ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
“පොළොවේ දුර ඈත කෙළවරවලට” ශුභාරංචිය ගෙනියන මිෂනාරිවරු
2021 ජූනි 1
යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා ඔයාලා “පොළොවේ දුර ඈත කෙළවරවල මා ගැන සාක්ෂි දරයි” කියලා. (ක්‍රියා 1:8) යේසුස් දුන්න ඒ ආඥාව ඉටු කරන්න අද යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උද්යෝගයෙන් හවුල් වෙනවා. ඒත් තාමත් ලොකු ජනගහනයක් ඉන්න විශාල ප්‍රදේශවල ශුභාරංචිය අහලා නැති හුඟදෙනෙක් ඉන්නවා. තවත් සමහර රටවල්වල සාක්ෂිකරුවන් ඉන්නේ හරිම ටිකදෙනයි. (මතෙව් 9:37, 38) පුළුවන් තරම් දෙනෙක් ළඟට ශුභාරංචිය ගෙනියන්න අපි මොනවාද කරලා තියෙන්නේ?
යේසුස් දුන්න ඒ අණ ඉටු කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සේවා කමිටුව ලෝකේ හුඟක් රටවලට මිෂනාරිවරුන්ව යවලා තියෙනවා. ඒ විදිහට ක්ෂේත්රයේ සේවය කරන මිෂනාරිවරු 3,090දෙනෙක් ඉන්නවා. a එයාලගෙන් හුඟදෙනෙක් ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල වගේ බයිබල් පාසැලකින් පුහුණුව ලබපු අය. එයාලා තමන්ගේ රට අත්හැරලා වෙන රටකට ගිහින් සේවය කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා තියෙනවා. යෙහෝවා දෙවියන් එක්ක තියෙන හොඳ බැඳීම නිසා, ලැබුණු පුහුණුව නිසා, අද්දැකීම් නිසා ශුභාරංචිය ව්‍යාප්ත කරන්න වගේම සත්‍යයට අලුතින් එන අයට හොඳ ආදර්ශයක් වෙන්න මේ විශ්වාසවන්ත මිෂනාරිවරුන්ට පුළුවන් වෙලා තියෙනවා.
අනිත් අයට උදව් කරන්න එයාලට ලැබෙන උදව්
හැම ශාඛා කාර්යාලයකම සේවා අංශය යටතේ පූර්ණකාලීන සේවක අංශයක් තියෙනවා. ඒ අංශය ඒ රටේ ශාඛා කමිටුව එක්ක එකතු වෙලා මිෂනාරිවරුන්ගේ එදිනෙදා වියදම් පියවගන්න ලබා දෙන දීමනාව, නවාතැන් පහසුකම් වගේම එයාලගේ සෞඛ්‍ය පහසුකම් ගැන බලාගන්නවා. 2020 සේවා වසර ඇතුළත යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මිෂනාරිවරුන්ව රැක බලා ගන්න ඇමරිකානු ඩොලර් මිලියන 27ක් විතර වැය කරලා තියෙනවා. ඒ විදිහට මිෂනාරිවරුන්ට ලැබෙන උදව් නිසා තමයි සේවේට සම්පූර්ණ අවධානය දීලා ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න, සභාවේ සහෝදර සහෝදරියන්ව ශක්තිමත් කරන්න එයාලට පුළුවන් වෙලා තියෙන්නේ.
මිෂනාරිවරුන්ගෙන් සේවේට ලැබිලා තියෙන්නේ මොන වගේ සහායක්ද? මලාවි ශාඛා කමිටුවේ සේවය කරන සහෝදර ෆ්රෑන්ක් මෑඩ්සන් මෙහෙම කියනවා. “මිෂනාරිවරු හරිම නිර්භීතයි. ඒ වගේම එයාලා හරි දක්ෂයි. අධි ආරක්ෂිත ප්‍රදේශ, වෙනත් භාෂාවක් කතා කරන අය ඉන්න ප්‍රදේශ වගේ සේවේට ටිකක් අමාරු පැතිවලට ශුභාරංචිය ගෙනියන්න මිෂනාරිවරු හුඟක් උදව් කරනවා. මේ රටේ භාෂාවට, සංස්කෘතියට හුරු වෙන්න එයාලා හුඟක් මහන්සි වෙනවා. ඒක අනිත් අයට හොඳ ආදර්ශයක්. ඒ වගේම එයාලගේ හොඳ බලපෑම නිසා සභාවල ඉන්න හුඟක් යෞවනයන් පූර්ණකාලීන සේවය තෝරගන්නවා. ඇත්තටම මේ වගේ මිෂනාරිවරු යෙහෝවා අපිට එවපු තෑගි.”
