැනත් ඒකෙන් අපිට දැනගන්න පුළුවන්. හැබැයි මේ වගේ පුවතක් පළ කරද්දී තිරය පිටුපස වෙන්නේ මොනවාද?

පුවතක් තෝරගෙන ඒක වාර්තා කරන්නේ කොහොමද?

 වෙබ් අඩවියේ තියෙන “පුවත්” කියන කොටස බලා කියා ගන්නේ ලෝක මූලස්ථානයේ මහජන තොරතුරු කාර්යාලයයි. ඒ අංශය තියෙන්නේ පාලක මණ්ඩලයේ සම්බන්ධීකාරකයන්ගේ කමිටුවේ අධීක්ෂණය යටතේ. ලෝක මූලස්ථානයේ මහජන තොරතුරු කාර්යාලයේ වැඩකටයුතු බලාගන්න සහෝදර සහෝදරියන් 100කටත් වඩා වැඩියෙන් ඉන්නවා. ඒ අය අතරින් වැඩිදෙනෙක් නිවෙස්වල ඉඳලා බෙතෙල් වැඩවලට හවුල් වෙන අය. වෙබ් අඩවියේ “පුවත්” කියන කොටසේ පළ කරන තොරතුරු සකස් කරන්න, තොරතුරු ගවේෂණය කරන්න, පින්තූර සකස් කරන්න සහ පරිවර්තන වැඩ කරන්න එයාලා උදව් වෙනවා. තවත් අය සාක්ෂිකරුවන් වෙනුවෙන් රජයේ නිලධාරීන්ව, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ව සහ මාධ්‍යය ආයතනවල අයව මුණ ගැහිලා කතා කරනවා. ලෝකේ පුරා ශාඛා කාර්යාල 80කටත් වඩා වැඩි ගාණක තියෙන මහජන තොරතුරු අංශවල ඉන්න සහෝදර සහෝදරියන් ලෝක මූලස්ථානයේ මහජන තොරතුරු කාර්යාලයට එයාලගේ උපරිම සහයෝගය දෙනවා.

 පුවතක් සකස් කරද්දී ලෝක මූලස්ථානයේ මහජන තොරතුරු කාර්යාලය ඒ අදාළ ශාඛා කාර්යාලවල තියෙන මහජන තොරතුරු අංශවල සහෝදරයන් එක්ක කිට්ටුවෙන් වැඩ කරනවා. වැදගත් කියලා හිතෙන සිද්ධියක් හම්බ වෙද්දී ඒ සහෝදරයන් ඒකට අදාළ හැම තොරතුරක් ගැනම හොඳට හොයලා බලනවා. සමහරවිට ඒ අය ඒ සිද්ධියට සම්බන්ධ වුණ අයත් එක්ක එහෙම නැත්නම් ඒ විෂයට අදාළ ප්‍රවීණයන් එක්ක කතා කරලා ඒ තොරතුරු හැම එකක්ම ඇත්තද කියලා තහවුරු කරගන්නවා. විශ්වාසවන්ත තොරතුරු එකතු කරගත්තාට පස්සේ එයාලා ඒ සිද්ධිය ගැන වාර්තාවක් සකස් කරනවා. ඊටපස්සේ අවශ්‍ය වෙනස්කම් කරලා, ලිපියේ ව්‍යාකරණ සහ පද බෙදීම් හරිද කියලා බලලා, පින්තූර ඇතුල් කරලා ඒක පාලක මණ්ඩලයේ සම්බන්ධීකාරකයන්ගේ කමිටුවට යවනවා. මොකද පුවතක් පළ කරන්න අනුමැතිය දෙන්නේ ඒ කමිටුවෙන්.

සහෝදර සහෝදරියන්ට හැඟෙන දේ

 අපේ වෙබ් අඩවියේ තියෙන පුවත් ගැන සහෝදර සහෝදරියන්ට හැඟෙන්නේ කොහොමද? “සංවිධානයේ වැඩකටයුතු ගැන, සහෝදර සහෝදරියන් ගැන අලුත් දෙයක් කියවලා දවස පටන්ගන්න මං හරි ආසයි” කියලා පිලිපීනයේ ඉන්න සහෝදරි ෂෙරිල් කියනවා.

 jw.org වෙබ් අඩවියේ තියෙන පුවත් සහ අනිත් මාධ්‍යවල පෙන්නන පුවත් අතර තියෙන වෙනස ගැන හුඟක් අය අපිට ලියලා එවලා තියෙනවා. කසක්ස්තානයේ ඉන්න ටාටියානා මෙහෙම කියනවා. “jw.org වෙබ් අඩවියේ තියෙන පුවත් ගැන නම් මට සීයට සීයක් විශ්වාසයි. මොකද එයාලා දෙයක් දාන්නේ හොඳට හොයලා බලලා.” මෙක්සිකෝවේ ඉන්න සහෝදරි ආල්මා කියන දේ බලන්න. “අද ප්‍රවෘත්තිවල හොඳ දෙයක් අහන්න ලැබෙන්නේ නැති තරම්. හැබැයි අපේ පුවත් කොටසේ නම් හුඟක් හොඳ දේවල් තියෙනවා. ඒවා කියවද්දී මං ගොඩක් දිරිගැන්වෙනවා.”

 පුවත් කොටසේ පළ කරන තොරතුරු නිවැරදියි විතරක්ම නෙවෙයි ඒවායින් අපේ විශ්වාසයත් ශක්තිමත් වෙනවා. කෙන්යාවේ ඉන්න බර්නාඩ්ට හැඟෙන විදිහ ගැන එයා මෙහෙම කියනවා. “අපේ සහෝදරයෝ ලෝකේ කොහේ හිටියත් දැන් මට දැනෙන්නේ අපි එක පවුලක් කියලා. එයාලගේ නම් කියලා, එයාලා මුහුණ දෙන තත්වයන් ගැන කියලා මට දැන් යෙහෝවාට යාච්ඤා කරන්න පුළුවන්. ඇත්තටම, අපේ පුවත් කොටසේ වටිනාකම කියලා නිම කරන්න බෑ!” කෙන්යාවේ ඉන්න සහෝදරියක් වන බයිබ්‍රන් මෙහෙම කියනවා. “අලුත් බයිබල් පරිවර්තනයක් මුදාහරින එක ගැන ප්‍රවෘත්තියක් දකින හැම වතාවකම මට දැනෙන්නේ පුදුම සතුටක්. මොකද යෙහෝවා හැමෝටම එක වගේ සලකන දෙවි කෙනෙක් කියන එකට ඒක හොඳ සාක්ෂියක්.”

අපේ පුවත් නිසා ලෝකේ පුරා ඉන්න සහෝදරයෝ ගැන නිශ්චිතවම කියලා යාච්ඤා කරන්න අපිට පුළුවන්

 සහෝදරයෝ මුහුණ දෙන පීඩා, විරුද්ධවාදිකම් ගැන ප්‍රවෘත්ති අහද්දී හිතන්නේ නැති විදිහට අපිව දිරිගැන්වෙනවා. කෙන්යාවේ ඉන්න ජැක්ලීන් කියනවා “සහෝදරයන්ගේ ධෛර්යය දැකලා මගේ විශ්වාසයත් පුදුම විදිහට ශක්තිමත් වුණා” කියලා. එයා මෙහෙමත් කියනවා. “විඳදරාගන්න එයාලට උදව් වුණේ මොනවාද කියලා මං හැම තිස්සේම බලනවා. බලන් ගියාම ඒවා එච්චර ලොකු දේවල් නෙවෙයි. යාච්ඤාව, බයිබලේ කියවන එක, ගීතිකා කියන එක වගේ අපි නිතර දෙවේලේ කරන දේවල්. හැබැයි සහෝදරයන්ට හයියක් වෙලා තියෙන්නෙත් ඒ දේවල්ම තමයි.”

 ස්වාභාවික විපත් ගැන කියවද්දී කොස්ටාරිකාවල ඉන්න සහෝදරි බියට්‍රිස්ට හැඟෙන විදිහ එයා මෙහෙම කියනවා. “විපත්වලට ගොදුරු වෙලා ඉන්න සහෝදර සහෝදරියන්ට අපේ සංවිධානය ඉක්මනින්ම උදව් කරන විදිහ මගේ හිතට ගොඩක් වැදුණා. එයාලා හැම පැත්තක් ගැනම හොයලා බලලා කිසිම අඩුවක් නැතුව සහෝදරයන්ව බලාගන්නවා. එයාලා එච්චර දේවල් කරන්නේ සහෝදරයන්ට තියෙන ආදරේ නිසා. මේ තමයි යෙහෝවා දෙවියන්ගේ සෙනඟ කියලා මට කිසිම සැකයක් නෑ.”

 ලෝකේ පුරා ඉන්න අපේ සහෝදරයන් ගැන අලුත්ම තොරතුරු දැනගන්න අපිට ලැබිලා තියෙන මේ අවස්ථාව අපි කොච්චර නම් අගය කරනවාද! donate.pr418.com කියන වෙබ් අඩවිය හරහාත් වෙනත් විදිවලිනුත් ඔයාලා ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් දෙන සම්මාදම් නිසයි මේ හැම දෙයක්ම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔයාලා කැමැත්තෙන්ම දීපු සම්මාදම්වලට අපි මුළු හදවතින්ම ස්තුති කරනවා!