තවත් රටක ශාඛා කමිටු සාමාජිකයෙක් මෙහෙම කියනවා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එකමුතු සෙනඟක් කියන්න මිෂනාරිවරු හොඳ සාක්ෂියක්. අපි අතර තියෙන එකමුතුකමට හරස් වෙන්න සංස්කෘතියටවත් බැහැ කියලා සාක්ෂිකරුවන් නොවන අයත් දකිනවා. අපිට මෙහෙම එක පවුලක් වගේ ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ බයිබල් ඉගැන්වීම් නිසයි.”
මිෂනාරිවරුන්ගෙන් සභාවට ලැබිලා තියෙන්නේ මොන වගේ සහායක්ද? නැඟෙනහිර ටිමෝරයේ ඉන්න සහෝදර පාවුලෝ එයාගේ සභාවේ මිෂනාරිවරු ගැන මෙහෙම කියනවා. “අපේ පැත්තේ තියෙන්නේ පුදුම රස්නයක්. හැබැයි සමහර මිෂනාරිවරු මෙහෙට ඇවිල්ලා ඉන්නේ සීත රටවලින්. ඒත් රස්නෙයි කියලා එයාලා පොඩ්ඩක්වත් සේවේ අඩු කරලා නැහැ. එයාලා වරද්දන්නේ නැතුව හැමදාම සේවේ එනවා. මං හුඟක් වෙලාවට දැකලා තියෙනවා එයාලා ගිනි කාෂ්ටක අව්වේ නැවත බැලීම්වලට යනවා. එයාලා හුඟක් අයට සත්‍යයට එන්න උදව් කරලා තියෙනවා. මට සත්‍යයට එන්න උදව් කළෙත් මිෂනාරිවරයෙක්. එයාලා වෙහෙස මහන්සි නොබලා උද්යෝගයෙන් එයාලගේ ජීවිතේම කැප කරන්නේ මේ සේවේට. ඒ උද්යෝගය තමයි සභාවේ අයටත් වැඩිපුර සේවේ කරන්න ශක්තියක් වෙලා තියෙන්නේ.”
මලාවිවල ස්ථාවර පුරෝගාමි සේවේ කරන කෙටීගේ අද්දැකීම බලන්න. එයාගේ පවුලේ අයටත් සත්‍යයට එන්න උදව් කළේ මිෂනාරි යුවළක්. එයා මෙහෙම කියනවා. “එයාලා දෙන්නා අපේ සභාවට එද්දී අපේ පවුලෙන් සාක්ෂිකරුවෙක් වෙලා හිටියේ මං විතරයි. එයාලා මට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒ වගේම එයාලා අපේ පවුලේ අයටත් කිට්ටු වුණා. යෙහෝවාට සේවේ කරන එකෙන් කොච්චර සතුටක් ලැබෙනවාද කියලා මගේ දරුවෝ තේරුම්ගත්තේ එයාලගේ ආදර්ශය නිසා. එයාලගෙන් ලැබුණ දිරිගැන්වීම් නිසා තමයි අද මගේ දුවලා තුන්දෙනා පුරෝගාමි සේවේ කරන්නේ. දැන් මගේ මහත්තයාත් රැස්වීම් එනවා.”
ක්ෂේත්රයේ ඉන්න ඒ වගේ මිෂනාරිවරුන්ගේ වියහියදම් පියවගන්න සල්ලි ලැබෙන්නේ කොහෙන්ද? ඒ donate.pr418.com වෙබ් අඩවිය හරහා විවිධ ක්‍රමවලින් ලෝක ව්‍යාප්ත සේවේ වෙනුවෙන් ඔයාලා කැමැත්තෙන්ම දෙන සම්මාදම්වලින්. ඔයාලා සතුටු සිතින් දෙන ඒ වගේ සම්මාදම් අපි ගොඩක් අගය කරනවා.
a මේ මිෂනාරිවරුන්ව යවන්නේ ප්‍රචාරකයන් අඩු ප්‍රදේශවල සේවේ කරන්න. ඊට අමතරව ලෝකේ පුරා චාරිකා සේවේ කරන මිෂනාරිවරු 1,001ක් ඉන්නවා.